Tuesday, March 29, 2011

බනක් ගිය දුරක් . . !



2011 ජනවාරි මාසේ දවසක මාත් එක්ක වැඩ කරන කතරක සිතුවිලි ලියන මනෝජ් මාල්ලිත් මාත් අතර ඇතිවුනු දෙබසක්.

මනෝජ්: අයියේ, ඩුබායි වල අසපුව කියලා පන්සලක් තියෙනවා. අපි වෙලාවක දානයක් හරි බනක් හරි ඕගනයිස් කරමුද?

මම: ඔය අසපුව අර ලංකාවේ තියෙන අසපුවේ බ්‍රාන්ච් එකක්ද?

මනෝජ්: ඔව්

මම: මල්ලි මම එකේ වෙබ් සයිට් එක බැලුව, ධර්ම දේශනා කීපයක් ඇහුවා. මගේ නම් ඒ තරම් පැහැදීමක් නෑ එකේ බන ගැන.

මනෝජ්: නෑ අයියේ දැන් එතන ඉන්නේ හොඳ සිල්වත්, පැහැදිලිව බන කියන හාමුදුරුවරු.

මම : අහ් එහෙමද? එහෙනම් අභිධර්මය ගැන එහෙම දන්න සිල්වත් හාමුදුරුවරු දැන් ඉන්නවා ඇති.

මනෝජ්: අනේ අයියේ මම කියන නිසාවත් ඕගනයිස් කරන්න. ප්ලීස්. මම ඔයාට දැන් එතන නම්බර් එක එස් එම් එස් කරන්නම්.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

එදාම හවස:

ට්‍රීන් . . .. .ට්‍රීන් . . .

එහා කොනෙන්: තෙරුවන් සරණායි . . . (ගැහැනු කටහඬක් තාලයට )

මම: (මොකක් කියන්නදැයි හිතා ගන්න බැරුව ෆුල් අන්දොස් වෙමින්) ම් ම් ම් තෙරුවන් සරණයි. අපිට වීක් එන්ඩ් එකක දානයක් දෙන්න හරි බනක් කියන්න හරි උවමනාවක් තියෙනවා.

අනෙක් පැත්තෙන්: පොඩ්ඩක් ඉන්න. වීක් එන්ඩ් එකක නම් ලඟදි දවසක් නෑ. ආයේ තියෙන්නේ ජුනි මාසේ.

මම: ජුනි මාසේ මම නිවාඩු යනවා. බනක් කියනවනම් කොහොමද දවස්?

අනෙක් පැත්තෙන්: ඉන්න මම අසපුවේ නොම්මරේ දෙන්නම්. මම කරන්න දාන භාර ගන්න එක විතරයි.


හාමුදුරුවන්ට කෝල් කලාම කිව්වෙත් සති අන්තෙක බනක් සඳහා අප්‍රේල් මාසෙන් මෙහා දින නැති බවයි.


“හරි එහෙනම් ආපහු ටික දවසක් ගිහින් මාර්තු මාසේ මුල වගේ ආයේ ට්‍රයි කරලා බලමු” ජනක, මම මනෝජ් ඒකමතිකව තීරණය කලා.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

2011 මාර්තු මාසේ මුල දවසක බ්ලොග්ස් ලියන අපි හැමදෙනාගේ ආදරණීය අක්කන්ඩීත් මාත් අතර ඇතිවුනු සංවාදයක්.

අක්කණ්ඩී : මල්ලී, මම දැන් ඉන්නේ ඩුබායි. දුවගේ ගෙදරයි පුතාගේ ගෙදරයි මාරුවෙන් මාරුවට ඉන්නේ.

මම : අහ් එහෙමද අක්කණ්ඩී. මම ඩුබායි එන වෙලාවක එන්නම් අක්කන්ඩිව බලන්න.

අක්කණ්ඩී : මෙහේ පන්සලට එන්න වෙලාවක. මගේ පුතා එතනෙ හොඳ දායකයෙක්.

මම: අනේ අක්කණ්ඩී, අපි එකපාරක් බනක් කියන්න දවස්ක් ගන්න ට්‍රයි කලා. වීක් එන්ඩ් එකක දවසක් දෙන්න පුලුවන් අප්‍රේල් මාසේ කිව්ව නිසා වැඩේ කල් දැම්මා.

අක්කණ්ඩී : ආ ඉන්න මම පුතාට කියලා දවසක් ඉල්ලල දෙන්නම්. පුතාගේ නම XXXXX. මේ එයාගේ මොබයිල් නම්බර් එක. ඔයාත් එයාට කෝල් එකක් දෙන්න මල්ලී.


අක්කණ්ඩීගේ පිහිටෙන් XXXXXගේ උදව්වෙන් ගිය බ්‍රහස්පතින්දා හවස බනක් කියන වැඩේට සෙට් වුනා.

අපි ආපහු යන්න ගෙවල් අස් පස් කරන නිසා ජනක මල්ලිලගේ ගෙදර තමයි යොදා ගත්තේ.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

මනෝජ් – සඳමාලි, ජනක – චාමිකා, මම – නදීෂා, සඳුන් – ඩිලූජා, නදීෂලගේ මල්ලී හශිතට, මගේ මිතුරු රුවන්, රුචක – රොජර් – රොෂාන්, බුධ්දික සහ මිතුරු දමිත, මනෝජ්ගේ මිතුරු ඩග්ලස් මේ තමයි බන අහන්න එකතු වුනු කට්ටිය.

හාමුදුරුවන්ව ඩුබායි ඉඳන් අබුඩාබි වඩම්මගෙන එන්න හෂිතට භාර දුන්නා.

බන ඉවර වෙලා පන්සලට ආපහු වඩම්මවන්න රුචක – රොජර් – රොෂාන්ට භාර දුන්නා.

24 බ්‍රහස්පතින්දා වැඩ කරන දවසක් නිසා හැමදෙනාම වැඩ ඉවරවෙලා ගෙවල් වලට ගිහින්, ඇඳුම් මාරු කරගෙන එන්න ඕන.

රුවන් උඔම් අල් කුවීන් ඉඳන් කිලෝමීටර් 300ක් විතර එන්න ඕන, ජනකත් ඉන්නේ සිටි එකට මෙහායින් නිසා සඳුන්ලා කිලෝමීටර් 60ක් විතර ඩුබායි පැත්තට එන්න ඕන. මමත්, මනෝජ්ලත් කිලෝමීටර් 50ක් ගෙදර ඇවිත් ආපහු කිලෝමීටර් 35ක් විතර ඩුබායි පැත්තට එන්න ඕන.

මුලින් අපි කතා වුනේ රෑ 8ට බන පටන් ගමු කියලා. හෂිත ටිකක් කලින් පන්සලට ගිහින් ජනකලගේ ගෙදරට ගාමුදුරුවෝ වඩම්මගෙන එනකොට 7.15ට විතර වුනාලු.

දැන් ඔන්න එනවා කෝල් දිගට හරහට . .

“ඉක්මනට වරෙල්ලා බන්. හාමුදුරුවන්ට මල පැනලා වගේ ඉන්නේ දැන් පය භාගයක් විතර තිස්සේ බලාගෙන ඉඳලා”

“පොඩ්ඩක් ඉවසන්න කියන්න අප්පා. අපිට මෛත්‍රී කරන්න කියන්න. අද වැඩ කරන දවසක්නේ”

“එන්න එන්න ඉක්මනට එන්න”

“මේ අයියේ මම එන ගමන් හාමුදුරුවන්ට කිව්වා ජොබ් කෙලවෙච්ච සීන් එක”

“ආ ඒකට කමක් නෑ”

7.45ට විතර ඔන්න මනෝජ්ලා සඳුන්ලා එන්නත් කලින් මල් පහන් පූජා කරලා වැඩේ පටන් ගත්තා”

. . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ තියෙන්නේ මතක තියෙන තරමට එදා කියපු බන වල සාරාංශය. සමහර තැන් වල හාමුදුරුවෝ අපෙන් කෙටි උත්තර එහෙමත් බලා පොරොත්තු වුනා. ඒවා සහ විශේෂ දේවල් වරහන් ඇතුලේ දාන්නම්.

දැන් අපි අසපුව දාලා අවුරුද්දක් විතර වෙනවා. මේ පින්වතුන් එක්කෙනෙක්ගේ වත් මූනක් අපි එහේදි දැක්කේ නෑ.

බෞද්ධයන්ට පන්සල, බන දහම් මතක් වෙන්නේ ජීවිතට බයක් දැනුනු වෙලාවට, රැකියාව නැති වුනු වෙලාවට තමයි (හාමුදුරුවන්ගේ හින්ට් එකට කස්ටියම මගේ දිහා බලන බව මට තේරුනා)

මුස්ලිම් මිනිස්සු දවසට පස් පාරක් වඳිනවා. ක්‍රිස්තියානි අය හැම ඉරිදාම පල්ලි යනවා. ඒත් එයාලා සුගතියට යනවද? (එතුමා අපි නෑ කියනකම් බලන් ඉන්නවා. අපි කිසි කෙනෙක්ගෙන් සද්දයක් නෑ – අයි අප්පේ අපි කොහොමෙයි නෑ කියන්නේ) පස්සේ එතුමාම කියනවා “නෑ පින්වතුනි” (හරියට එහේ ගිහින් ඇවිත් වගේ – අනෙක් අතට අප බෞද්ධයෝ වූ පලියට අනෙක් ආගම් වලට ගරහන එක ඒවා හෙලා දකින එක කල යුතුද??)

අකුසල් වර්ග දහයක් තියෙනවා – කීයක්ද – දහයක්. අපි වැඩිපුර කරන්නේ කුසල්ද අකුසල්ද?? (අපි අකුසල් කියලා කියනකම් එතුමා බලන් ඉනන්වා – මගේ පිලිතුර “කුසල්” – හාමුදුරුවෝ සමච්චලේට හිනාවුනා)

සිතින් කෙරෙන අකුසල් – ලෝභය, ද්වේෂය, මෝහය; කයින් කෙරෙන අකුසල් – කාමයේ වරදවා හැසිරීම, ප්‍රාණඝාතය, සුරාමේරය, සොරකම් කිරීම; වචනයින් කෙරෙන අකුසල් – බොරු කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම.

මෙහෙම බැලුවාම අපි වැඩියෙන් කරන්නේ මොනවද පින්වතුනි (කිසි කෙනෙක්ගෙන් පිලිතුරු නැත – හාමුදුරුවන්ගේ හිත හැදෙන්න කියලා බොරු කියන්න පුලුවන්ද අප්පා)

අකුසල් කරන අය අපායේ යනවා, ලෝදිය බොන්න වෙනවා, කටු ඉඹුලේ නගින්න වෙනවා.

ජීවිත කාලේම කිසිම පිනක් දහමක් නොකරපු වයසක මෑණි කෙනක් මරන මොහොතෙදි බුදු හාමුදුරුවෝ දැකලා හිත පහදාගෙන දිව්‍යලොකේ ගියා පින්වතුනි (හාමුදුරුවෝ එහේ ගිහින් ඇවිත් වද්ද?? දැක්ක වගේ කිව්වේ. . !!)

බුදු හාමුදුරුවන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂන දන්නවද?? (සද්දයක් නැත – කාටද අප්පේ ඔව්ව කට පාඩම් තියෙන්නේ) බෞද්ධයෝ උනාම දැනගෙන ඉන්න එපැයි. මේ වගේ කිසිම දෙයක් නොදන්න පිරිසකට මම මේ බන කියනවමයි.

අනේ පිඬු සිටු තුමා කවුද කියලා දන්නවද – බුදු හාමුදුරුවන්ගේ අග්‍ර දායකයා (පිලිතුර මගෙන් - ආයෙත් හාමුදුරුවන්ගෙන් සමච්චල් හිනාවක් සමඟ ) එච්චරද දන්නේ - අනේ පිඬු සිටු තුමා කියන්නේ සල්ලි පොලියට දුන්නු කෙනෙක්. බුදුන්ට පන්සලක් හදන්න ඉඩමක් ගන්න ඕන වෙලා ජේත කුමාරයාගේ ඉඩමක් අරන් තියෙන්නේ ඉඩමේ මුලු බිම් ප්‍රමානෙම රන් කාසි අතුරලා.

කල්පය කියන්නේ මොකද්ද කියලා දන්නවද? (සද්දයක් නැත ) සැතපුම් හතක් දිග, සැතපුම් හතක් පළල, සැතපුම් හතක් උස කලු ගලක් තියෙනවා පින්වතුනි. ඒක අවුරුදු සීයකට වරක් කෙනෙක් ඇවිත් සිනිදු රෙදි කඩකින් පිසදාලා ගෙවිලා නැති කරන්න තරම් කාලයක් තමයි කල්පයක් කියන්නේ.

මේවා කියලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ. එතුමා කිව්ව ඒවා ඔක්කෝම ඇත්ත. (බුදු හාමුදුරුවෝ මෙහෙම්ම කිව්ව කියලා කොහොමෙයි ටක්කෙටම කියන්නේ)

මෙහේ ඉන්න අය සල්ලි පස්සේ දුවනවා විතරයි. පන්සලකට යන්නේ නෑ – බනක් අහන්නේ නෑ – පිනක් දහමක් කරන්නේ නෑ.

රුචක – රොජර් – රොෂාන් දෙසට හැරී, අසපුව තියෙන තැන දන්නවද? නෑ (රොෂාන්ගෙන් පිලිතුර ) ඒකනේ ඩේරා සිටි සෙන්ටර් එක තියෙන තැන, ඩුබායි මෝල් එක තියෙන තැන එහෙම නම් දන්නවා ඇති නේද? (ඇයි හත්දෙයියනේ කන්න බොන්න දේවල් ඇඳුමක් කැඩුමක් ගන්න ඕන උනාම මෝල් එකකට එපැයි යන්න නැතුව අසපුවට ගියාම හරියනවැයී

කුසල් රැස් කරන්න පින්වතුනි, කුසල් රැස් කිරීමෙන් තමයි සුගතියකට යන්න පුලුවන් (මොකක්? ධම්ම පදයෙද කොහෙද තියෙනවා නේද කුසල් අකුසල් දෙකාම් රැස් කරන්නේ තෘෂ්නාවෙන් නිසා ඒක සසර ගමන දිගු වෙන්න හේතුවක් කියලා)

ඔයාලට ධර්මය ගැන දන්නේ නැතිනම්, ඉගෙන ගන්න ඕන නම් අසපුවේ වෙබ් සයිට් එකක් තියෙනවා. ඒකෙන් ඉගෙන ගන්න.

නිවාඩු වෙලාවට අසපුවට එන්න. ඇවිත් බන අහන්න.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

බන යන අතරේ මට එනවා එස්. එම්. එස්. එකක් එතනම ඉන්න එකෙක්ගෙන් “මොකද්ද යකෝ තෝ මේ කෙරුවේ – ගෙදර හිටියනම් පාඩුවේ නිදිය ගන්න්වානේ බන්” කියලා.

හාමුදුරුවෝ රුචක මල්ලිලත් එක්ක යවලා අපි කට්ටිය පටන් ගත්තා සංවාදේ . . .

“අපරාදේ මේ බන නිසා අපේ හොඳට තිබුනු හිතත් අවුල් වුනා”

“මේ විදිහේ බන කිව්වාම අසපුව පැත්තේ යන්න හිතන එකාත් නොගිහින් ඉඳීයිනේ අප්පේ”

“අපි කලින් දවසක් යාලුවෙක්ගේ ගෙදරක ගියා එතනදිත් කිව්වේ ඔය බනමයි”

“මෙව්ව බනද – අපරාදේ අපේ කාලේ. හත්ගව්වක් දුර ඉඳ ඇවිත් නිකම් පැට්‍රොල් පුච්ච ගත්තා විතරයි”

දැනටත් මේ පෝස්ට් එක මාගලක් විතර දිගයි . . ඔක්කෝම ටික කියන්න ගියොත් ඉතිං . . .

. . . . . . . . . . . . . . . . . . . . . . . .

පහුවදා උදේම අක්කණ්ඩීගේ පුතා XXXXXට කෝල් එකක් දී බොහොම අකමැත්තෙන් උනත් ලොකු බොරුවක් කියන්න සිදුවුනා.

“XXXXX බොහොම ස්තූතියි – වැඩේ හොන්දින් සිද්ද වුනා” (ඇත්ත කතාව කිව්ව නම් මනුස්සයට හිතෙයි වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනයි කියලා)

නමුත් අක්කන්ඩිත් එක්ක චැට් එකක් දාලා විස්තරේ කිව්වා.

පුතාගේ හිත රිද්දන්න අකමැති නිසා බොරු කිව්ව බව කියන්න අමතක උනා.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

පෙරේදා ඔෆිස් එකේ වැඩ කරන අතර තුරේ එනවා කෝල් එකක්

“තෙරුවන් සරණයි, මම මේ එදා බනට වැඩිය ස්වාමින්වහන්සේ."

මම : තෙරුවන් සරණයි. ඔව් කියන්න ස්වාමින්වහන්ස.

හාමුදුරුවෝ: මහත්මයා එදා මගේ ධර්ම දේශනාව නිසා මොකක් හරි අප්සට් එකක් උනාද?

මම : ඔව් හාමුදුරුවනේ. ඔබ තුමා කිව්වනේ අපිට ජොබ් එකට කෙල උනාම තමයි බන දහම් මතක් උනේ කියලා. ඇත්තටම අපි ගිය ජනවාරි වල තමයි මේ වැඩේ ප්ලෑන් කලේ. ඒ කාලේ මෙහෙම ජොබ් ප්‍රශ්නයක් තිබ්බේ නෑ, ඒත් දවසක් ලබුනේ නෑ. පස්සේ පුෂ්පා අක්ක නිසා XXXXX මහත්තයට කියලා තමයි මේ දවස ලැබුනේ.

හාමුදුරුවෝ: මම ඒක හිතලා කිව්වේ නෑ මහත්තයා (බොරු ??) එහෙම කියපු එකෙන් හිත රිදුනනම් සමාවෙන්න.

මම : හිත රිදුන තමයි හාමුදුරුවනේ. මොකද අපි ජනප්‍රිය බුද්ධාගම පස්සේ යන ප්‍රදර්ශනාත්මක බෞද්ධයෝ නෙමෙයි. අපි හදවතින්ම බෞද්ධ දර්ෂනයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන ප්‍රතිපත්ති ගරුක බෞද්ධයෝ.

සාසනයේ පැවැත්මට ආමිස පූජා ඕන කියල දන්න නිසා තමයි පන්සල් යන්නේ, දාන දෙන්නේ, බන කියවන්නේ.

අනික බුදු දහම කියන්නේ හාමුදුරුවනේ ඇත්තටම ආගමක් නෙමෙයිනේ. ඒක දර්ෂනයක්නේ. බෞද්ධ සාහිත්‍ය කියන්නේ පස්සේ කාලේක නූගත් ශ්‍රාවකයන්ගේ හිතේ පැහැදීමක් ඇති කරන්න ඕන කමට බලෙන් එකතු කරපුවානේ.

හාමුදුරුවෝ: මහත්තයාලා යමක් කමක් දන්න අය වගේ.

මම : අපි ධර්ම දේෂනාවක් කියලා බලාපොරොත්තු වුනේ හාමුදුරුවනේ පොඩි කාලේ දහම් පාසලේදි උගන්වනව වගේ නැති නම් මෝඩ උපාසකම්මලා රෑනක් වට කරගෙන කියන අකුසල් කරන්න එපා. අකුසල් කලාම අපායේ යනවා, ලෝදිය බොන්න වෙනවා, කටු ඉඹුලේ නගින්න වෙනවා. කුසල් කලාම දිවිය ලොකේ යනවා ජාතියේ බනක් නෙමෙයි.

හාමුදුරුවෝ: නෑ මහත්තයා මම කිව්වේ අද කාලේ මිනිස්සු ආගමෙන් දහමෙන් ඈත් වෙලා කියලා.

මම : අසපුවට නො එන අය ඔක්කෝම පව් කාරයෝ වගේනේ හාමුදුරුවෝ කතා කලේ. මෙහේ ඉන්න අපි ලංකාවේ ඉන්නකොට වැඩිය හොඳින් ආගමික ජීවිත ගත කරනවා හාමුදුරුවනේ. සතියේ දවස් පහ වැඩට යනවා. සති අන්තේ පවුලේ දරුවන්ගේ වැඩ වෙනුවෙන් වෙහෙසෙනවා. පඩි ගත්තාම දෙමාපියන්ට සහෝදරයින්ට නෑදෑයින්ගේ උවමනාවලට සල්ලි යවනවා. සමහර වෙලාවට පත්තර වල එහෙම දැකලා නොදන්න අයගේ පවා ඔපරේෂන් වලට එහෙම සල්ලි එකතු කරලා යවනවා. ගෙවල් හදා ගන්න, දුප්පත් ලමයින්ට ඉගෙන ගන්න එහෙම උදව් කරනවා. එහම එකේ හාමුදුරුවෝ කොහොමද කියන්නේ මෙහේ ඉන්න අපි සල්ලි පස්සේ දුවනවා විතරයි අසපුව පැත්තේ එන්නේ වත් නැති නිසා පව්කාරයෝ කියලා.

පෘතග්ජන මිනිස්සු හැටියට අපෙන් අකුසල් කෙරෙනවා වෙන්න ඇති. ප්‍රාණඝාතේ නොකලට අපි මස් මාළු කන නිසානේ මරන්නේ. ඒක නිසා කෙලින්ම නැත්ත් අපි වක්‍රාකාරව ප්‍රාණගාතේ කරනවා; මාසෙකට පාරක් විතර කට්ටිය එකතු වෙලා බොනවා; ඒත් අපි අකුසල් කරනෙන බොහොම අඩුවෙන් – ඒකයි හාමුදුරුවෝ අපි වැඩියෙන් කරනේ කුසල්ද අකුසල්ද කියලා ඇහුවාම මම ෆුල් කොන්ෆිඩන්ට් පිට කුසල් කියලා කිව්වේ”

හාමුදුරුවෝ: මගේ මහන ජීවිතේ මේ පලවෙනි වතාව මම කරපු දේෂනාවක් නිසා මේ වගේ හිත රිදෙන කතා ඇහුවේ මහත්මයා. මම විරුද්ධයි අර මහත්තයා කියපු පෘතග්ජන මිනිස්සු කියපු දේට. ඒකේ තේරුම මම කියන්නේ නෑ. ඔය තරම් දේවල් දන්න ඒක හොයා ගන්න.

මම : මම ප්‍රතිපත්තියක් විදිහට බොරු කියන්නේ නෑ. ඒත් XXXXX මහත්තයට බොරුවක් කියන්න උනා. නමුත් හාමුදුරුවන්ට බොරු කියන්න මට ඕන නෑ. මොකද හාමුදුරුවනෙග දර්ම දේශනය න්සිආ අපි ඔක්කෝගෙම හිත් රිදුනා. බනක් කියවන්න ගිහින් අපි අකුසලයක් කර ගත්තේ කියලා අපි ඔක්කෝම කතා වුනා. අපි හාමුදුරුවන්ට ධර්ම දේශනයකට ආරාධනා කල නිසා අපි හැමෝම කටවල් වහගෙන හිටියා. ධර්ම සාකච්චාවකට එන්න කියලා ආරාධනා කරලා තිබුනා නම් එදාම වාද කරනවා.

හාමුදුරුවනේ සමාවෙන්න මම ඔෆිස් එකේ වැඩ කරන වෙලාවේ මේ පැය භාගයක් විතර කතා කලේ. ඒ ගැන තව කතා කරන්න ඕන නම් මම අයේ වෙලාවක ගන්නම්.

හාමුදුරුවෝ: මහත්තයල හැමෝම වෙලාවක අසපුව පැත්තේ එන්නකෝ . .




ධර්ම දේශනාවෙන් පසු පියෝ වෙජිටේරියන් රෑ කෑම.

. . . . . . . . . . . . . . . . . . . . . . . .

ඇත්ත වශයෙන්ම සම්පූර්ණ වරද ඇත්තේ මා අතය.

අපි ර්ම දේශනාවෙන් බලා පොරොත්තු වූයේ අප දන්න කරුනු තවත් පැහැදිලි ලෙස වටහා දීමක් සිදුවේයැයි උපකල්පනය කිරීමය.

චතුරාර්‍ය සත්‍ය එනම් දුක දුකට හේතුව දුක නැති කිරීම - දුක නැති කිරීමේ මාර්ගය (ඉපදීම දුකක් බව, තෘෂ්නාව නිසා ඉපදීම සිදුවන බව, දුක හෙවත් ඉපදීම නැති කරන්න නම් නිර්වාණාය අවබෝද කර ගත යුතු බව, නිර්වාණය ට ඇති එකම මඟ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය (සම්මා දිට්ඨි , සම්මා සඞ්කප්ප,සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි - වැඩි විස්තර මෙතනින්)බව එතුමා පැහැදිලි ලෙස විස්තර කරාවි යැයි අප උපකල්පනය කිරීමය

. . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ ලිපිය කිසි කෙනෙකුට පහර ගැසීම හෝ හෙලා දැකීම අරමුණු කරගෙන ලීවක් නොවේ.

ඒ හාමුදුරුවන් සිතන ආකාරයට ඔහුගේ / ඔවුන්ගේ අනුගාමිකයින්ට සුගතියට යන්නත් ගෞතම බුදු රජාණන් වහන්සේ දෙසූ ධර්මයට අනුව දිවිගෙවන අයට නිර්වාණය අවබෝධ කරගන්නත් එක සමාන අයිතියක් ඇති බව මා එක සිතින් පිලිගන්නා බවද කිව යුතුයි.

මේ ලිපිය නිසා අක්කණ්ඩීට හෝ වෙන කිසියම් පාර්ෂවයක සිත් රිදීමක් සිදුවූවා නම් ඒ ගන සමාවන ලෙසද ඉල්ලා සිටිමි.

Wednesday, March 23, 2011

දොරක් වැසී . . දොරක් ඇරේ . . ජීවිතේ . . !!



ජොබ් එකට කෙල උනාම ඒකත් සතුටු වෙන්න පුලුවන් හේතුවක් කියලා හිතලා පාර්ටි දන්න පුලුවන් ජාතියේ උන් ඉන්න පුලුවන්ද??

ඔව් ඔව් මේ පහල පික් එකේ ඉන්නේ එහෙම එකෙක් . . . හෙ හෙ හේ . . .



ගොඩක් අය දන්නවා මම මාසයක් නිවාඩුව ගතකරලා ආපහු අබුඩාබි ආවේ මේ මාසේ 5 වෙනිදා කියලා.

6 වෙනිදාටත් මගේ නිවාඩුව තිබුනු නිසා ගෙදරට වෙලා හොඳට නිදාගෙන ඉඳලා 7 වෙනිදා තමයි නිවාඩුවෙන් පස්සේ වැඩට ගියේ ඕන්.

ගිය දවසෙම දවල් ලොක්කා ලොකු වැඩක් බාර දුන්නා වුනාට ඒක දවස් දෙකෙන් ඉවර කරන්න පුලුවන් වුනා.

අඟහරුවාදා අපේ ව්‍යාපෘතියක සේවය් කරන සහෝදරයෙක්ට අස්වීමේ ලිපිය දුන්නා කියලා ආරංචිවෙලා ජනකයි මමයි හොඳටම මළ පනලා හිටියා වැඩ කරන එවුන්ව එලෝලා දාලා බකං නිලාගෙන ඉන්න උන් එක්ක අනාගතයේදී කොහොම වැඩ කරන්නද මන්දා කියලා.

බදාදා දවසේ ම නිකම් වගේ තමයි හිටියේ . . .

බ්‍රහස්පතින්දා දවල් 2ට විතර ලොක්කා අපේ අංශයේ පිලිපීන ගෑනු ළමයෙක්ට ලොක්කගේ රූම් එකට එන්න කියලා ටික වෙලාවකින් ඒ කෙල්ල අතේ ලියුමක් අරන් එනව දැක්ක ගමන් අපි දැනගත්තා මේකිට බඩු ඒ කියන්නේ අපිටත් බඩු තමයි කියලා.

ඒත් වාසනාවට ලොක්කා අර කෙල්ල අතේ මට විතරක් එන්න කියලා තමයි පනිවිඩේ එවලා තිබුනේ.

ඉතිං ඔන්න මටත් බඩු බනිස් . . . ආයතනයේ අස්ථාවර භාවය සහ අයහපත් වාතාවරණය නිසාවෙන් අකමැත්තෙන් වුවත් සේවයෙන් ඉවත්කල බවට මාසෙක දැනුම් දීමක් . .

අනේ පව් උන්දෑ පුදුම දුකක් වින්දා ඒ තීරණේ ගන්න වුනු එක ගැන පැහැදිලි කරන්න .

නමුත් මම ම පැනලා කිව්වා "ඔව් ලොක්කා ආයතනයේ ව්‍යාපෘති ඔක්කෝම දින නියමයක් නැතුව කල් දාලා තියෙන වාතාවරණයක සේවකයෝ වැඩ නැතිව පඩි දීලා තියා ගන්න එක ආයතනයේ සියදිවි හානි කර ගැනීමක් කියලා මම දන්නවා . . ඒක නිසා මේ තීරණේ මම බොහෝම සතුටින් භාර ගන්නවා" කියල . . .

ජනක මල්ලී නම් මට ලොක්කගේ කාමරේට එන්න කිව්ව ගමන් නයා මැරුනු අහිකුංඨකයා වගේ එකපාරටම අස්පැට් ගියා.

හැබැයි ඉතිං අපේ ගෙදර උන්දෑත් දැන් මම වගේ ම හිතන නිසා කෝල් කරලා පනිවිඩේ දුන්නු ගමන් “ආ ඒකත් එහෙමද – කොයි දේ වෙන්නෙත් හොඳටයි අනේ . . අපි එන විදිහකට මූන දෙමු” කියලා බොහෝම ආදරයෙන් කිව්වා.

මට ඉතිං තවත් සතුටුයි . . . ඇයි කියලා අහන්නේ . . “ඕක තමයි මම නිතර කිව්වේ හදිස්සියකට වත් කීයක් හරි ඉතුරු කරමු” වගේ දේවල් කියයි කියලා බලාපොරොත්තුව කෝල් කලාම අර වගේ පිලිතුරක් ලබුනාම සතුටු නැද්ද හලෝ . . .

අපේ ගෙදර උන්දෑ එහෙම කියයි කියලා හිතුවාට මම ඉතිං නාස්ති කාරයෙක් නෙමෙයි හරිය.

පිට රට රැකියාව කරන්න ගත්තු දා ඉඳන් එක අවුරුද්දක් ඇර ඉතුරු කාලේ පුරාම බොහෝම කල්පනාකාරීව කළමනාකරණය කරලා තමයි මම විය පැහැදම් කරලා තියෙන්නේ. බොරු නෙමේ අනේ . . . මම ගැන දන්න අයගෙන් අහලා බලන්න බොරුද කියලා.

මේ රැකියා අහිමි වීමේ තත්වය ඇත්තෙන්ම දැනට අවුරුදු දෙකකට කලින් ඉඳන් මේ ආයතනයේ සේවය කල අපි සියලු දෙනාම බලාපොරොත්තුවෙන් හිටි දෙයක්. ආර්ථික අවපාතය නිසා ඩුබායි රාජ්‍ය වැටෙන්න පටන් අරන් සෑහෙන කාලයක් යන කම් අපේ ආයතනයට අල්ලන් ඉන්න පුලුවන් උනත් ඒක තව දුරටත් කරන්න බැරි අවස්තා කීපෙක ආයතනය අකමැත්තෙන් හෝ සේවක කප්පාදුවක් කරලා ආයතනය රැක ගැනීමේ ක්‍රියාව කරන්න සිදුවුනා.

ඒ මුල් අවස්ථා වලට ආයතනයේ ඉතුරු වුනු අපි මුහුන දුන්නේ බොහෝම වේදනාවෙන්. මේ පහල තියෙන්නේ ඒ වගේ වේදනා විඳි අවස්ථා දෙකකදී මගේ අතින් නිර්මාණය වුනු නිසඳැස් දෙකක් . . .

සමුගැනීමේ සාදය . . . . . . !



. . . . . . . .. . . . .. .

හරි දැන් ඔන්න ලියුම ලැබුනාට පසු ව එන ජවනිකා . ..

මේ ගැන කෝල් කරලා කිව්ව ගමන් මගේ හිතවත්තු ඔක්කෝම බොහෝම කම්පා වුනා. දුමියා ඩර්යිව් කර කර ඉන්න වෙලාවක මම කෝල් කරලා අප්සැට් ගිය පාර තව පොඩ්ඩෙන් ජරමර ගොඩයි. ඒ අස්සේ ඌ කිව්වේ යකෝ තෝ වගේ ජොබ් එක නැති වෙලා ජොලියේ හිටපු උන් වෙන මම දැකලා තියෙන්නේ එකම එකයි . . අපේ දර්ෂනය තමයි ඒකා කියලා.

චමල්ට තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙනවා අහපු ගමන් (මල මගුලයි ), දමිත් නම් මම වගේම “ආ ඒකත් එහෙමද’ කියන බුවා නිසා ඌ නම් ශේප්. කොහොමින් හරි තව පොඩ්ඩෙන් වෙන්නේ ජොබ් එක කලවුනු එකා ජොලියේ ඉන්න කොට ඒක අහපු උගේ යාලුවෝ ප්‍රෙෂර් එහෙම වැඩි වෙලා මැරෙන ජාතියේ සීන් එකක් . . . හික් හික් හික්

හවසට පොඩ්ඩක් සැට් වෙන්න එන්නලා කියලා ලඟ පාත ම ඉන්න ජනකටයි මනෝජ්ටයි එන්න කිව්වාම නදීෂගේ මල්ලිත් සාජා ඉඳන් එනවා කිව්වා, එපා කිව්වට අහන්නේ නැතුව දැන් ඌම් අල් කුයින් වල ඉන්න රුවනුත් එන්නම් කිව්ව කිලෝ මීටර් 200කටත් එහා දුර ඉඳන්. ඒ ආපු වෙලාවේ ගත්තු පින්තූරයක් තමයි ඔය උඩින්ම දැම්මේ.

එදාම මූනු පොතේ, ගූගල් බස් එකේ එහෙම දාපු ස්ටේටස් එක (ජීවිතයේ එක් කවුළුවක් වැසෙන විට එය තවත් දොරක් විවර කර දෙනු ඇත . . . ජීවිතය නම් එයයි . . . !) දැකපු සමහර අය නම් සීන් එක අනුමාන කරලා තිබුනා කියලා කොමෙන්ට් වලින් එහෙම මට හිතුනා. චට් කරපු අය නම් ඔක්කෝටම නම් ඉතිං කිව්වා සීන් කෝන් එක.

යාලුවෝ හැමෝම වගේ කෝල් කලා, දුක බෙදා ගත්තා. CV එක එවපන් කිව්වා. යාලුවෝ එහෙම කිව්වහමයි මතක් වුනේ මම CV එක අවුරුදු ගානකින් අප්ඩේට් කරලා නෑ නේද බොලේ කියලා . . ආයතනයෙන් ජොබ් ප්‍රොපොසල් වලට දාන්න අප්ඩේට් කරපු CV එකක් ඉල්ලගෙන බැලුවා . . ම් ම් ම් ම් හු . .හිතට හරි නෑ වගේ. යාහු මේල් එක පීර පීර හෙව්වා හෙව්වා අම්මේ යාන්තම් 2005දි යවපු මේක් එකක තිබිලා එතනින් අරගෙන අප්ඩේට් කලා දවස් දෙකක් විතර තිස්සේ.

ඔය අතරේ ඔෆිස් එකේ වැඩ කීපෙකුත් කරන ගමන් CV එක අප්ඩේට් කරලා ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පටන් ගන්නකොට සතියකුත් ගෙවිලා ගිහින් . . .

සතියක් තිස්සේ තෝ මොකෝ කලේ යකෝ කියලා හැමෝගෙම ඇනුම් බැනුම් මැද යවන්න පටන් ගන්නත් කලින් චමල් කලින් වැඩ කරපු තැන ලොක්කා හෙවත් අපේ පරන ඉන්දියන් යාලුවාට කෝල් කරලා පනිවිඩේ දීලා. මනුස්සයා කියලා “ආ ඌට බය වෙන්න එපා කියපන්” කියලා. මනුස්සයා එදාම ආපහු ඉන්දියාවට ගිහින් ව්‍යාපෘතියක වැඩ වලට. මම පහුවදා ඉඳන් දෙතුන් පාරක් කෝල් කරලා මනුස්සයා ආන්සර් නොකරපු නිසා හිත හදා ගත්තා ඒක හරියන එකක් නෙමෙයි කියලා.

කලින් මම කටාර් ඉන්න කාලේ එහේ පටන් ගත් ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයේ කරක සභිකයෙක් සහ දීප්තිමත් සංවිදායකයෙක් වෙලා හිටපු කාලේ අඳුනාගත් කටාර්වල විශාල ආයතනයක ප්‍රමාණ සමීක්ෂක අංශයේ ඉහල තණතුරක් දරන මිත්‍රයෙක්ගේ ඊ ලිපිනයට සී වී එක යැව්වයින් එතුමා කෝල් කරලා කියනවා ‘මචන් මට උඹව මිස් කර ගන්න ඕන නෑ. මම ලොක්කටත් කිව්ව උඹව මට කොහොම හරි ගන්න ඕන කියලා. ඒත් අපේ ලොකු ව්‍යාපෘති දෙක තුනක්ම පටන් ගන්නේ ජුනි මාසේ. ඒක නිසා උඹට ඒ වෙනකම් ඉන්න පුලුවන් නම් මම උඹව ගන්නම් කියලා.

තව කටාර් ඉන්න කාලේ මට ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙක්ට වගේ සලකපු ඉන්දියානු (බෙන්ගාලි ) මිතුරෙක්ට කෝල් කරල සී වී එක යැව්වට පස්සේ එතුමා කියනවා “ඇයි යකෝ උඹ වෙන ආයතන වලට ට්‍රයි කරන්නේ . . උඹේ පරන කොම්පනිය උඹට යන්න දෙන්න බෑ බෑ කියලා අන්තිමට යන්න දුන්නේ උඹට එන්න ඕන කියලා හිතුනු ඕන වෙලාවක ඊමේල් එකක් එවලා පාස්පෝර්ට් කොපියක් එවපන් අපි උඹව ගන්නවා කියලා නේද . . එහෙව් එකේ ඇයි උඹ එතනට කතා නොකරන්නේ කියලා. එහෙම කියලා ලොක්කගේ දුරකතන අංකත් හොයලා දුන්න වුනත් එක පාරක් කෝල් කලාම පරන ලොක්කා ආන්සර් නොකරපු නිසා තාම එතනට සී වී එක වත් නොයවා කල්පනා කරමින් හිටියා දානවද නොදානවද කිය කිය.

පෙරේදා හවස අපි දෙන්නගේ දීර්ඝ සාකච්චාවෙන් අපි තීරණයකට එලඹුනා.

*විරුල්ව මෙහේ ඉස්කොලේ දාන්න කියලා මෙහේ ඉස්කෝලෙට මුල් කාර්තුව වෙනුවෙන් ගෙවපු ලංකාවේ මුදලින් ලක්ශ එකහමාරක් විතර වෙන මුදල ත් ආපහු ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙන එකේ මේ මාසේ අන්තිමට අපි මේ ආයතනයෙන් ලැබෙන සබ්බ සකලමනා මුදලත් අරගෙන ලංකාවට යමු.

*ගිහින් බාගෙට හදපු ගෙදර මනුස්සවාසයකට සෑහෙන තරම් කොරලා අරගෙන ගෙදර පදිංචි වෙමු.

*කොල්ලව එහේ මොන්ටිසෝරියකට දාමු.

*පටන් ගන්න ඕන කියලා හැමදාම හිත හිත ඉන්න අර බිස්නස් එකේ වැඩේ නංගිගෙනුයි, අභීතගෙනුත් උදව් අරගෙන පටන් ගමු.

*පස්සේ ඔය ටික සෙට්ල් වෙලා ඉවර වෙලා ආපහු මැදපෙරදිග රැකියාවක් ගැන හිතමු.

*එහෙම නැතත් ඔය ටික කරලා ඉවරවෙනකොට ජුනි වෙයි. එතකොට අර යාලුවගේ ආයතනයටම ජොයින් වෙන්න ඇහැක් වෙයි.

ඔන්න ඔය විදිහට තමයි තීරණය වුනේ. හිතට මාර කූල් . .. .


පැය භාගයක් යන්න ලබුනේ නෑ අර චමල් කතාකරපු අපේ ඉන්දියානු මිත්‍රයා කතාකරනවා.
“උඹ මොකෝ දැන් කරන්නේ’
“මම ආපහු යන්න කියලා”
“නෑ උඹ ආපහු යන්නේ නෑ. ඔතන නවත්වනදාට පහුවදා ඉඳන් උඹ මාත් එක්ක වැඩ” කියලා.
ඉතිං මොකෑ කරන්නේ. ජොබ් එකක් අතේ තියෙද්දී “විදුලිය එලිය දැක ගිනි හුල ලිපේ හෙලා” කියලා වගේ කොරන්න කියලද??

අපේ ආයතනයේම මම කලින් වැඩ කරපු ඩුබායි ශාඛාවේ ලොක්කා මේ දවස්වල කටාර් ඔෆිස් එකේත් ලොක්කා විදිහට උසස්වීමක් ලැබිලා දැන් ඉන්නේ කටාර්. එතුමාත් මට ඊ ලිපියක් එවලා අහනවා” උඹ කැම්තිද කටාර් එන්න” කියලා. මම ඉතිං “හා උඹ එන්න කියනවනම් එන්නම්” කියලා දන්නලා යැව්වා.

ඊයේ හවස යූ කේ ඉඳන් රෙක්‍රූටින් ආයතනයකින් කෝල් එකක් ආවා. මගේ ජීව දත්තේ දැක්කාම ඒක තියෙන එආවාට අනුව අබුදාබි වල ව්‍යාප්‍රහියකට සම්බන්ධකර ගන්න ඒ ටික ඇතිය කියලා හිතුනාය, උඹ කීයක් බලාපොරොත්තු වෙනවද කියලා එහෙම අහලා ආඵෞ කතා කරන්නම්ය කියලා තිබ්බා තිබ්බමයි තාම් නෑ.

ඕමාන් ඉන්න මිතුරෙක් එක්ක ඊයේ රෑ ෆේස්බුක් එකේ චැට් කරද්දී විස්තරේ කිව්වහම ජීව දත්තේ එවන්න කියලා අද උදේම මනුස්සයා එයාගේ ලොක්කත් එක්ක කතා කරලා මම එයාගේ ලොකු මහත්තයට කතාකලාම කියනවා ඕමාන් ව ආයතනයක ඇබෑර්තුවක් තියෙනවාය මගේ ජීව දත්තේ ඒ අයට දෙන්නම්ය කියලා.

ඕවා මේවා ඔක්කෝම නිසා තමයි එම ලඟදී දවසක් මූනු පොතේ ස්ටේටස් එකක් දැම්මේ කියලා.

ඔක්කෝමත් හරි මට වෙලා තියෙන නරකම සන්තෑසිය තමයි පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගිහින් තියෙන එක. සහතික ඔක්කෝම වැඩි පරිස්සමට කියලා වෙනමම ෆයිල් එකක දාලා තිබා නෙවෑ. අනේ අපොයි අපරාදේ කියන්න බෑ ගෙවල් මාරු කරද්දිද කොහේද ඒ ඔරිමජිනල් සහතික ටික තිබ්බ ෆයිල් එකම නැතිබංගස්තාන වෙලා.

දැන් ඉතිං උදේ හවා අභීත මලයට කතා කොර කොර වද දෙනවා කොහොම හරි වැඩියෙන්ම වටින සහතිකේ කොපියක් අරන් දෙන්ට කියලා.

ආ තව දෙයක් මම මේ දැන් මෙලෝ රහක් නැති ඒවා ලිව්වට ඉස්සර ටිකක් හොඳ ලිපි එහෙම ලිව්වා. මේ ලිපියේ මාතෘකාව ට අදාලව කලින් ලිව්වා ලිපියක් ලූශන් බුලත්සිංහල මහතාගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීතයක් ගැන.

සුලගින් බිත්ති තැනූ සුවදින් පිරියම් වූ . . .
මාළිගයකි මගෙ හද දොරගුලු නැති . .
පිරී තිබේ . . . තදබද වී . . .
ආදරේ . . .

අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන . .
සැමරුම් මේකුලු අතර නිරන්තර . . .
නිදහස ඇත කාටත් පිවිසෙන්නට . . .
ඉන්න එපා එලිපත්තේ . . .
ආදරේ . . .

මුවවිට තෙක් එය ඔබෙන් පිරී ඇත . .
එනමුදු හැම විට පුංචි ඉඩක් ඇත . .
තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස . .
දොරක් වැසී දොරක් ඇරේ . .
ආදරේ . . .

මේ ලින්ක් එකෙන් ගිහින් සම්පූර්ණ ලිපියම කියවලා බලන්නකෝ . .

මේ හැමදේම සලකා බැලුවාම මට හිතෙන දේ තමයි රැකියාව නැතිවුනු එක මට සිදුවුනු ලොකුම හොඳක් කියන එක. අලසව ගලාගෙන යන ජීවිතේ ලොකු වෙනස් කමක් කර ගන්න උත්සාහ කරන . . .අතපසුවුනු වැරදීම් හදාගන්න උත්සාහ කරන කොටින්ම ජීවිතේ අලුතින්ම පටන් ගන්න උත්සාහ කරන සිදුවීමක් වෙලා මේ ජොබ් එක කෙලවීම කියන සිදුවීම.

ඉතිං මේ ඔක්කෝම වැල් වටාරම් වලින් මට කියන්න ඕන වුනේ පොසිටිව් තින්කින්ග් හෙවත් ධනාත්මකව නිතරම හිතන්න කියන එකයි.

මොකද ඇත්තටම ජීවිතයේ එක කවුලුවක් වැහෙන කොට තවත් දොරක් ඇරෙන බව ඇත්තටම ඇත්තක් නිසා . ..

ජීවිතේ හැම කළු වලාවකම රිදී ඉරක් තියෙන බව ඇත්තටම ඇත්ත නිසා. . .

Monday, March 14, 2011

අද උඹට හැම දේම අතහැරලා යන්න වෙනවා පුතෝ !!


"අද උඹට හැම දේම අතහැරලා යන්න වෙනවා පුතෝ" කියලා ඔබේ ඉරණම ඔබට කිව්වොත් ඔබ කුමක් කරයිද??

"අනේ මට තව අවුරුද්දක් දෙන්න, මාසයක්, සතියක්, දවසක් . . . . "අවිවාදයෙන්ම කල් ඉල්ලා වැඳ වැටේවී නේද??

මොනවටද මේ කල් ඉල්ලන්නේ

හැබෑ කර ගන්න බැරි උනු හීන අටෝරාසියෙන් එකක් දෙකක් හරි හැබෑ කරගන්න උත්සාහයක් දරන්න

තමන්ට කියලා තියෙන දේපල (ඇඳුම් කඩමාල්ලක් හරි කමක් නෑ) තමන් කැමති කෙනෙකුට පවරලා එන්න

තමන්ගෙන් යැපෙන අය ඉන්නවනම් ඒ අය වෙනුවෙන් තමන්ගෙන් කෙරෙන්න ඕන දේවල් කරලා ඉන්න

තමන්ගේ තරහා කාරයට අන්තිම මොහොතේත් ගේමක් දීලා එන්න

මේ ඕන එකක් වෙන්න පුලුවන් නේද . .

ඕනෑම කෙනෙකුට මේ කියපු ඕනෑම දෙයක් හරි මීට සමාන දෙයක් හරි හිතිලා කල් ඉල්ලා ගන්නම හිතේවී නේද??

එහෙම නොවී "අහ් එහෙමත් එකක්ද?? අදම යන්න වෙනවද ?? හරි මම ලෑස්තියි එහෙනම්" කියලා කියන එකෙක් ඉන්න පුලුවන්ද??

ඔව් මම හිතන්නෙත් එහෙම කෙනෙක් ඉන්න බෑ කියලයි.

එහෙම එකෙක් ඉන්නවනම් ඒ කෙනා . .

මුලු ජීවිතේම එපා වෙලා කලකිරිලා ඉන්න කෙනෙක්,

ලෝකෙටම වෛර කරන කෙනෙක්,
වෙන්න ඕන නේද??

. . . . . . . . . . . . . . .

ජීවිතේ හෙන ම ආසාවෙන් බදාගෙන අල්ලන් ඉන්න,

සියලු සැප පහුසුකම් සහිතව තමන්ම සැලසුම් කලතට්ටු ගෙයක් බාගෙට හදාගෙන යන;

දරු පවුලේ සහෝදරියන්ගේ, මිතුරු මිතුරියන්ගේ ආදරය නො අඩුව ලබමින් ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන;

බ්‍රෑන්ඩඩ් ෂර්ට්, ටී ෂර්ට්, සන්ග්ලාස් වලට ලෝබ;

කෑමට බීමට ත් පෙරේත;
එකෙක් ට එහෙම "හදිසියේ යන්න වෙයිද දන්නේ නෑ" කියලා හිතුනොත් ඌ ඒ තීරණේ සතුටින් භාර ගනීවි කියලා හිතනවද??

එහෙම සතුටින් භාර ගන්න හිතනවනම් ඌ ට මානසික රෝගයක් වත්දැයි කියලා හිතෙනවද??

හැබෑවට එහෙම එකෙක් ඉඳීවිද අප්පා . . ??

. . . . . . . . . . . . . . .

ඉන්නවා ඉන්නවා මෙහේ ඉන්නවා.

මීට අවුරුදු 17කට කලින් ඉස්සරහා ගෙදර ගෑස් එක ලීක් වෙලා ගිනි ගන්න එක නිවන්න උදව් කරන්න ගිහින් පිච්චුනු එකයි පුංචිම කාලේ සෙල්ලම් කරද්දී බෝලයක් අහුලන්න කම්බි වැටකින් පනින්න ගිහින් බෙල්ලේ කම්බි වැට පැටලුනු එකයි තමයි මගේ ජීවිතේ මතක තියෙන ශාරීරික අකරතබ්බ.

ඔපරේෂන් එකෙක් කියලා දෙයක් මගේ ජීවිතේ ප්‍රථම වතාවට කලේ මේ ගිය නිවාඩුවේ නහයට කරපු ඔපරේෂන් එක තමයි. ඒකේ විස්තර කලින් පෝස්ට් එකේ තියෙනවා ඕන්.

වැඩිපුර ගොරවන අයට ඔපරේෂන් වලදී සිහි නැති කරන්න වෙනමම ක්‍රම තියෙනවා කියලා ඊ.සී.ජී එකක්, ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්, බ්ලඩ් ශුගර් රිපොර්ට් එකක් අරගෙන වෙන ඩොක්ටර් කෙනෙක්ට ඔපරේෂන් එකට කලින් පෙන්නන කිව්ව බව අම්මට කිව්ව වෙලාවේ ඉඳන් අම්ම කියන්නෙම ඔය ඔපරේෂන් එක කරන්න එපාමයි කියලමයි.

එහෙම වෙලා අහවලා, අහවලා, අහවලා සිහිය එන්නේ නැතුව මළා කිය කිය අම්ම මට කියන ගමන් අක්කවත් වත් හොඳටම බය කරලා.

නදීෂා නම් චන්ඩි කෙල්ල වගේ හිටියා.

නෑ නෑ හිටියා නෙමෙයි "ඉන්ජෙක්ෂන් එකක් ගහනවටත් බයේ මැරෙන්න හදන මෙයා ඔපරේෂන් නම් කරයි" කියලා හිතාගෙන තමයි මුලින් ඉන්න ඇත්තේ.

ඒත් පස්සේ මම බය නැතුව මූන දෙන්න හදනකොට අම්මගේ වචන වලින් බය වුනු බව නොපෙන්නා ඉන්න ඇති "මමත් බය වුනොත් මෙයා ඇත්තටම බය වෙයිද දන්නේ නෑ, ඒක නිසා මෙයාට ශක්තියක් වෙනන්ත් එක්ක බය නෑ වගේ ඉන්න ඕන" වගේ කියලා හිතලා.

කොහොම හරි නවලෝක රෝහලේ කාමරේ ඉඳන් ඔපරේෂන් තියටර් එකට යනකොටත් මම කල්පනා කර කර ගියේ අර කිව්ව වගේ එහෙම සිහිය නො එන වගේ දෙයක් වෙලා යන්නම යන්න වුනොත් කියලා . .

විස්වාස කරනවද . . මට මොහොතක් වත් යන්න බෑ තව කල් ඉල්ල ගන්න ඕන කියලා හිතුනේම නෑ නේ . . .

විරුල්ව නදීෂා බලා ගනීවී, අම්මටයි තාත්තටයි රත්මලානේ ගෙදරින් ලැබෙන කුලිය මදි නම් නංගිගෙන් ඉල්ලගනීවී කියලා හිතලා යන්න තියෙනවනම් ඔන්න ඔහේ යන එකනේ කියලා හිතලා මම හරිම සැහැල්ලුවෙන් තමයි හිටියේ.

තියටර් එක ඇතුලේ ට්‍රොලිය තල්ලු කරගෙන ගිය හෙදිය මගෙන් අහනවා "කලින් ඔපරේෂන් වලට මූන දීලා තියෙනවද" කියලා.

මම "නෑ මේ පලවෙනි පාර" කියපු ගමන් එයා කියනවා එයාගේ සහායකයාට "අයියේ මේ බලන්නකෝ පලවෙනි පාර වෙලත් බය නැතුව හිනා වෙලා ඉන්න හැටි" කියලා.

"ඇයි බය වෙලා ඉන්න ඕනද" කියලා ආයේ මම ඇහුවාම කියනවා

"නෑ බය වෙන්න කිසිම දෙයක් නෑ. ඒත් ගොඩක් අය පලවෙනි පාර ඉන්නේ පුදුම බයකින්. ඔයා හිනාවෙනා සැහැල්ලුවෙන් ඉන්නවා දැක්කම පුදුම හිතුනා" කියලා

නිකමට හරි හිතන්න පුලුවන්ද යන්න වෙනවනම් ඔන්න ඔහේ යන එකනේ කියලා එහෙම සැහැල්ලුවෙන් මම හිටියේ ඇයි කියලා.

කාලයක් තිස්සේ මම උපේක්ෂාව පුහුනු කරපු නිසා. අටලෝ දහමින් කම්පා නොවී ඉන්න උත්සාහ කරමින් සිටින නිසා. කිසිම කෙනෙකුට වෛර නොකරන නිසා, ක්‍රෝධ නොකරන නිසා (පොඩ්ඩක් හරි තරහින් ඉන්නේ එකම එක්කෙනෙක් එක්ක විතරයි - ඒ තමයි අපේ තාත්තා)

ලාභ , අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප, දුක.

මේ තමයි අටලෝ දහම මගේ දැනීමේ තරමට.

මේ අටලෝ දහමින් එකම එකක් නිසා තමයි මම මොහොතකට හරි සැලෙන්නේ. ඒ තමයි "නින්දා" අනෙක් ඒවා නම් කිසිම දේකින් නොසැලී ඉන්න තරම් සිත දැන් ශක්තිමත් කියලා මටම හිතෙනවා.

මම කියනවටවත් පොඩ්ඩක් දවසක්, සතියක්, මාසයක් උත්සාහ කරලා බලන්න මේ අටලෝ දහමින් කම්පා නොවී ඉන්න, අනෙක් අයට වෛර නොකර ඉන්න, ක්‍රෝධ නොකර ඉන්න.

බලන්න හිත කොයි තරම් නිදහස් වෙයිද කියලා.

ඕන වෙලාවක ආපහු යන්න තරම් හිත සැහැල්ලු නොවෙයිද කියලා . . !!

Wednesday, March 9, 2011

නොපෙනෙන දෙනෙතට දෙනෙතක් දිය හැකි නම් . . . !!



නොපෙනෙන දෙනෙතට දෙනෙතක් දිය හැකි නම් . .
හඬ නැති මුවඟට කට හඬ දිය හැකි නම්
අහිමිවු දෙපයට පා යුග විය හැකි නම්
පොඩි මිතුරෝ මම නුඹ සිප ගන්නම් . . .

නංදා මාලනී මහත්මියගේ මේ ගීතය අහන අහන වාරයක් පාසා මට මතක් වෙන්නේ යුද්ධය නිසා අත් පය අහිමිව ඇස් කන් අහිමිව තාවකාලික කූඩාරමක් අසල බිම ඉඳගෙන ඉන්න පුංචි එකෙක්ව.

ඒ සිදුවීම මතක් වීමත් එක්ක මහා දුක් අඳුරකින් හිත වෙලා ගැනීමත් අඳුරු පටලයකින් ඇස් දෙක බොඳ වීමත් උගුරේ යමක් හිරවුනාක් වගේ හැඟීමක් දැනෙන එකකත් යන මේ සියල්ල සිදුවෙන්නෙත් එකටම වගේ.

ආයෙත් මොහොතක් ඒ ගැන සිහි කලාම අනුන්ගේ දුකක් වෙනුවෙන් කඳුලක් හෙලන්න ඒ අය වෙනුවෙන් යමක් කරන්න ඕන කියන හිතුවිල්ලෙන් ඉන්නා අය මේ ලෝකේ ඉන්නවා නේද කියලා හිතට දැනුනාම අර බොඳවුනු දෙනෙත් ආයේ පාරක් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. හදවත වෙලා ගත්තු අඳුරු වේදනාව අඩු වෙලා යනවා . . .

එදා ගිය පෙබරවාරි 12 වෙනිදා විහාර මහා දේවී උද්‍යානයේ ප්‍රධාන ගේට්ටුවේ ඉඳන් මීටර් 100ක් විතර දුරින් තණ බිමේ අඩි 15ක විතර විෂ්කම්භයක් හැදෙන විදිහට රවුමට බිම වාඩි වෙලා හිටපු මිතුරු මිතුරියෝ විසි තිස් දෙනා දැක්කාම මගේ හිතේ උපන්නේ අර දෙවෙනියට කිව්ව අනුන්ගේ දුකේදී උනුවෙන හදවත් දැක්කාම ඇතිවෙන නිරාමිස ප්‍රීතිය . . .

ඉලන්දාරියා (දිලුම්) වෙනුවෙන් යමක් කල යුතුයි කියලා හිතලා තමන්ගේ වටිනා කාලය කැප කරලා ඇවිත් උන්නු ඒ මූනු ටික දක්කාම ඇත්තෙන්ම මගේ ඇසට කඳුලක් උනපු බව එතන හිටපු කාටවත් නොපෙනෙන්න එක දිගට ඇස් පිල්ලම් කීපයක් ගැසීමෙන් යටපත් කර ගන්න මට පුලුවන් උනා. . .

පෙබරවාරි 8 වෙනිදා ආසිරි රෝහලේදි අභීතයි අසේලයි මමයි දිලුම් මුන ගැහෙන්න එකතු වුනු වෙලාවේ. . . දිලුම්, අපි කතාකරද්දී කටවල් දිහා බලන් ඉඳලා බෑග් එක ඇරලා පොතකුයි පෑනකුයි දික්කරපු වෙලාවේ හිත හෝස් ගාලා ඇවිලිලා ගිහින් ගිනි ගත්තු ගින්දර නිවන්න 12 වෙනිදා හිතට ගලපු සීතල හැඟීම මදි වුනත් දුමී, අභීත, අසේල, වැප්, ලිශ්, ඩී, මුචා, ගීත්, පුතා, හිපියා, හම් තුම්, නලින්, අසංග, චමිල, මරේ, බුදාජීව, බින්කු, ටැබූ (පෝස්ට් එක දිග වැඩි වෙන නිසා සියලු නම් ගම් ලියන්න බැරි වෙන එක ගැන අනෙක් අය මට සමාවෙන්න ) ආදී බ්ලොග් සහෘදයෝ එදා උපන් උදව් කිරීඑම හැඟීමෙන් අදටත් ඒ වෙනුවෙන් කල යුතු දේවල් කරගෙන යනවා දැක්කාම ඒ ගින්නේ රස්නිය ටිකෙන් ටික අඩුවෙනවා වගේ දැනෙනවා.

ගිය 6 වෙනිදා පටන් ගත්තු මගේ මෙදාපාර නිවාඩුවේදී කල මුල්ම වැදගත් කටයුත්ත තමයි ඒ දිලුම්ගේ වැඩේ වෙනුවෙන් පොඩි කාලයක් කැප කිරීම.

12 වෙනිදා දවල් උවමනාවකට මහරගම හංදියට ආවට පස්සේ දැක්කේ එදා හවස 7ට නිරෝෂා, සුනිල් එදිරිසිංහ, ටී එම් ජයරත්නගේ සංගීත සැඳෑවක් බව. විහාරමහා දේවී එකේ හමුවට එද්දිම යාලුවෙකුටත් එක්කම ටිකට් අරගෙන ආවයින් දිලුම් වෙනුවෙන් කල යුතු වැඩ ගැන සාකච්චා කරලා ඉවර වුන් ගමන් ආයේ ඉක්මනටම යන්න වුනා.

එදා විහාර මහා දේවී උද්‍යානයේ හමුවේදී සිදුවුනු තවත් විශේෂ සිදුවීමක් සටහන් කරන්න අමතක වුනා.
ෆේස්බුක් එකේ මගේ ප්‍රියතම කවියෝ දෙන්නෙක් වුනු ධනුෂ්කා නිශාදි නැගෙනියත් දොන් ජුවන් පිටකොටුව මලයත් මුන ගැසීම තමයි ඒ සිදුවීම.

. . . . . . . . . . . . . . . . .

නිවාඩු ගිය දාට පහුවදා නදීෂලගේ ගෙදර යද්දී මගදී එනවා කෝල් එකක් නදීෂගේ අම්මගෙන්. අවුරුදු දෙකක් විතර තිස්සේ වකුගඩු අමාරුවක් නිසා ඔපරේෂන් කරලා ඒත් සුව නොවී අසනීපෙන් හිටපු පොඩි මාමා අන්ත්‍රාවුනා කියලා. නුවර ගෙදර ගිය ගමන් කාලා බීලා අනිත් පැත්ත කඳානේ මළ ගෙදරට ආවා ඉතිං.

භූමදානය කලේ අරලිය ගස් තොගයක් වැවිලා තිබුනු හරිම ලස්සන නිස්කලංක සුසාන භූමියක.





. . . . . . . . . . . . . . . . .

ඔය අතරේ අපේ බ්ලොග් කියවන තවත් ලොකු කලාකාරයෙක් මේ පුංචි මම වෙනුවෙන් පැදුරු පාර්ටියක් ඕගනයිස් කලානේ.

චින්තක අබේරත්න තමයි ඒ කලාකාමියා. චින්තක අයියගේ පවුලේ අයත් මගේ තරුණ කාලේ ඉඳන් හිත් ගත් තවත් ලොකු කලා කාරයෙක් වුනු ඉන්ද්‍රනාථ තේනුවර අයියටත්, ඉඳුනිල් නම් වූ ඔහුගේ මිතුරෙකුත් ඔහුගේ පවුලේ අයත්, ප්‍රවීන ඡායාරූප ශිල්පියෙක් වන දීපාල් ගෝමස් සහ ෆේස් බුක් එකේත් ජනප්‍රිය කවියෝ වුනු දුමින්ද අලහකෝන්, චිරන්ත, චමිල පාලිතරත්න යන අයටත් අපිට අමතරව ආරාධනා කරලා තිබුනා. පැදුරු පාර්ටිය තිබුනේ මතුගම තුඩුගල ඇල්ල ලඟ. නදීෂයි මායි විරුලුයි තනියෙම යන්න බැරි නිසා අභීතටත් එන්න කියලා තමයි අපි එහේ ගියේ. ඒ සොඳුරු හදවත් හමුවත් ජීවිතයේ නොමැකෙන සිහිවටනයක් වෙන බව සිකුරුයි.



. . . . . . . . . . . . . . . . .

අහ් තවත් දෙයක් . . මෙහේ ඉඳන් මවාගෙන හිටපු හීන දෙකක්, හැබෑ කර ගන්න බැරි වෙයි කියලා දුක් වෙවී හිටපු හීන දෙකක් හැබෑ කර ගන්නත් පුලුවන් වුනා මගේ වාසනාවට. එකක් තමයි හඳයගේ "විදූ" ෆිල්ම් එක. අනෙක "කොලොම්බෝ කොලොම්බෝ" ඩ්‍රාමා එක.



හීන හැබෑ කර ගත්තා වගේ නෙමෙයි මේ හීන දෙකම මවාගෙන හිටපු අපේ ගෙදර උන්දෑව එයාලගේ ගෙදර ගිහින් ඇරලලා ආවට පස්සේ මේ හීන මම තනියෙන් හැබෑ කරගන්න සිදු වුනු එකෙන් තව පොඩ්ඩන් III වෙනි මහ ලෝක යුද්දේ සිද්ද වෙන්න ගිහින් ලාවට වගේ බේරිලා එන්න පුලුවන් වුනා.

. . . . . . . . . . . . . . . . .

පොඩි කාලේ ඉඳ ලඟින්ම ඇසුරු කරන මගේ හොඳම මිතුරෙක් වුනු මෛත්‍රී අපේ ගෙදර ආපු දා එකම යුද්ධයයි.

ගෝනි කරේ තියන් පක්ෂයක් වෙනුවෙන් කඩේ යන අපේ පියානෝ සහ මෑණියෝ තමයි මුවා පැනලා ගිය මට තඩි බාන්න ලැබුනු හොඳම මුව හම් දෙක.

“උඹ එවන රුපියල් 20,000න් අපි දෙන්නෙක්ට ජීවත් වෙන්න අමාරුයි” කියලා කරන චෝදනා වලට “ඇයි ඉතිං ඔයාලගේ නායකයන්ට කියන්නකෝ උත්සව වලට, පෝස්ටර්, කටවුට් වලට කරන නාස්තිය අඩු කරලා එක එක රට වලට යනකොට හැත්ත බුරුත්ත ඔක්කෝම අරන් ගිහින් මහජන මුදල් කාබාසිනිය කරන එක නවත්වන්න කියල” උත්තර දීලා අර මුව හමට තඩි බෑවට මෛත්‍රී ඇවිත් දේශපාලනේ ගැන කතා කරන්න වුනායින් එකම කනුවේ බැඳපු ගොන්නු තුන්දෙනෙක් තප්පුලනවා වගේ වුනා.

“දෙයක විනිවිද භාවය කියන දේ ඔයාලා දන්නවද” කියලා ඇහුවාම “ඕවා ඕන නෑ ඇහැට පේන්න යමක් කෙරිලා තියෙනවනේ . . ඒ මදිද කියලා” පිලිතුරු ලැබුනට පස්සේ විනිවිද භාවය ගැන විස්වාසයක් තියා ඒ මොකද්ද කියල වත් නොදන්න අය එක්ක දේශපාලනේ කතා කරනවට වැඩිය හොඳයි කට මහ පාරේ අතුල්ල ගන්නවා කියලා වාදේ නතර කරලා දැම්මා.

හිනා යන වඩේ මෛත්‍රී ඇවිත් තියෙන්නේ හම්බුකරන ගානෙන් ලංකාවේ ඉඳගෙන දරු පවුලත් එක්ක ජීවත් වෙන්න අමාරුයි කියලා මගේ හිතවෙතෙක්ට කියලා ඌට පිට රට යන්න උදව් කරන්න පුලුවන්ද කියලා අහන්න.

“අයි බන් ඉතින් ඔය උඹ කියන මහා සංවර්ධනේ, ආශ්චර්‍ය දමල ගහල ඒකට උර දෙන්නේ නැතුව පිට රට යන්න හදන්න” කියලා ඇහුවාම ඌ දාපු අසරණ හිනාව නිසා වෙන මොනවත් නොකියා කට වහගන්න සිද්ද වුනා.

ඒ වෙනකොට කියව කියව හිටපු නවකතාව නිසා ඇති වෙලා තිබුනු කලකිරීමයි මේ සිදුවීමෙන් ඇතිවුනු කේන්තියයි එක්ක එදා රෑම ලිව්ව කවියක් වගේ එකක්. ඒක තමයි මම අර "බඩ ගැත්තරයාට සමාව බයබෝයි " කියලා පලකලේ.

. . . . . . . . . . . . . . . . .

18, 19, 20 දවස් තුනේ මරේ, රවා, ජේ.ඩී. සෝරෝ, වාසල, නුවන්, ප්‍රියන්ත, පසන්, කුෂාන්, ෆා එක්ක ගිය ට්‍රිප් එක නම් ජීවිතේට අමතක නොවන ට්‍රිප් එකක්. මරේගේ ඕගනයිසින් නම් කියලා වැඩක් නෑ - පට්ට. රවා දවස් තුනේ අපිට දුන්නු ආතල් එක ගැන මතක් වෙද්දිත් තාම හිනා යනවා.



ඔක්කෝටම හපන් අපේ කොල්ලා ෆාට අයියා කියන එක. "අයියා නෙමෙයි පුතේ නැන්ද" කිව්වම ඌ "නෑ නෑ අයියා" කියලම කියා සිටිනවා (හි හි හී).

ට්‍රිප් එකේ ගිය තැන්, නතර වුනු තැන් ගන නියම විස්තරයක් (ට්‍රිප් එක නොගිය අයට වුනත් ගියා වගේ දැනෙන්න ) අපේ ප්‍රියන්ත මල්ලී එයාගේ මගේ මතක බ්ලොග් එකේ දාලා තියෙනවා. අපි ගිය ලස්සන ලස්සන තැන් හැම එකකම ලාස්සන පිතූරත් එකතු කරලා තියෙනවා. කට්ටියම මෙන්න මෙතනින් ගිහින් ඒකත් කියවලා බලන්න ඕන හරිද?

. . . . . . . . . . . . . . . . .

නිවාඩුවේදී සිද්ද වුනු විශේෂතම දේ තමයි මගේ නහයේ ඔපරේෂන් එක.

මගේ සුව නොවන හිසරදේ වෙනුවෙන් කරපු එම් ආර්. අයි. සී. ටී ස්කෑන් රිපොර්ට් බලලා ඩොක්ටර්ස්ලා ඔක්කෝම කිව්වේ මගේ නහයේ ඇතුලේ තියෙන ලොකු ඇදය නිසා මොලේට යන ඔක්සිජන් ප්‍රමානය අඩුවීම ඔලුව කැක්කුමට හේතුවක් වෙන්න පුලුවන්ය, නහය කපලා කෙලින් කරලා හැදුවාම හරි යන්ට ඉඩ තියෙනවාය කියන එක.

කපනවට කොටනවට තියා ඉන්ජෙක්ශන් එකක් ගහවටත් මර බයේ දඟලන මම ඔපරේශන් කතාව හිතින් අත්හැරලා හිටියා වුනත් පුරුස දහිරිය හිතට අරගෙන හිත දඩි කරගෙන ඔපරේෂන් එකට මූන දුන්නා ගිය 25 වෙනිදා.



නහය කපලා තියෙන අමාරුවට හිනාවෙන්න කතාකරන්න තියා බඩට යමක් වුනත් අමාරුවෙන් දා ගන්න කාලේ ලිෂා, මුචා, හිපියා, ඩී, චමිලයා ආවා අපේ ගෙදර දිලුම්ගේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් කරන පික්චර් පෝස්ට් කාර්ඩ් වැඩේ පින්තූර සිලෙක්ට් කරන්න. (උන් බලෙන් ආවා නෙමෙයි අයියෝ . . මමයි කෝල් කරලා කෝල් කරලා ගෙන්න ගත්තේ හික්ස්)



එදාම අපේ අක්කගේ පවුලේ අයයි නංගීගේ පවුලේ අයයි ඇවිල්ලා එදා ගෙදර නිකම් නුගේගොඩ හන්දිය වගේ. ළමයින්ගේ කෑ ගැහිල්ලත් එක්ක වහලේ ඇස්බැස්ටොස් උඩ යන තරමට හිනාව. තව පොඩ්ඩෙන් හිනාවෙලාම නහයට දාපු මැහුම් ඩොක්ටර් කපන්න කලින් කැඩිලා යනවා.





නිවාඩුවේදී සිදුවුනු කනගාටුදායකම දේ තමයි අපේ දයාබර ජෝර්ජ් අයියා මා වෙනුවෙන් සංවිධානය කරන්නැයි ඔහුගේ මිතුරන් වූ ටියුලින් ජයරත්න (පෙර වෙළඳ සේවයේ පිබිදෙන ගායක පරපුර, අම්බිගා ගීතයෙන් ගීතය ආදී වැඩ සහටන් වල සංගීතය මෙහෙයවූ) අයියාගෙන් සහ ඔහුගේ ඥාති සනත් අයියාගෙන් ඉල්ලා සිටි නිසාවෙන් ඔවුන් පෙබ. 25 දාට රාත්‍රියේ පවත්වන්න සංවිධානය කල පැදුරු පාර්ටිය ලබන නිවාඩුව තෙක් කල දමන්න සිදු වුනු එක.

අමතරව ජෝර්ජ් අයියාගේ අතිප්‍රභල සංවිධාන ශක්තියේ ආනුභාවයෙන් වැල්ලවායේ දුප්පත් දරු පවුලක් වෙනුවෙන් ගොඩනැඟූ නිවසේ යතුරු භාරදීමේ උත්සවයට සහභාගී වෙන්න නොලැබීම.

දයාබර ජෝර්ජ් අයියා මගේ කරුනු කටයුතු සිදුවුනු ආකාරය නිසාවෙන් ඒ දේවල් වලට සහභාගී වෙන්න බැරි වීම තේරුම් අරගෙන මට සමාව දෙනු ඇතැයි සිතනවා.

අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මගේ දයාබර පාඨකයෙක් වුනු සහෝදරයා නමින් කමෙන්ට් දාන රන්දික සේදර සහෝදරයා මහා වරුසාවක මාව බලන්න ආපු හැටි ගැන ලියන්නම ඕන. අනේ පව් පොඩි වෙලාවක් කතාබහ කර කර ඉඳලා කොල්ලා මහ වැස්සේම යන්න පිටත් වුනා.

නහයේ ඔපරේෂන් එකෙන් පසුව මැහුම් කපන්න බයේ පසුවුනු නමුත් (තව පොඩ්ඩෙන් නිවාඩුවත් එක්ටෙන්ඩ් කර ගන්නයි උත්සාහ කලේ . ..බය ගුල්ලා) 3 වෙනිදා මහුම් කපා නහයට ඇතු කර තිබූ ප්ලාස්ටික් උපකරන ඉවත්කල පසු ඒ බිය පහව ගියායින් මුලින්ම සැලසුම් කල පරිදි මාර්තු 5 වෙනිදා හවස ආපහු ඩුබායි / අබුඩබි පුරය බලා සැපත් වුනා.

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails