UAE Sri Lankans Events

Friday, July 15, 2011

උරය පලා සැතකින් . . . .!



කෝට්ටේ රජමහා විහාරයේ පිටිපස්සේ මායිමේ පන්සල් වත්ත මායිමේ මැදට වෙන්න තියෙන කාක බෝධියට ලම්බකව තියෙන පාරට අපි කිව්වේ වතුර ටැංකිය පාර කියලා.

ඒ පාරේ වම් අත පැත්තේ දෙවෙනියට හෝ තුන්වෙනියට තිබුනු ගෙදර ඒ කාලයේ හැටියට ලොකු ගෙයක්. ඇස්බැස්ටොස් තහඩු හෙවිල්ලපු, ගේ ඉස්සරහා ලස්සනට මල් වවපු, අඩි පහක් විතර උසට තාප්පේ ගහපු ලස්සන ගෙයක්.

"සිරි අයියේ . . ජාති ආල කාරයෝ ටැංකිය පාරේ දෙමළ ගේ ගිනි තියලෝ . . ." ගේ ඉස්සරහින් කවුරු හරි කෑ ගහගෙන ගියා.

පනිවිඩේ අහන්න තාත්තා ගෙදර හිටියද කියලා මතකයක් නෑ . .

"ජාති ආලය කියන්නේ දෙමළ ගෙවල් ගිනි තියන එකද?" කියලා අර කියපු මනුස්සයගෙන් අහගන්න බැරි උනේ ඒ මනුස්සයා හදිසියේ දුව දුව වගේ හිටපු නිසා වෙන්න ඕන.

ටික වෙලාවකින් මම හිටියේ "ජාති ආලේ" තියෙන අය ගිනි තියපු අර කලින් කිව්ව ලස්සන ගේ ඉස්සරහා. ගේ තිබුනු පැත්තේ නෙමෙයි. පාරෙන් එහා පැත්තේ.

ඒ වෙනකොට අවුරුදු 10ක් වත් සම්පූර්න නැති මම එතනට ආවේ කාත් එක්කද කියලා මතකයක් අද නෑ. සමහර විට මාත් එක්ක සෙල්ලම් කර කර හිටපු කොලු නඩේ එක්ක වෙන්න පුලුවන්.

ලස්සන ගේ අතුලේ එකම ගිලි ජාලාවක්. පට පට ගාලා පිපිරුවේ ගෙයි සිවිලිමේ තහඩුද වහලේ තහඩුද කියලා නිච්චියක් නෑ.

මිනිස්සු 30ක් 40ක් එතනට වෙලා අර ගිනි ජාලාව දිහා බලන් හිටියා.

අවුරුදු 10යේ මම ඇපලෝ සර්කස් බලද්දී වගේ කුතුහලයකින් මැජික් එකක් දිහා බලන් ඉන්නවා වගේ බලන් හිටියා.

අර හිටියැයි කිව්ව මිනිස්සු "හොඳ වැඩේ තොපිට දෙමළ පර හැත්ත" කියලා සංතෝසෙන් බලන් හිටියද "අනේ කවුරු වුනත් මිනිස්සුනේ, කොහෙවත් ඉන්න කවුරු හරි කරපු දේකට මේ මිනිස්සු පලිද" කියලා දුකෙන් බලන් හිටියද කියලා නම් මතකයක් හිතේ කොනක වත් නෑ . .

ගෙදර මිනිස්සුන්ව පන්සලේ නායක හාමුදුවෝ උන්නාන්සේගේ කාමරයේ හංගගෙන ඉඳලා ඒ අයගේ ජීවිත බේරා ගත්තා කියලා ටික දවසකට පස්සේ ගමේ අය කතා වුනා.

ගිනි ජාලාව දිහා කොයි තරම් කාලයක් බලන් හිටියද කියලත් මතක නෑ ඒත් ආපහු ගෙදර යන ගමනෙදි විජේසූරිය වලව් වත්තට ටිකක් මෙහාට වෙන්න පාර අයිනේ ලස්සන පාට පාට මල් පිපෙන ගඳපාන ගහක් මුල තිබිලා පොතක් අහුල ගත්ත බව මතකයි.

"ජාති ආල කාරයෝ අර ගෙදර බඩු උස්සන් යද්දී වැටෙන්න ඇති" කවුදෝ කිව්ව වගේ ලාවට මතකයි.

පොතේ නම "සාමාන්‍ය දැනීම" කතෘ අනුර සී පෙරේරා.

“දෙමළ මිනිස්සු සිංහලෙන් ලියපු පොත් කියවනවද?” කියලා අපිත් එක්ක යමින් හිටි කාගෙන් හරි අහන්න තරම් පන්ඩිත කමක් මට තියෙන්න ඇති උනත් එහෙම ඇහුවේ නැත්තේ "වැටිලා තිබුන උනත් අනුන්ගේ දේවල් අපිට ඕන නෑ කියලා කියන අම්ම හිටියනම් මේ පොත මට අහුලගන්න දෙන එකක් නෑ" කියලා හිතමින් හිටපු නිසා වෙන්න ඇති.

ඒ වයසේ හිටපු මට මහා ලොකු දේවල් කියලා හිතුනු ඒ පොතේ තිබුනු කරුනු:
සෞරග්‍රහ මණ්ඩලය තාරකාවන් ගැන
ලෝකයේ දිගම ගඟ ගැන
පිරමීඩ ගැන
වැඩිම ජනගහනයක් ඉන්න රට
කට පාඩම් කරගෙන ගිහින් පන්තියේ කොල්ලෝ ඉස්සරහා ලොකු ශෝ දැම්මා කියලා මතකයි.

බලලා ගෙනත් දෙන්නම් කියල ඒ පොත ගෙනියපු එකෙක් ඒක ගෙනත් නොදී හිටියා.

ජාති ආලය කියන්නේ මොකද්ද, 83 ජූලි කලබල කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුලුවන් වුනු වයසේ ඉඳන් මම හිටියේ හිත ඇතුලෙන් පිච්චි පිච්චී . . .

වක්‍රාකාරව හරි අහිංසක මනුස්සයෙක්ගේ දෙයක් මංකොල්ල කන්න මම හවුල් වුනා නේද කියන ගිල්ටි ෆීලින්ග් එකෙන් මිදෙන්න මට කවදාවත් පුලුවන් වුනේ නෑ . .

පොත ගෙනත් නොදීපු එකාට පින් දීලා මට ඒ කරුම හැඟීමෙන් ගැලවෙන්න බැරි උනා . . අදටත් බෑ . .

ලංකාවේ රැකියාවක් කලා නම් උපයන්න පුලුවන් වෙයි කියලා හීනෙන් වත් නොහිතන ගානක් උපයන රැකියාවක් කරලා වත් හදමින් ඉන්න කාමර තුනෙයි, සාලයයි, කෑම කාමරය, කුස්සිය, ටීවී රූම් එකකුයි තියෙන විසාල නොවන ගේ හදාගෙන ඉවරයක් කරගන්න බැරුව ළතවෙන මාව අලුතෙන්ම පිච්චෙන්න ගන්නේ පුංචි කාලේ මතකයන් අතරේ තියෙන අර ගිනි ජාලාවක් වෙලා තිබුනු ගේ ගැන සිහිවෙනකොට.

ඒ ගේ හදන්න ඒ මිනිස්සු කොයි තරම් දුක් කරදර විඳින්න ඇද්ද?

ඒ දෙමළ තාත්තා තරුණ කාලේ ඉඳන් මැදි වයසට එනකම් එකතු කරපු සල්ලි වලින් ඒ ගේ හැදුවා වෙන්න ඇති.

ඒ වගේ ගෙයක් හදාගන්න උදේ හවා රැකියාව කරලා මදි හරියට පාර්ට් ටයිම් රැකියාත් කලා වෙන්න ඇති.

ඒත් ඒ හැමදේම පිච්චිලා අලුවෙලා යන්න ගියේ කොයි තරම් සුලු කාලයක්ද?

ඒ මිනිස්සුන්ට මොන දුකක් දැනෙන්න ඇද්ද?

සමහර විට මාතරින් (දකුනෙන්) යාපනේට ගිහින් දාඩිය බේරී බේරී දුක් විඳලා බේකරි දාගෙන හරි, පොඩි කඩ දාගෙන හරි පුංචි ගෙයක් දොරක් හදා ගත්තු, ව්‍යාපාරයක් පටන් ගත්තු අහිංසක සිංහල මිනිස්සුන්ගේ දේපොල ත්‍රස්තවාදීන් ගිනි තියද්දී ඒ අයටත් ඒ හැඟීමමම දැනෙන්න ඇති . . .

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා කවුරු වුනත් අතරේ ත්‍රස්තවාදීම් ඉන්න පුලුවන්.

බස් වල - කෝච්චි වල බෝම්බ පුපුරවන, පන්සල් වලට පැනලා හාමුදුරුවරු කැති ගහලා මරන, මුස්ලිම් පල්ලි වලට පැනලා යාඥා කරන බැති මතුන් මරන, කුඩු ගෙන්වලා තරුණ පරම්පරාව බිලි ගන්න, රටේ සංවර්ධනයට යොදා ගතයුතු මහජන මුදල් කාබාසිනියා කරන, අහිංසක අසරණ මිනිස්සුන්ට තාඩන පීඩන කරන . . . .ත්‍රස්තවාදීන්ට, ත්‍රස්තවාදීන්ට සලකන විදිහකට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා අපි කවුරුත් එකතු වෙලා ගහලා පන්නලා දාලා. .

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා අපි කවුරුත් සැතකින් උරය පැලුවොත් එකම රතු රුහිරු ගලන මිනිසුන් කියලා හිතලා සමඟියෙන් ඉන්න පුලුවන් දවසක් උදා වෙනවා නම් . . . . !

හිතේ කිසිම කහටක් නැතුව සිංහල අවුරුදු දාට දෙමළ-මුස්ලිම්-බර්ගර් යාළු ගෙවල් වලට කිරිබත්-කැවුම්-කොකිස් පිඟානක් ගෙනියන, තෛපොන්ගල් දවසට සිංහල-මුස්ලිම්-බර්ගර් යාළු ගෙවල් වලට කෑම පිඟානක් ගෙනියන, රාමසාන් උත්සව දවස්වලට කන්ජි කෝප්පයක්-බිරියානි පිඟානක්-වටලප්පන් කෝප්පයක් සිංහල-දෙමල-බර්ගර් යළු ගෙවල් වලට ගෙනියන්න ලැබෙන දවසක් උදා වෙනවා නම් . . . . !

Monday, July 4, 2011

යසෝදරා වන් බිරිඳක් . . . !



හැම සැමියෙකුගේම ප්‍රාර්ථනාව යසෝදරා වන් බිරිඳක්.

බෞද්ධ සාහිත්‍ය ගැන දැනීමක් ඇති ඕනෑම කෙනෙක් මා මේ ඉහතින් දැක්වූ අදහස එක සිතින් පිලිගන්නවා ඇති යන්න මගේ හැඟීමයි.

සිද්ධාර්ථ චරිතය, ගෞතම බුද්ධ චරිතය ගැන ගැඹුරින් අධ්‍යනය කල අය දන්නවා ඇති ගෞතම බුදුන් යසෝදරාගේ ගුණකඳ වර්ණනා කරන්න කිසි විටෙක පසුබට නොවූ වග.

එතුමා හැකි සෑම අවස්ථාවකදීම සඳහන් කර තිබෙනවා එතුමාගේ සත්‍ය සොයා යන ගමනට එසේත් නැතිනම් ලෝවැසින්ට සසර දුකෙන් මිදී නිර්වාණය අත්කරගැනීම වෙනුවෙන් වෙහෙසවුනු කාර්‍ය්යට යසෝදරා උපරිම අනුබලය දුන්වග.

සනත් නන්දසිරි මහතා ගායනා කරන "සිතේ නැඟුනු කළකිරීම කුමරිය ඔබ පමනයි දැන සිටියේ පෙර සිට" ගීතයේත් "එයින් මිදෙන මංපෙත සොයනා සඳ . . ඔබෙන් ලැබින නිබඳවම සියළු වෙර" ලෙසින් සඳහන් වන්නේ ඒ ඇගෙන් ලැබුනු අනුබලයේ දෝංකාරයයි.

බුද්ධත්වයෙන් පසු කපිලවස්තු පුරයට ගෞතම බුදුන් වැඩමකල අවස්තාවේ, සුදොවුන් පිය රජතුමාත් යසෝදරා සහ රහල් පුතුත් දැකගැනීමට මාලිගාවට වැඩම කල මොහොතේ යසෝදරා එතුමා අභිමුඛයට නොපැමින "ඔහු වෙනුවෙන් බිරිඳක් ලෙස මා කල කැපකිරීම් ගැන ඔහු සලකනවානම් මා අභිමුඛයට ඔහු පැමිණිය යුතුයි" සිතා ඇගේ කුටියට වී සිටි බව අප කියවා ඇත්තෙමු.

"මා හිස මුඩු කල බව අසා හිස මුඩුකල, මා දිනකට එක්වරක් ආහාර ගන්නා බව අසා දිනකට එක්වරක් අනුභව කරන, මා දළ කසාවත් පොරවන බව අසා දළ කසාවතින් රන් රුව පොරවන, රහල් කුමරු උපන්දාම මා ඔවුන් හැර ගිය නිසාවෙන් සියලු දුක් දොම්නස් උසුලන, මට සත්‍ය සොයා යන ගමනට දිරි දුන් යසෝදරාව බැහැදකින්න මා යායුතුයි" කියා ගෞතම බුදුන් යශෝදරාගේ කුටියට වැඩම කල බවත් එහිදී යසෝදරා බුදු පා මුල වැටී කඳුලින් බුදුපා තෙමූ වගත් අප කියවා ඇත්තෙමු.

යසෝදරාව කලාක් මෙන් හිස මුඩුකිරීම්, එක වරක් අනුභවය ආදී දේ සැමියන් බලාපොරොත්තු නොවුනත් යසෝදරාව මෙන් සැමියාගේ පරමාර්ථ හඳුනාගෙන ඒවා උසස් ඒවා යැයි හැඟේ නම් ඔහුට ඒ වෙනුවෙන් දිරිදීම සැමියාගේ ගමන් මගේ පහන් ටැඹක් වීම ආදියෙන් මා මුලින් කී ආකාරයෙන් සැමියා බලාපොරොත්තු වන යසෝදරාවක් වීම බිරිඳකට මහා අමාරු කාරියක් නොවන බව මඟේ හැඟීමයි.

දරුවන් කීප දෙනෙක් සමඟ බිරිඳ අත්හැර අභිනික්මන් කරන සිද්ධාර්ථ ලා අද සමාජයේ බොහෝ නමුත් ඒ සිද්ධාර්ථලාගේ අභිනික්මන සමාජයට අර්ථයක් සිද්ධ කිරීම නොවන නිසාම ඔවුන්ට සමාව දෙන්න බැරි වීම වෙනමම කාරණයක්.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

සමාජශීලී මිනිසෙක් වූ දාටත් වඩා පවුලේ යමක් තේරෙන කුඩා සහෝදරයෙක් දා පටන් කිසිම රස කෑමක් තනිවම බුක්ති විඳීමේ හැකියාව මා අතැර ගිය බැව් මා දනිමි. ඉදින් එවන් වූ මා හැමදෙනාටම රසවිඳිය හැකි යමක් ලදහොත් බෙදා හදාගෙන රසවිඳින්න පමා වන්නේ ඇයි.

"මචං මේක අහල බලපන්" කියා පෙරේදා මා මිතුරු බුද්ධි ඔහුගේ එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකේ තිබී අහම්බෙන් හමුවූ නරසීහ ගාථා MP3 එකක් අසන්න සැලස්වීය.

ඒ අසා උපන් තෘප්තිය ඒ නරසීහ ගාථා ඔබ සැමට රසවිඳින්න සල්වනු වස් මෙවන් වූ ලිපියක් ලියන්න ඉඩසැලසූ බව කියන්නේ සතුටිනි.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

බුද්ධත්වයෙන් පසු කපිලවස්තු පුරයට වැඩමකල ගෞතම බුදුන් එහි වීථි පුරා පා ගමනින් වැඩමකරද්දී, යසෝදරා සුදොවුන් රජ මාලිගයේ සඳළුතලාවේ සිට රහල් කුමරු තුරුල් කරගෙන එසේ පා ගමනින් වඩින බුදු පියා පෙන්වා මේ නරසීහ ගාථා ගැයූ බව අප බුද්ධ සාහිත්‍ය පත පොතින් කියවා ඇත්තෙමු.

එසේ කියවූ නරසීහ ගාථා මෙසේ අසද්දී දැනෙන හැඟීම ඔබත් විඳ බලන්න . . .



අනුමාන කරන ආකාරයට ගායිකාවගේ හඬ නම් විශාරද රශ්මි සංගීතා ගේ විය යුතුයි.

මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක . .

පහල නරසීහ ගාථා ගැන ඇති පින්තූරය ගත්තේ එලකිරි අඩවියෙන්




අනෙක් පින්තූරය ගත්තේ මෙතැනින්: http://thienviendaidang.net/01phathoc/nghiencuu.php?rowstart=462

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails