Thursday, January 27, 2011

අපි හැම දෙනාම එක්වෙමු - ඉලන්දාරියාට උදව්වෙමු.



සති අන්තේ හවස් වරුවක රුවන්, ලක්මාල් චමිල් එක්ක අඩියක් ගහන්න සෙට් වුනා.

රුවන්: “මාර ගං වතුරක්ලු නේද මේ අවුරුද්ද මුලදීම ලංකාවේ”

මම: ඔව් නේ බන්. අවුරුද්ද මුල නම් අපිටත් අබුඩබි හිටියත් සුනාමි වගේ තමයි.

චමිල්: ඒ මොකෝ:

මම: ඇයි බන් ගෙවල් බදු ඔප්පු අලුත් කරන්න, වාහන රෙජිස්ටර් කරන්න, ළමයි ඉස්කෝලේ දාන්න, ගෙවල් වල අයටත් එක එක දේවල් වලට සල්ලි යවන්න ඉතිං සුනාමි වගේ තමයි.

රුවන්: අපි මොනා හරි කරමු නේද?

මම: හදන්න කලින් දෙතුන්පාර විවෘත කරපු වරායේ උත්සව වලට මහජන මුදල් කෝටි ගනන් නාස්ති කරන, රට රටවල යනකොට හැත්ත බුරුත්ත ඔක්කෝම අරන් ගිහින් මහජන මුදල් කෝටි ගනන් නාස්ති කරන, ඇමතිලට මන්ත්‍රීලට ප්‍රාඩෝ පැජරෝ ගන්න මහජන මුදල් වියදම් කරන ආන්ඩුව ගං වතුරෙන් අසරණ වුනු මිනිස්සුන්ට මොනව කරයිද කියලා මිනිස්සුන්ට දැන් තේරෙයි නේද බන්. ඒත් ඉතිං එහෙම කියලා අපිට මොකුත් ම නොකර ඉන්නත් බෑ නේ.

ලක්මාල්: මම සති දෙකකින් නිවාඩු යනවා. අපි ගං වතුරෙන් අනාථ වුනු අයට මොනා හරි යවමු. මම පෙට්ටියක් දාන්නම්. වර්ණ අයියත් එක්ක ගිහින් ඒවා බෙදලා දෙන්න ඇරේන්ජ් කර ගන්නත් මට පුලුවන්.

. . . .

දරු පවුල් පවුල් කාරයිනට සුනාමි වගේ කාලයක් කියලා දන්න නිසා වැඩි දෙනෙක්ට කරදර නොකර ඉන්න හිතුවා. මනෝජ්, ජනක, දමිත්, ලලන්ත මල්ලිලට විතරක් කිව්වා. මනෝජ් මල්ලී සනුර, සමීර, ඩිලංක මල්ලිලටත් කියලා කට්ටිය ජනකටයි මටයිම පැවරුවා යවන්න ඕන දේවල් ගන්න වැඩේ.

අද ලක්මාල් පෙට්ටිය දාන නිසා ඊයේ අබුඩාබි මෝල් ගිහින් බ්ලැන්කට්, තුවා, ගෑනු පිරිමි යට ඇඳුම්, උඩ ඇඳුම්, කාන්තා සනීපාරක්ශක තුවා, පොඩි ළමයින්ට ඇඳුම් අරගෙන එන ගමන් තිසාට කෝල් කලා.

“මචං දුකා අර ඉලන්දාරියා බ්ලොග් එක ලියන මල්ලී පෝස්ට් එකක් දාලා තියෙනවා ගෙදර ගිහින් හෙමීට කියවපන්”

ගෙදරට ගොඩ උනු ගමන් නදීෂා කිව්වෙත් “අනේ අර ඉලන්දාරියා බ්ලොග් එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා. අපිත් උදව් කරමු ඒ ළමයට” කියලායි.

ඇඳුම් මාරු නොකරම පෝස්ට් එක කියෙව්වා.

මේ තියෙන්නේ ඒ පෝස්ට් එක

ඒ මල්ලිගේ ෆේස් බුක් එකවුන්ට් එක බැලුවා. කොල්ලා සිල්වෙස්ටර් ගිය එකෙක්.

නදීෂාගේ මල්ලී හෂිත තව උන් ටිකක් එක්ක සෙට් වෙලා ලඟදී මෙහේ U.A.E. ඉන්න සිල්වෙස්ටර් කොල්ලෝ එකතු කරලා ගෙට්ටුවක් තිබ්බ බව මතක් උනා.

ඌටයි මම දන්න අනෙක් සිල්වෙසටර් කොල්ලො ටිකට (මනෝජ්, ජනක, රොෂාන්, චරිත්ල දෙන්නා) ඉලන්දාරියා බ්ලොග් එකේ ලින්ක් එකයි දිලුම් මල්ලිගේ ෆේස්බුක් එකේ ලින්ක් එකයි යවලා කෝල් කලා හෂිතට.

“මල්ලී මම දැන් උඹට මෙසේජ් එකක් එව්වා උඹලගේ ඉස්කොලේ කොල්ලෙක්ට උදව්වක් ඕන වෙලා”

“හරි මොනවද කෙරෙන්න ඕන”

“ඒ දෙක කියවලා බලලා හිටපන්. අපි පස්සේ කතා කරමු මොකද්ද කරන්න පුලුවන් කියලා”

. . . . . . .

උදේම දුමියත් කෝල් කරලා කිව්වා මචං අපි සෙට් වෙලා මේ වැඩේ කරමු කියලා.

ඔෆිස් ආව ගමන් ජනක මල්ල්යි මමයි කතා වුනා මොකද කරන්නේ කියලා.

"ලක්ෂ 30ක් කියන්නේ එකෙක් 5,000ක් දැම්මොත් 600ක්"

"හැම දෙනාටම 5,000 ගානේ දාන්න පුලුවන් වෙයිද අයියා. අනික 600 දෙනෙක් හොයන එක"

"තිසාත් ගානක් යවනවා කිව්වා. මමත් ගානක් යවනව. දුමියා, පුතා, ඩීන්

"එහෙම නෙමෙයි අයියේ. එක එක්කෙනා ඒ ළමයගේ එකවුන්ට් එකට ගානක් දාන එකට වැඩිය යමක් කරන්න හිතමු"

"ඇත්ත තමයි. අපි පත්තරේ ලිපියක් දැකලා ඔපරේෂන් එකකට සල්ලි යවන සීන් එකකට වැඩි දෙයක් මෙතනෙ තියෙනවනේ.”

“ඒක හරි”

“එහෙම පත්තරේක ලිපියක් දැක්කාම අපිට දැනෙනවා අපි ඒ වෙනුවෙන් යමක් කල යුතුයි කියලා. සමහර වෙලාවට අපිට ෂුවර් නෑ ඒ ළමයා ඔය කියන ඔපරේෂන් එකෙන් පස්සේ ජීවත් වෙයිද කියලා. ඒත් අපි ගානක් එකතු කරල යවලා අපේ යුතුකම අපි කලා කියලා හිත හදා ගන්නවා”

“මේ සීන් එකේදි ඊට වඩා දෙයක් කරන ඕන අයියේ”

“ඔව් අපි මේ ලමයව බ්ලොග් එක හරහා පුද්ගලිකව දන්නවා. එයා දක්ෂ දරුවෙක් කියලා දන්නවා. මේ ලක්ෂ තිහේ උපකරණේ ෆික්ස් කලාම ඒ ළමයට සනීප වෙනවා කියලා හොඳටම දන්නවා. ඔව් ජනක මල්ලී ඒක නිසා මේ සීන් එකට අපි, අපිට හැකි අකාරයට වඩා යමක් කරන්න ඕන”

“අන්න හරි අපි මේ දිලුම් ගේ එකවුන්ට් එකට රුපියල් 500ක් දාහක් දාලා ඔන්න අපේ යුතුකම අපි ඉටුකලා කියලා මඟහරින්නේ නැතුව දිලුම්ව සම්පූර්ණයෙන් සනීප කර ගන්න කම් සංවිධානය වෙලා ඒක කරමු”

“ඔව් එකතු වුනොත්, සංවිධානය වුනොත් මේක ඇත්තෙන්ම පහසු වැඩක් වෙයි. කරන්න පුලුවන් තරමට වඩා කරන්න උත්සාහ කරමු කිව්වහම මතක් උනේ ඉස්සර දහම් පාසල් අරමුදලට අපි ගෙදරින් රුපියල් 10ක් ගෙනිහින් දීලා නිකම් ඉන්නේ නෑ නේ. කොටු පුරවලා, කොඩි දිනයක් තියලා කැටවලට සල්ලි එකතු කරනවනේ”

“දැන් ඔයාලගේ බ්ලොග් ලියන කියවන ඩුබායි අබුඩාබි ඉන්න කට්ටිය ඉන්නවා. වෙන රටවල් වල අය ඉන්නවා. අපේ සිල්වෙස්ටර් එකේ මෙහේ ඉන්න අයට කියන්න පුලුවන්, යූ කේ සිල්වෙස්ටර් සෙට් එකක් ඉන්නවා. ඔස්ට්‍රේලියා වල සිල්වෙස්ටර් සෙට් එකක් ඉන්නවා.”

“තව ලංකාවේ බ්ලොග් ලියන සෙට් එක ඉන්නවා. ගූගල් බස් සංගමේ කට්ටිය ඉනන්වා. දිලුම්ගේ පවුලේ අය ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, එයාහේ ලඟම හිතවතුන් ඉන්නවා. ඊට අමතරව ජනාධිපති අරමුදලෙනුත් ගානක් දෙනවා මම හිතන්නේ”

“මේ ඔක්කෝම එකතු වුනොත් ඔය වැඩේ හරිම සුලු දෙයක් වෙයි අයියේ. අපිට බැරි වෙයිද දිලුම්ට අධාර පිනිස කියලා මෙහේ සංගීත සැඳෑවක් තියලා ෆුන්ඩ්‍රයිස් කරන්න”

“ඇත්ත තමයි අපි කීය කීය හරි දාන එකට වැඩිය අපි හමෝම එකතු වෙලා කලොත් සෑහෙන ගානක් එකතු කර ගන්න පුලුවන් වෙයි”

“බ්ලොග් ලියන කියවන අය ඔක්කෝටම ගොඩක් කනෙක්ෂන් තියෙන අයගේ. අපිට පුලුවන් වෙයි සල්ලි වලට නැතුව මානුශිකත්වය සලකලා ගීත ගයන ගායක ගායිකාවෝ ටිකක් සෙට් කර ගන්න”

“ඔව් දුමියලගේ බෑන්ඩ් එකට පුලුවන් සංගීතය සපයන්න. අනික දුමියගේ ගම හාමිනේ සංගීත විශාරදනේ එයාටත් කනෙක්ෂන් තියෙනව මම හිතන්නේ”

“ලංකාවේ බ්ලොග් ලියන අයටත් පුලුවන් නේද ඒ වගේ දෙයක් ඕගනයිස් කරන්න”

“ඔව් මරේ, වැප්, මාරයා, රචියා, සුදාරක, ඇන්ෂු, චමිල, මලිය, හරේෂ්, සඳුන්, ලසිතය, ලිෂාන්, හසිත් ප්‍රසංග, සචී, හෂිත, ඩෝසා, නීනු, ඩීප්ස්, කනියා, පහන්, කාලිංග, තිලිණ, ඉන්දරේ, බනියා, යෝගියා, රවා, හරී, රන්දිකා, තනෝජා, නලින්, ජනිතා, අභියා, බුද්ධි, දිල්ශාරා, අනුරාධ, පසන්, මාරයා, රේවන්, විෂ්මි, වත්සලා, පබලු , පිනි පලස, කලිකාල, පූසෝ සෙට් එක, හසී පවුල, තරිඳු, බුධාජීව, රත්ගමයා, තමිර, වත්සලා, නුවන්, සඳරු, වගේ අයට එහෙම පුලුවන් වෙයි ඕගනයිසින් වැඩ බාර ගෙන බෙදල දෙන්න”

“තවපැතුම්ට එහෙම පුලුවන් එයා ලියන පත්තරෙන් එහෙමත් හෙල්ප් එකක් අරන් දෙන්න. රංග, ප්‍රදීප් කොටුවේගෙදර, කොට ජීවිතේ, පාසල් චාමි, එහෙනම්ත් එයාලගේ ෆුල් සපෝර්ට් එක දෙයි”

“බස් ග්‍රූප් එකකුත් ඉනන්ව නේද අයියේ”

“ඔව් එයාලත් බ්ලොග් ලියන අයම තමයි. කුෂාන්, ෆා, ජේඩී, සෝරෝ, නිෂ්, සිරකරුවා, හා පැටික්කි, සෝඩා ගුණේ, සුදු හංසි, චානිකා ඉන්දීවරි, එතනත් ඉනන්ව හෙන සෙට් එකක්”

“බයිස්කෝප් සෙට් එක"

“අහ් ඔව් ඉසිර, වාසල, සරදියෙල්, රොයිලි තව ඉන්නව කට්ටිය”

“පිට රටවල් වල ඉන්න අය කවුද”

“කතන්දර, අරුණි, රංගි, චානක, පොඩි කුමාරිහාමි, චේජනා, දිනේෂ්, ගීත්, කමලිකා, ඉංදික, වැම්පයර්, හෙලයා, ඉශාර, ඇන්ත්‍රැක්ස්, පාලිත, බන්දුල රුවන්පුර, ඔබ්සර්වර්, සුලා, රොකියා, තිසා, දුමී, මම, ඩීන්, සුදම්, ඉසිඹුව, පුතා ඔක්කෝගෙම නම් මතක් වෙන්නෙත් නෑ අප්පා”

"තව රාමචන්ද්‍ර, ශාන්, බියෝන්ඩ් ෆ්‍රේම්, ටැබූ, බූන්දි, තිසර, වගේ අයටත් කියන්න පුලුවන් උදව් කරන්න කියලා “

"ඔය තියෙන්නෙ . . මේ ඔක්කෝම අය සෙට් වුනොත් අනිවාර්‍යෙන් මේ වැඩේ පහසුවෙන් කරන්න පුල්වුන් අයියේ.

කොහොමද කරන්නේ.
1. ඉලන්දාරියා (දිලුම්) ව නිතර ටච් එකේ තියා ගන්න ඕන.

2. සංන්විධාන කටයුතු සඳහා මට මඟ හැරුනු ඔබට මතක අයගේ නම් සඳහන් කරන්න.

3. සංන්විධාන කටයුතු සඳහා ග්‍රූප්ස් කීපයක් සෑදිය යුතුය.

4. එක එක ග්‍රූප් එකෙ අය කතා වෙමු අපි මොන වගේ දෙයක් ද ෆන්ඩ්‍රයිස් කරන්න කරන්නේ කියලා.

5. සංගීත සැඳෑවක් වගේ කරනවනම් අධාර පිනිස ගීත ගයන්න වාදනය කරන්න කමති දන්න කියන අය ගන අනිත් අය දනුවත් කරන්න.

6. මෙතනින් බලන්න පුලුවන් දිලුම් මල්ලිට සවි කල යුතු උපකරණයේ විස්තර. මෙඩිකල් ෆීල්ඩ් එකේ දැනීම තියෙන අය මේ උපකරණයට අදේෂක හොයලා අප දැනුවත් කරන්න. මාර්කටින් ගැන අත්දැකීම් තියෙන අය මෙය මිලදී ගැනීම සඳහා මිල ගනන් ගැන සොයා බලන්න.

7. මෙයට අමතරව මේ වැඩේ සාර්ථකව ඉටුකර ගනීම වෙනුවෙන් කල හැකියි කියා ඔබට සිතෙන දේවල් ලියන්න.

අපි සියලු දෙනා එකතු වී මේ දක්ෂ දරුවාට ඔහුගේ නැති වූ ශ්‍රවණ ශක්තිය ලබා දෙමු.

. . . . .

කමලිකා කියලා තිබුනා ඉලන්දාරියගේ බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නෑ කියලා. ඒ නිසා ඒ පෝස්ට් එකේ තිබුනු ටික මෙතන දාන්න හිතුවා.

~~නිහඩ ලොව බිදින්න~~

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.

එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්‍යමාන හස්තයට මම නතුවෙලා.

යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා.ඒ අතර තුරදී මට ලංකාවෙ ප්‍රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා...

මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්‍ය පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්‍යක්ෂනය, නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. ඒ වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්‍යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් ඒ තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්‍යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් ඒ සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.

හිටි හැටියෙම මගේ එක කනක ශ්‍රවනය දුර්වල උනා. ඒ එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්‍රවණතත්වය පහල යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්‍රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.

මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්‍රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද්‍ය වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.

ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්‍රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්‍රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්‍ය නිගමනයයි. ඒසදහා අවශ්‍ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...

මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ‘ඉලන්දාරියා’බ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී.

මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. ඒ වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.

ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා ඒ සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.
ස්තුතියි!.
විමසිම්
0772332071
0718050116
facebook :

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612
(ලංකා බෑංකුව මාතලේ )



Wednesday, January 26, 2011

අක්කේ උඹට සුභ උපන් දිනයක් . . . !




උඹලගේ වැඩ උඹලම කර ගනිල්ලා කියා
ඉස්කෝලේ අඳින එකම සුදු කමිසය නිල් කලිසම
සෝදන්න වෙලා නැතත් අම්මාට

කලිසම් කමිස සෝදන්න පමනක් නොව
බඹ ගානක් ගැඹුරු ලිඳෙන් වතුර ඇද
පොල් කොස්සෙන් ඇඟ අතුල්ලා නාවන්නත්
ඉවසීමක් තිබූ උඹ . . .

පහල පඩියේ වාඩිවී පොත් පත්තර බලනකම්
උඩ පඩියේ වාඩිවී දණහිස් දෙකෙන් හිරකරගෙන
ඉස් හොරි කැසූ, සනීපෙට ඔලුව අතගෑ උඹ . . .

රෑට රෑවෙන ජාමේ උඹේ ඇඳේ පොරෝන රෙද්දේ
පූස් පැටියා චූටි මල්ලිත් මැද්දේ තියාගෙන
එක ගුලියට ගුලිවෙලා ලෝකේ නැති දේවල් කියෝපු උඹ . . .

තරහා ගිය වෙලාවට නියපොතු වලින් පහුරු ගාපු උඹට
"හිටු තොට හොඳ වැඩක් කරන්න
කුකුල් ගූ ගානවා තුවාලේ මම
තොගේ නියපොතු හැලේවි එතකොට" කියා බැන බැන
පිට හරහට "දෝයි" ගා පහර දී දුව ගියාම
"හිටු තෝව හවසට නාවනකොට
තල්ලු කරනවා ලිඳට" කියා බැනවැදුනු උඹ . . .

අපේ මල් ගස් වල කොල කඩන නංගීට
සාංගම් වී අල්ලගෙන තඩි බා හොඳහැටි
හවසට අම්මගේ දරපොලු පාරවල් වල රස
මාත් එක්ක හවුලේ රසවිඳ බැලූ උඹ . . .

අමු දිවුල් ගෙනත් හිරමනේ දා ගාගෙන
දිවුල් සම්බල් හැදූ
ඇඹරැල්ලා, අඹ, වෙරළු විනාකිරිත් සමඟින්
ගල් වංගෙඩියේ දා කොටා අච්චාරු හදා
හැමෝටම කැන්ද කොලේට ටික ටික බෙදූ උඹ . . .

අවුරුදු විස්සේදී මනමාලියෙක් වෙන්නැයි කියා
මාව දමා ගිය දවසේ
මහ පොලොව හෙල්ලුම් කන තරමට
ඇඳේ පෙරලී කෑ ගසා ඇඬුව තරමට ම

ඊට අවුරුදු විසි එකකට පස්සෙ වුනත්
එලියට ඇහෙන්නේ නැති වුනාට
එදා තරමටම කෑ ගසා අඬන බව
උඹ දන්නෙවත් නෑ අක්කේ . . .


මහා පොලොව දුක් උහුලනවා වගේ
හැම දුකක් වේදනාවක්ම හිනාවෙන් උහුලාන
කිසිම කෙනෙකුට වෛර නොකරන
තරහ කාරයටත් මෛත්‍රී කරන
උඹේ හිනා මූන දකින හැම මොහොතකම
මම ඒත් තවමත් දුකෙන් අක්කේ . . . .

අක්කේ උඹට සුභ උපන් දිනයක් . . . !

Tuesday, January 18, 2011

අවුල් පවුල් අවුල් . . . !


“විසල් උඹ මහ කැත මිනිහා මචං”

අමන්දගේ චෝදනාව හරියට තමන්ව උස්සලා පොලොවේ ගැහුවා වගේ විසල්ට දනුනා.

කවදාවත් අහන්න නොලැබෙයි කියලා හිතපු ජාතියේ චෝදනාවක් ලබපු විසල්ගේ කිසිවක් කියා ගන්න බැරිව ඇරුනු කට දැකපු අමන්දම චෝදනාවට නැටි එල්ලන්න පටන් ගත්තා.

“මම ස්වීස් ටුවර් එකට කලින් උඹෙන් කී පාරක් ඇහුවද උඹේ යාලුවා -උඹේ බොක්ක ක්‍රිෂාන් දැන් ඉන්නේ ස්වීස් නේද, උගේ කන්ටෑක්ට් නම්බර් එක මට දීපන් කියලා යන්න කලින් ඌට කෝල් කරලා එහේදි උදව් කරන්න කියන්න ඕන කියලා”

විසල්ට ඔව් කියවුනේ ඔලුව වැනීමෙන්.

“උඹ කිව්වේ ඌ කැන්ඩි ගියාට පස්සේ කන්ටෑක්ට් අඩු වුනා කියලා. ඒත් ඌ ෆැමිලි එකත් එක්ක ස්වීස් වලට මයිග්‍රේට් කරපු බව උඹ නොදැන හිටියා වෙන්න බෑනේ”

“අහ් ක්‍රිෂ් එහෙනම් උගේ හීනේ හැබෑ කරගෙන” දුකටද, තරහකටද, ඉරිසියාවටද හේතුවක් තීරණය කර ගන්න බැරි හේතුවකට විසල්ගේ ඇස් වලට කඳුලු ඉනුවා.

විසල් එක දිගට ඇහිපිල්ලම් කීපයක් ගහගෙන ගියා ඇස් වලට උනපු කඳුලු අමන්දට හොරෙන් ඇස් වලම බොඳ කරන්න හිතාගෙන.

"අනේ නෑ මචන් සිරාවටම මම දැනගෙන උන්නේ නෑ. මගේ සිම් එක නැති වෙලා තිබුනු කාලේ වෙන්න ඇති සමහර විට ඌ යන්න ඇත්තේ"

විසල් තටම තටම බොරුවක් කිව්වත් කෝල් කරලා කන්ටෑක්ට් කර ගන්න බැරි වුනු යාලුවට ඊමේල් එකකින් හරි දැනුම් දෙන්න බැරි කමක් නෑ නේද කියන ඇත්ත කතාව අමන්දට තේරෙන්න ඇති කියලා විසල් හිතුවා.

. . . . . . . . ..

වැඩ ඇරිලා හවස ගෙදර ගිහින් දොර අරින කොටම නිමාලිට තමන්ගේ මූඩ් එකේ වෙනස තේරෙන්න ඇති කියලා නිමාලි මූණ දිහා බලපු විදිහෙන්ම විසල්ට දැනුනා.

"ක්‍රිෂ් මයිග්‍රේට් කරලලු. අද අමන්ද කිව්වේ මට"

"මෙච්චර ආදෙරෙන් හිටපු මටවත් නොකියා මූ ගියානේ" කියන චෝදනාවෙන් නැතිනම් "හ්ම් එහෙනම් ඌට යන්න කලින් මට කියන්න වත් බැරි තරම් තරහක් තිබිලා" කියන වේදනාවෙන් හෝ ඒ දෙකටම නැති ටෝන් එකකින් විසල් ඒක නිමාලිට කිව්වේ.

නිමාලි ඒ ගැන මොනව හිතුවද කියලා එයාගේ මූනෙන් කියවන්න ඕන කියලවත් විසල්ට හිතුනේ නැති තරම්.

ඇඳුම් මාරු නොකරම සෝෆා එක ඇලවුනු විසල්ට උනු තේ එක්ක් ගෙනත් දීපු නිමාලි "මම අද ඔයා කැමති කෑමක් හදන ගමන්' කියලා ආපහු කුස්සියට දිව්වේ ඇත්තටම එහෙම කෑමක් හදන නිසාවටත් වඩා විසල්ට හිත හදා ගන්න තනිවෙන්න ඉඩ ලබා දෙන්න වෙන්න ඇති කියලා විසල්ට හිතුනා.

හැමදේටම වඩා විසල්ගේ හිත රිදුනු කාරනාව වුනේ කවදාවත් කාගෙවත් දියුනුවකට හදවතින්ම සුභ පතන තමන් කාලයක් ලඟින්ම ඉඳපු තමන්ට විශාල ආදරයකින් සලකපු ක්‍රිෂ්ගේ හීනය හැබෑවුනු බව ඇසූ වෙලේ තමන්ට ඉරිසියා හැඟීමක් වගේ දෙයක් ඇතිවුනු එක ගැන.

විසල් හදවතේ හැම අස්සක් මුල්ලක්ම පීර පීර හෙව්වේ ඇයි ඇයි එහෙම වුනේ කියලා.

හොයන අතර මඟ විසල්ට අහුවුනා හේතුව. විසල් දැනගෙනත් හිටපු විදිහට ඒක ඉරිසියාව නෙමෙයි. සුන්දර මිතුරු දමක වෙලිලා ගෙවපු අතීතයක කෑලි කෑලි වලට කැඩී බිඳී විසිරුනු නටබුන් දැකලා ඇතිවුනු වේදනාව. ඒ වේදනාව තමයි ඇසට කඳුලක් ගෙනාවේ කියල තේරුනු විසල්ගේ සැනසුම් සුසුමක් දිගේ පාවෙලා හිත ඒ සුන්දර අතීතයට පියමං කලා.

. . . . . . . . . . . .

රැකියාවට යෑමේ පහසුවට විසල්, චමිත, නිශාන්, තරංග යාලුවෝ හතර දෙනෙක්ම බෝඩ් වෙලා හිටියේ හොඳම යාලු පවුලක් වුනු සජිත් - නිර්මා ලගේ ගෙදර උඩ තට්ටුවේ.

අනෙක් හොඳම මිතුරු පවුල ක්‍රිශාන් - දිලානිත් සජිත්ලගේ ගෙදරට හැමදාම සෙට් වුනායින් එතන මැවුනේ යසපාලිතටවත් මවන්න බැරි වුනු රස සාගරයක් කියලා කට්ටිය නිතරම කතා වුනා.

එකම ක්ශේත්‍රයේ රැකියා කල නිසාම තහනම් වචනේ විදිහට ජොබ් එකේ විස්තර හා ක්ශේත්‍රය නම් කරගෙන කට්ටිය අතර හැමදාම හවසට සිදුවුනු කතිකා, විග්‍රහ සංවාද වලට කලාව , චිත්‍රපටි, නාට්‍ය, පොත්, සිංදු, ටෙලි නාට්‍ය, ජීවිතය, සමාජය, දේශපාලනය මෙකී නොකී අහසත් පොලොවත් අතරසියලුම දේ බඳුන් වුනා නේද කියලා හිතෙන කොටත් හිතට දැනෙන්නේ පුදුමකාර සතුටක්.

මිතුරු කැලේ සියළුම දෙනාට විසල් එක විදිහට සැලකුවා කියන එකත්, හැමදෙනාටම වඩා විශේෂයකින් ක්‍රිෂ් විසල්ට සැලකුවා කියන එක හැමදෙනාම දැනගෙන හිටියා.

“අපෝ ක්‍රිෂ් ඉතිං විසල් නැත්නම් මේ පැත්තේ එන්නෙත් නෑ” නේ කියලා අනෙක් අය විහිලු කලත් ක්‍රිෂ් විසල්ට විශේෂයක් කරන්න හේතුව මොකද්ද කියලා ක්‍රිෂ් කියපු විදිහටම විසල් ඇවිත් අනෙක් අයට කිව්වයින් අනෙක් අය ක්‍රිෂ් ගැන වැරදි වැටහීමක් ඇති කර ගැනීම වැලකුනා.

“උඹ දන්නවද? මට ඉස්කොලේ යන කාලෙවත් හොඳම යාලුවෙක් හිටියේ නෑ. සමහර විට අනෙක් උන්ට මාව දිරෙව්වේ නෑ වෙන්න ඇති”

“නිෂාන් උඹව මට ඉස්සෙල්ලාම අඳුන්නලා දුන්නු දවසේ මටත් උඹව දිරෙව්වේ නෑ බන්’ විසල් ක්‍රිෂ්ට විහිලු කලේ වසර ගානකට කලින් සිදුවුනු සිදුවීමක් සිහිකරලා.

“උඹව හම්බවුනාම මට හොඳම යාලුවෙක් ලැබුනා වගේම දිලානි බැන්දට පස්සේ දිලානිගේ නංගි හම්බවුනාම මට නංගියෙක් හම්බවුනා. ඒ නිසා මම පුංචි කාලේ ඉඳන් හීන මවපු මගේ ජීවිතේ අඩුවක් වෙලා තිබුනු දෙයක් පිරුනා”

අනෙක් මිතුරු මිතුරින් හවුලේ සියල්ලම ක්‍රිෂ්ගේ තීරණය අවසන් තීරණය විදිහට ගන්න ඕන කියන මතේ ක්‍රිෂ් හිටියා වුනත් නිෂානුත් හිටියේ ඒ මතේමයි. මේ දෙන්න අතර හීනියට තිබුනු බල අරගලය සංසිඳෙව්වේ විසල්.

බල අරගල විසඳුවා විතරක් නෙමෙයි කට්ටියගේ සතුට උපරිමයෙන් රඳවා ගන්න පාර්ටි, ට්‍රිප් ආදිය සංවිධානය කලෙත් විසල්.

ඒ කාලේ තනිකඩ ජීවිතයක් ගතකරපු නිසා විසල්ට ඒ වගේ දේවල් කරන්න හොඳට වෙලාව තිබුනා.

මේ හේතු සියල්ලම නිසා ක්‍රිෂ් විසල්ට විශේෂයෙන් සලකනවා ඇති කියලා විසල් පැහැදිලි කරලා දුන්නම අනෙක් සියල්ලෝ සියලුදේ අමතක කර සතුටින් ගතකරන්න තීරණය කල හැටි විසල්ට මේ දැන් සිදුවුනු සිදුවීමක් වගේ දැනුනා.

සියල්ල උඩු – යටිකුරු වුනේ කෙටි කාලයකින්.

දිලානිට දෙවෙනි දරුවා ලැබුනු පසු, පහසුවට එයාගේ අම්මලගේ මහගෙදර යන්න ඕන වුනා ටික කාලෙකට.

දිලානිව කැන්ඩි ඩ්‍රොප් කරලා එන ගමන් ක්‍රිෂ්ගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්ට ලිෆ්ට් එකක් දීම කියන සුලු සිදුවීම මිතුරු කැලක් බිඳවන්න තරම් ලොකු දෙයක් වේවි කියලා කාටවත් නොහිතෙන්න ඇති.

ලිෆ්ට් එකෙන් පස්සේ යාලුවගේ නංගිට නිතර එහේ මෙහේ යන්න ක්‍රිෂ්ව ඕන වුනා.

වෙනදට විසල්ව රැගෙන රෑ තිස්සේ රවුම් ගහන්න බලාගෙන ටිකක් ප්‍රමාදවෙලා වැඩ නිමාවෙන විසල්ගේ කාර්‍යාලය පහල වාහන නැවතුමේ දිලානිත් පුතණ්ඩියයි එක්ක බලාගෙන හිටි ක්‍රිෂ්, දිලානිත් පුතාත් නැති තනිකඩ කාලේ විසල් නැතුව තනියෙම යාලුවගේ නංගිත් එක්ක ෂොපින් ගිහින් තිබුනා.

ඉස්සර මෙන් නිතර නැතත් ඉඳ හිට මුනගැහෙන ක්‍රිශ්ගේ ඇස් වල විසල්ට කියන්න ලොකු චන්ඩි කතාවක් නලියනවා කියලා විසල් දැක්කා වුනත්,

විසල්ට සහෝදරත්වයෙන් සලකපු දිලානි ගැන උපන් අනුකම්පාව හෝ පවුලක් කඩාකප්පල් වීමේ අවදානම, එහෙම නැති නම් දරු දෙන්නෙක් අසරණ වෙන හැටි, මිතුරියක් අනාථ වෙන හැටි ඉවසන්න බැරි උනු විසල් ක්‍රිශ්ට අවවාද කරන්න හිතුවා. . .

“මචං උඹ කරන වැඩේ හරියි කියලද උඹ හිතන්නේ”

“කොයි වැඩේද” ක්‍රිශ්ගේ තිබුනේ “අහ් මුන්ට එහෙනම් මගේ වැඩ කිඩ තේරිලා” කියන ජාතියේ හෙනම තෘප්තිමත් හිනාවක්.

“ජීවිත හතරක් එක්ක සෙල්ලම් කිරීම දෙතුන් පාරක් හිතලා බලන්න ඕන වැඩක් මචන්”

“මේක මගේ පුද්ගලික ජීවිතේ, මම සතුටින් ඉන්න එක උඹට ඉවසන්න අමාරුයි නම් ඒ ගැන මාත් එක්ක කතා නොකර හිටපන්”

“උඹයි දිලානිගේ නංගියි මට නැති උනොත් මම කොහොම ජීවත්වෙන්නද කියල හිතන්නවත් බෑ මචං” කියපු ක්‍රිශ්මද මේ කියලා විසල්ට හිතුනා.

මුලදී සති අන්තේ විතරක් මිතුරු හවුලේදි දකින්න ලැබුනු ක්‍රිශ්, සති තුනකට විතර පස්සේ මාසෙකට දවසක් විතර දකින්න ලබෙන ගානට පත් වුනා.

නමුත් දිලානි, ක්‍රිශ් විසල්ලගේ මිතුරු සමාගමත් එක්ක හැමදාම සෙට් වෙලා සුපුරුදු පරිදි කාලේ ගතකරමින් ඉන්නවා වෙන්න ඇති කියලා හිතාගෙන ඉන්න බව කතා බහෙන් තේරුනා.

වැඩියෙන්ම එහෙම කාලේ ගතකරන බව ක්‍රිශ් දිලානිට අඟවලා කියලා තේරුනත් මිතුරු හවුලේ කිසි කෙනෙක්ට එකපාරටම කොයි විදිහේ දෙයක් කියන්නද කියල හිතා ගන්න බැරි වුනා.

හැමදේටම වැඩිය මිතුරු කැලට හිතාගන්න බැරි උනේ ඒ වෙනකොට හිටපු ක්‍රිෂානුයි ඊට අවුරුද්දකට විතර කලින් හිටි ක්‍රිෂානුයි එක්කෙනෙක්මද කියන එක.

බැන්ද දවසේ ඉඳන් තමරා එක්ක එක්ක රන්ඩු වෙන නිෂාන් කොළඹ හිටියේ පුතාවයි තමරවයි ඇබිලිපිටියේ ගමේ නතර කරලා.

නිවාඩු ගිහින් නිෂාන් හැමදාම එන්නේ “මේ ගෑනි එක්ක ජීවත් වෙන්න බෑ බන්, ගෙදර ඉන්න දවස් දෙකට වත් සන්තෝසෙන් ඉන්න ඕන කමක් නෑ. නිකම් බොරු හේතු හොයාගෙන රන්ඩු වෙනවා” කියන අඳෝනාව දාගෙන.

“උඹ ඉතිං මල අතේ තියා ගත්තු ගමන්මනේ. උඹත් එක්ක එහා කාමරේ මෙහා කාමරේ ඉන්න අපිටත් ඉන්න බැරි කොට උඹෙන් කාලා ඇඳලා ඉන්න ගෑනියෙක් කොහොම ඉන්නද කියලා” ආපහු උගේ පිටම වරද පටවනවනවා වුනත් විසල්ලගේ මිතුරු කැළ එයාලව සාමදාන කරන්න හදපු හම වතාවක්ම තමරගෙත් නිෂාන්ගෙත් මුරණ්ඩු කම නිසා මඟ හැරිලා ගියා.

නිෂාන්ගේ ඔෆිස් එකේ කෙල්ලෙක් ඌ ගැන දුක හිතිලා උගෙයි ළමයගෙයි ජීවිතේ භාර ගන්න ලෑස්තිවෙලා “ඔයා තමර එක්ක කතා කරලා සාමදානෙන් වෙන්වෙන්න. එයාට වෙන හොඳ කෙනෙක් හොයාගෙන බැන්දට පස්සේ අපි බඳිමු, පුතාට අපි දෙන්න ලඟම ඉන්න කියමු” වගේ දේවල් කියලා තිබුනා.

නිෂාන්ගෙත් තමරගෙත් දරුවගෙත් සතුට ගැන හිතපු විසල්ල එයාලම හොඳ විදිහකින් බේර ගත්තාවේ කියලා හිටිය වුනත් ක්‍රිෂාන්ට විතරක් මේ සිදුවීම මහා අපරාධයක් විදිහට පේන්න පටන් අරගෙන තිබුනා.

“කොයි තරම් කැත වැඩක්ද ඌ කරන්නේ”

“දරුවගේ අනාගතේ ගැන නිෂාන් හිතන්න ඕන නේද”

“මේ කේස් නිසා තමර හරි ඇන්ඩ්‍රියා හරි ජීවිතේට මොනා හරි කර ගත්තොත් අපිටත් පොලිසි යන්න වෙයි – ඒක මගේ මයිග්‍රේට් කරන වැඩේටත් නරක විදිහට බලපායි”

ක්‍රිෂ්ට කියන්න ජාති ගොඩක් තිබුනා.

“උඹට මල පැනලා තියෙන්නේ ඇන්ඩ්‍රියා වගේ බියුටි ක්වීන් කෙනෙක් උඹ වගේ එකෙක් එක්ක නැතුව නිෂාන් එක්ක සෙට් වුනු එක නෙමෙයි නේද ක්‍රිශ්” කියලා විසල්ලගේ මිතුරු කැල ක්‍රිෂ්ගේ අකමැත්ත නොසලකා හැරියා.

එදා එහෙම පරමාදර්ශී චරිතයක් වුනු ක්‍රිෂ් අද මෙහෙම කරන්නේ කොහොමද කියන එක කට්ටියට පුදුමයක් වුනා.

දිලානිගෙන් විසල්ලගේ මිතුරු කැලට “ඔයාලා හැම දේම දැනගෙන ඉඳලා මට හැන්ගුවා නේද” කියන චෝදනාව එන එක වලක්වන එකටත් වැඩිය දරු දෙන්නෙක්ගේ අනාගතේ අඳුරු වෙන එක නතර කරන්නත් දරු දෙන්නෙක් එක්ක දිලානි අසරණ වෙන එක නොවෙන්නත් මිතුරු කැල තීරණයක් ගත්තා.

“දිලානි, ඔයාට තනියෙම වැඩ කරන්න අමාරුයි නම් අම්මවත් එක්ක කොළඹ එන්න නංගී”

“විසල් අයියා ඇයි හදිස්සියේ ඔහොම කියන්නේ”

“හදිස්සියක නීම්යි, ක්‍රිශ් තනියෙමනේ. ඌට පාලු ඇති”

“ඔයාලා සෙට් එක ඉන්නවනේ”

“පහුගිය ටිකේ ක්‍රිෂ් වැඩිය සෙට් වුනේ නෑ. ඔෆිස් එකේ වැඩ වැඩි වෙන්න ඇති”

“ෂුවර් එකටම අරකිත් එක්ක රට වටේ යනව ඇති”

“අරකි .. කවුද අරකි”

“විසල් අයියා මට ක්‍රිශ් කිව්වා එයාගේ ක්ලාස්මේට් කෙනෙක්ගේ නංගි කෙනෙක්ට ලිෆ්ට් එකක් දුන්නා, පස්සේ එයා එක්ක දවස් කීපයක් ෂොපින්ග් ගියා කියලා. ඒ කෙල්ල එක්ක මොකක් හරි ඇති කියලා මට නිකමට හිතුනා”

“නෑ මම හිතන්නේ නෑ එහෙම එකක් ඇති කියලා. අනික ක්‍රිශ් කොහෙද අපිට හොරෙන් එහෙම දෙයක් කරන්නේ”

දවස් දෙකකට පස්සේ දිලානි ළමයි දෙන්නත් එක්ක කොළඹ ආවා. එදා විසල්ට ඔෆිස් එකේ රෑ වෙනකම් වැඩ තිබුනු දවසක්.

පහුවදා උදේම ළමයි දෙන්න බලන්න යන්න ඕන කියලා රෑ වැඩ කර කර හිටපු විසල්ට රෑ 11ට විතර කෝල් එකක් එනවා ක්‍රිශ්ගෙන්.

“ආ මචන් මම හෙට එන්න හිටියේ උඹලගේ දිහා”

“උඹට දැන් සනීපද??” ක්‍රිශ්ගේ ටෝන් එක විසල්ට වෙන කවදාවත් අහල පුරුදු එකක් නෙමෙයි කියලා හිතුනා

“මොකද්ද උඹ කියන්නේ”

“උඹට දැන් සනීපද??? උඹට ඕන උනේ මගේ පවුල කඩල දාන්නනේ. ඔන්න ඒක වෙන්නයි හදන්නේ”

“මොනාද බන් උඹ කියන්නේ”

“උඹ දිලානිට කිව්වද මගෙයි ශාන්තගේ නංගිගෙයි අතරේ එෆෙයා එකක් තියෙනවා කියලා??”

“මොකක්”

“දිලානි මට කිව්වේ. දිලානිගෙන්ම අහ ගනින්කෝ”

“මොනාද නංගී මූ මේ කියන්නේ”

“මෙයාට පිස්සු අයියේ. මම එහෙම දෙයක් කිව්වේ නෑ”

“උඹට ගෑනිව විස්වාස කරන්නද යාලුවව විස්වාස කරන්නද කියන එක මට කියන්න බෑ. ඒත් උඹට වත් උඹේ පවුලට වත් කිසිම හානියක් වෙන විදිහේ දෙයක් මම කරයි කියලා උඹ හිතපු එක ගැන මට හරි කනගාටුයි ක්‍රිෂ්”

ක්‍රිශාන් එක පාරටම ෆෝන් එක විසන්දි කලා.

පැය භාගෙක පස්සේ ආයේ කෝල් එකක්

“විසල් අයියා මම ක්‍රිෂ්ට කිව්වා ඔයා මට කිව්වයි කියලා එයාලා අතරේ එෆෙයාර් එකක් තියෙනෙවා කියලා"

“ඇයි දිලානි නංගි ඔයා බොරු කිව්වේ” කියලා විසල් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් දුරකතනේ ආයේ පාරක් විසංදි උනා.

. . . . . . .

ක්‍රිෂාන් නුවර බ්‍රාන්ච් එකට මාරුවක් අරගෙන ගියා.

යාලුවෝ සෙට් එකම ෆුල් හොල්මන් වෙලා හිටියා සිදුවුනු දේ ගැන.

. . . .

"විසා. . ල් ඔයාගේ ෆෝන් එක රිං වෙනවා ඇහෙන්නේ නැද්ද අනේ" . . නිමාලි කුස්සියේ ඉඳන් කෑ ගහන සද්දෙට විසල්ව උඩ ගිහින් බිම වැටුනා.

"මින් පස්සේ වත් අනුන්ගේ පවුල් ජීවිත වලට ඇඟිලි නොගහ හිටපන්" කියලා දිලානියි ක්‍රිෂුයි මට ඉගැන්නුවේ හොඳ පාඩමක් කියලා විසල් හිතුවා වුනත් අන්තිමේදී දරුවොත්, දිලානිත් අනාථ නොවී ක්‍රිශ් උගේ හීනේත් හැබෑ කර ගත්තු එක ගැන උපන් සතුටකින් විසල්ගේ දෙනෙත ආපහු පාරක් තෙත් වුනා . . .

“හලෝ චමිත . . ආ හරි හරි වරෙන් වරෙන් . . . හරි මම නිමාලිට කියනන්ම් උඹලටයි ලමයින්ටයි කෑම හදන්න කියලා . . “

- කෙටි කතාවක් පමනි -

Thursday, January 13, 2011

මහේෂ් . . !



මහේෂ් ට තිබුනේ හරිම අහිංසක හිනාවක්.

වැඩිය කතා බහ කරන කෙනෙක් නෙමෙයි කියන එක නම් මට මහේෂ් ව දැකපු දෙවෙනි තුන්වෙනි දවස්වලම හිතුනා.

ඒත් ඒ කතා නොකරන ගතියට හරියන්නත් එක්ක ඔහුගේ හිනාව සෑහුනා.

ඇස් පුංචි කරලා හිනාවෙනකොට ඕනෙම කෙනෙක්ට තේරෙන්න ඇති "හලෝ . . සුභ උදෑසනක්" කියන වචනත් ඒ හිනාවේ තිබුනු බව.

මහේෂ්ව මම දැක්කේ අපි ඩුබායි පදිංචි වෙලා ඉන්න කාලේ. අබුඩාබි ආවට පස්සේ මහේෂ් ව විශේෂයෙන් මතක් කරන්න තරම් කිසිම සිදුවීමක් වුනේ නෑ.

ලඟඳී දවසක් ඩිලංක මල්ලිගේ මූනු පොතේ මහෙෂ්ගේ පින්තූරයක් දාලා "හදිසියේ අප අතරින් වියෝ වුනු මහෙෂ් අය්යාට නිවන් සුව අත්වේවා" කියලා ලියලා තිබුනා.

පපුවෙන් හෝස් ගාලා සද්දයක් එද්දී මට මැවිලා පෙනුනේ මහේෂ් ගේ අර අහිංසක හිනාව.

මනෝජ් මල්ලිට කෝල් කරලා විස්තරේ හරියටම දැන ගත්තා.

පපුවේ අමාරුවක්ලු, වයස 33යිලු, පහුගිය කාලයක් කාර්‍යාලයේ වැඩ කරලා තියෙන්නේ ලොකු පීඩනයක් යටතේලු. මහේෂ්ගේ පුංචි පුතාට වයස 2ක්ලු. බිරිඳට තව දරුවෙක් ලැබෙන්න ඉන්නවලු.

එහා පැත්තේ ඉන්න ජනකටත් පනිවිඩේ දීලා මැටි පූසා (සුදත්) ගේ බැච් එකේ මිතුරෙක් කියලා දන්න නිසා ඌට කතා කලා දුක බෙදා ගන්න.

හවස ගෙදර යද්දිත් මට දැනුනු කම්පනය අඩු වෙලා තිබුනේ නෑ.

"අනේ නදීෂා අර අපි ඩුබායි ඉන්නකොට උදේ හවස මුන ගහුනු මහේෂ් කියලා QS කෙනෙක් හාට් ඇටෑක් එකක් හැදිලා මැරිලා. පුතාට වයස 2යිලු, තව ළමයෙක් හම්බුවෙන්නත් ඉන්නවලු . . පව් හලෝ . . " උගුරේ ගිලින්නත් බැරි විසි කරන්නත් බැරි යමක් හිරවූ විට එන ඒ කටහඬ මගේමද කියලා මටම හිතුනා. ඒ තරමට වෙනස්වෙලා, දුකෙන් පිරිලා, බැරැන්ඩි වෙලා.

"අනේ . .. . ..!! "

"ඒ ගෑනු මනුස්සයට තියෙන්නේ වැඩි කල් නොගිහින් වෙන හොඳ කෙනෙක් හොයල බඳින එක" නදීශා මගේ දිහා බැලුවේ මූට මොකෙක් වැහිලද මේ වගේ ගොං කතාවක් කියන්නේ කියල අහන බැල්මෙන්.

"නෑ අනේ දරුවෝ දෙන්නෙක් එක්ක ගෑනු කෙනෙක්ට තනියෙන් ජීවිතේට මූන දෙන්න බෑනේ"

"ඔයාට පිස්සු"

"ඔක්කෝටම වැඩිය තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකම් සෙල්ලම් කරන්න බලන් ඉන්න පොඩි පුතා, ඌ කොයි තරම් පව්ද . . . අර ඉපදෙන්න ඉන්න දරුවා?? අනිත් ළමයින්ට තාත්තලා ඉන්නවා ඇයි අම්මේ මට නැත්තේ කියලා අහන කොට අර ගෑනු මනුස්සයා කොයි තරම් අසරණ වෙයිද"

"ඒ මොනා වුනත්"

"ඔයා කියන්න හදන්නේ අපේ සමාජේ ඒ වගේ දේවල් මම කියන තරම් ලේසියෙන් හිතන්නේ නෑ කියල නම් මම කියන්නේ සමාජෙට බම්බු ගහ ගන්න කියලා ඒ ගෑනු කෙනා ඒ වගේ තීරණයක් ගන්න ඕනයි කියලයි. තනිවුනු, අසරණ වුනු දරුවෝ ගැන එයාලගේ දෙමාපියෝ සහෝදර සහෝදරියෝ යමක් කලොත් මිසක් සමාජේ අය මොන ඉටිගෙඩියක්වත් කරනවද . . ."

"එහෙම . . "

"මම මැරුනොත් ඔයා සමාජෙට බයේ මේ ළමයට අප්පච්චි කෙනෙක්ගේ සෙනෙහස ලබා නොදී ඉන්න එහෙම හිතන්න එපා. දරුවන්ට ආදරේ කරන, ගෑනුන්ට ගෞරව කරන හොඳ කෙනෙක් හොයලා ආපහු බඳින්න"

"මැරුනු කෙනෙක් ගැන මතකය පොල් කුඩු විසිකරනවා වගේ එහෙම ඉක්මනට විසි කරලා දාන්න පුලුවන් කියලා ඔයා හිතනවද . . "

"මතකය හිතේ තියාගෙන හරි ගෑනු කෙනෙක් ඒ දේ කල යුතුමයි. තමන්ට රැකවරණයට කෙනෙක් හොයා ගැනීමේ චේතනාව කෙසේ වෙතත් දරුවන්ට පියෙක්ගේ සෙනෙහස ලබා දෙන්නම ඕන නිසා. මොකද දරුවන්ගේ පෞරුෂ වර්ධණයට පියාගෙන් කෙරෙන බලපෑම ගොඩක් වැඩියි කියලයි මම අහලා තියෙන්නේ"

"දරුවෝ දෙන්නෙක් එක්ක ගෑනු කෙනෙක් බඳින්න කැමති අය අපේ රටේ ඉන්නවද අනේ"

"හිංදි ෆිල්ම් වල වගේ ලොකේ හොඳම මනුස්සයා පාර වැරදිලා අහම්බෙන් ගෙදර ඇවිත් ගෑනිටයි දරුවන්ටයි ආදරේ හිතිලා මම ඔයාවයි දරුවන්වයි භාර ගන්න කැමතියි කියල කියයි කියලා බලන් ඉන්න එපා. තමනුත් රැකියාවක් කරලා ස්වාධීන වෙන්න උත්සාහ කරන ගමන් අර හොඳ කෙනෙක් හොයන්න ඕන. සොයන්නාට හම්බවෙයි කියනවනේ"

"හපොයි"

"සමහර අය ඉන්නවනේ තමන්ගේ බිරිඳ මිය ගිහින්. ඒත් දරුවන්ට ආදරෙයි. එහෙම කෙනෙක් හරි නැතිනම් මොකක් හරි හේතුවක් නිසා දරුවෝ හදන්න බැරි නිසා කසාද නොබඳ ඉන්න නමුත් දරුවන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් හරි. . හැබැයි ඉතින් ගෑනු මනුස්සයා තව ළමයි නොහදා ඒ කෙනා එක්ක කතා බහ කරගෙනම තීරණය කරනවනම් හොඳයි "

"පුදුම දේවල් තමයි ඔයාටත් හිතෙන්නේ"

"හ් හ් හ් ම් ම් ම් ම් ම් ම් ම් "

Saturday, January 8, 2011

මිනිසා, බල්ලා, මිතුරුකම සහ කලගුණ සැලකීම . . . !



බල්ලා මිනිසාගේ ඈත අතීතීතයේ සිට පැවතෙන මිතුරෙකැයි කියනු ලැබේ. . .

එම මිතුරුදම වෙනුවෙන් මිනිසා විසින් බල්ලාට කොපමන දුරකට කෘතගුන සලකා තිබේද???


ලියන්න දේවල් එමට තිබුනත් ලියන්න කාලවේලාවක් නොමැති කම නිසාම බ්ලොග් එකට සොරි ඩොට් කොම්. එහෙම කියලා අහක බලන් ඉන්න හිත දෙනවනම් මොකෝ.

බැරි නිසා . .. .

කාලෙකට කලින් බයිස්කෝප් එකට ලිව්ව නමුත් ඇක්ෂන් හෝ මෙගා ප්‍රඩක්ෂන් ආදී ලේබල් වලට අසු නොවන වෙනස්ම ආරක සංවේදී කතාවක් නිසාමදෝ මන්දා බයිස්කෝප් අඩවියේ ප්රක්ෂකයන්ගේ වැඩි අවධානයට ලක් නොවුනු අපූරු චිත්රපටියක් ගැන ලියූ සටහනක් මෙහි සටහන් කරන්න සිතුවා.

මේ චිත්‍රපටිය වෝල්ට් ඩිස්නි සමාගම බෙදාහරින ලද ඇඩ්වෙන්චර් ගනයේ උනත් බොහෝම සංවේතී කතාවක් අඩංගු චිත්රපටයක් . . . . !

මේ චිත්‍රපටිය මගේ ප්‍රියතම චිත්රපට කියන ලිස්ට් එකේ ඉහලින්ම වැජඹෙන එකක්.

පුංචි කාලේ අපි ආදරෙන් හදපු ලේනෙකුගේත් අපේ චූටි මල්ලී කියලා නම තුබුනු පූසාගේත්, බිංදු කියන නම් තිබුනු බල්ලගේත් මරණ වල වේදනාවේ බර තාමත් හිත ඇතුලේ තියෙන නිසා බල්ලන් බළලුන් වැනි සුරතල් සතුන් ඇති කිරීම අද දවසේ මම අකමැතිම කාරියක්.

ඒත් මනුෂ්‍යත්වය කෙරෙහි පතල කල යුතු මානව දයාව සතුන් කෙරෙහිත් පතල කල යුතුයැයි සිතන කිසිවෙක් සිටී නම් ඔවුන් විසින් නැරඹිය යුතුම චිත්‍රපටියක් ලෙස මෙය නම් කල හැකියි.

කථාවේ ආරම්භය කෙටියෙන් මෙහෙමයි.

ඇන්ටාක්ටිකාවේ පර්යේෂන මූලස්තානයක මගපෙන්වන්නෙකු ලෙස සේවය කරන තරුනයෙකුට කාලානුරූපිකව අපහසු රාජකාරියක් පැවරෙනවා. මහාචාර්යවරයෙකු සමග ඈත හිමේට ගොස් බුද ග්රහයාගෙන් බිදීවිත් හිමේ පතිතවී ඇතැයි විශ්වාස කරන විශේෂ පාෂානික ග්රහ වස්තුවක කොටසක් රැගෙන ඒම තමයි ඒ රාජකාරිය.

ඔහු එය භාරගනු ලබන්නෙත් ඔහුගේ ආයතනයේ අය අයහපත් කාලගුණයක් ගැන අණතුරු ඇගවීම නොසලකා හරිමින්. ඔහුගේ විශේෂන දැනීමට අනුව බල්ලන් විසින් ඇදගෙන යනු ලබන හිම යානයක ගමන සුදුසු යයි තීරය කල පසු එම යානා වෙනුවෙන් විශේෂයෙන් පුහුනු කරන ලද සුනඛයන් රෑනකුත් සමග ඔවුන් පිටත් වෙනවා. . . .

ඔවුන් සෙවූ දේ සොයා ගැනීමට ඔවුන්ට හැකි වුනාද . . ?

ග්ලැසිර දියවෙන හිම කුණාටු කාලගුණය ඔවුන්ගේ ගමනට ආශීර්වාදයක් වීද . . .?

බල්ලන් බල්ලන් වූ නිසාම ඔවුන් අතර අසමගියක් වීද . . . නොමැති නම් ඔවුන් සමගියෙන් හිම කරත්ත රාජකාරිය හා ඉන් අනතුරුව ඇතිවන දුක්ඛිත කාලය ගත කරන්න ඇත්ද . .

මීට වඩා මේ ගැන කරුනු පැවසීම චිත්‍රපටිය නැරඹීමට අදහස් කල අයෙක්ට කරනු ලබන අසාධාරණයක් නිසාවෙන් මින් එහාට කිසිවක් නොකියා

"මෙය මුල ඉදන් අගටම ඇගේ මයිල් කෙලින් වෙන ත්‍රාසය කුතුහලය දනවන සහ බාල්දියක් පිරෙනකම් කදුලු හලන්න පුලුවන් වර්ගයේ ඉතාම ලස්සන ෆිල්ම් එකක්"

විතරක් කියලා කැමති කෙනෙක්ට බයිස්කෝප් අඩවියේ මෙන්න මෙතනින් මේ ලිපිය බා ගෙන බලන්න කියා කියමින් නවතිමි.

IMDB රේටින්ග්ස් වල 7.3/10 මේ චිත්රපටය මේ චිත්‍රපටිය ලබාගෙන තිබෙනවා.

මෙන්න මෙතනින් ගිහින් බයිස්කෝප් අඩවියෙන් මේ චිත්‍රපටිය බාගන්න පුලුවන්

Saturday, January 1, 2011

සුභ උපන් දිනයක් ආදරණීය අම්මේ . . . !


දුමීගේ ගමහාමිනේගේ මල්ලීගේ මිතුරියක් දුමීගේත් මගේත් බ්ලොග් රසිකාවියක්. ඇය කෙටි නිවාඩුවකට ඩුබායි ඇවිත්. ඈ දුමීට කෝල් කරපු වෙලාවේ කියලා ඩුබායි ආපු එක දුකාවත් හමුවෙන්නම ඕන කියලා.

මම දුමීට කිව්වා එයාවත් එක්කරගෙන අපේ ගෙදර එන්න කියලා.

අපේ ගෙදරඋන්දෑගේ මළයටත් කිව්වා එයාගේ බිරින්දෑත් එක්කම එන්න කියලා කස්ටියට එකතු වෙන්න.

උදේ නමයට සාජා වලින් පිටත් වෙන්නම් කියපු දුමී එහෙන් පිටත් වෙනකොට උදේ පාන්දර 11.30ට විතර වෙලා මොකද පැය එකහාමාරෙන් එන්න පුලුවන් ගමන කස්ටිය අපේ ගෙදර එනකොට යාන්තම් උදේ එක විතර වුනා.

පොඩි වෙලාවක් අපේ ගෙදර ගත කරපු කස්ටියම හදාගෙන ආපු කෑමයි, අපේ මිතුරිය දීපානි අරගෙන ආපු දෙකලප්පමුයි අහ් නෑ වටලප්පමුයි, අපි හදපු කෑමයි ඔක්කෝම අරගෙන ගියා "කිඩ්ස් පාර්ක්" කියලා නමක් තියෙන පොඩි සත්වෝද්‍යානයකට.

එතන ඉඳන් කාලා බීලා හවස් වෙලා අපි හැමෝම ගියේ අපේ මිතුරිය අපේ ගෙදර එන්න කියලා අරාධනා කරපු වෙලාවේ ඉඳන් පුන පුනා කියපු ඩුබායි වල තියෙන ලෝකයේ උසම ගොඩනැගිල්ලේ (Burj Khalifa) තියන්න සංවිධනය කරල තිබුනු මල් වෙඩි සංදර්ෂනය බලන්න.



පාර්කින් ප්‍රශ්න එයි කියලා දැනන් උන්නු නිසා වාහන දුමියගේ කාර්‍‍යාලය ලඟ පාර්ක් කරලා මෙට්‍රෝ කෝච්චියේ තමයි ගියේ ඕන්.

මගේ අම්මෝ ඒකට ඇවිත් හිටපු සෙනඟ කන්දරාව.

සංදර්ශනය ඉවර වෙලා "බර්ජ් කලීෆා" මෙට්‍රෝ ස්ටේශන් එකෙන් කෝච්චියට නගින්න බැරි බව තේරුනු අපි කලේ කිලෝ මීටර් 2ක් විතර දුරින් තිබුනු ඊලඟ ස්ටේශන් එකට පයින් ගිහින් එතනින් කෝච්චිය ගත්තු එක.

ඒක තමයි නියම ගමන.

දුමියා උගේ පුතාව කර උඩ තියාගෙන මම මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල්ව කර උඩ තියාගෙන. හරියට ලංකාවේදි පෙරහර බලන්න ගිහින් එන්නේ . . . අන්න ඒ වගේ . .

ස්ටේශන් එකේ පැය ගානක් හිරවෙලා බුදු දුකක් විඳලා (ඒ වුනාට අපි නම් කිය කිය හිනාවුනේ ඒන මාර ආතල් රැග් එකක් කියලයි) දුමීලයි අපේ මසියයි කස්ටිය සාජා ගියා . . . අපි අබුඩාබි ආවා.

හැමෝම ගෙවල් වලට එනකොට පාන්දර 3.30-4.00ට විතර ඇති.

ජීවිතයට අමතක නොවන දෙසැම්බර් තිස් එකක් ඔන්න ඔහොම ගත කලා.

ෆෝන් ඕෆ් කරලා නිදා ගත්තු අපි ඇහැරුනේ ඊයේ උදේ පාන්දර 11ට විතර.

විරුල් හීනෙන් මොනවදෝ දැකලා. ඌට කියා ගන්න තේරෙන්නේ නෑ ඒ මොනාද කියලා. කොල්ලා ඒක දෙන්න කියලා කියන එකට කියන්නේ "ඒක දේ" කියලා. උදේම විරුල් අඬාගෙන නැගිට්ටේ ඒක දේ කියාගෙන. අපි ඉතිං අහනවා අහනවා ඌ කෑ ගගහා අඬනවා ඒක දේ කියලා. දෙන දෙන දේ පොලොවේ ගහනවා ඒක නෙමෙයි කියලා.

මම ඉතිං කොල්ලව වඩාගෙන අහනවා මොනාද පැටියෝ ඔයාට ඕන කියලා.

මූ ඒක දේ . . ඒක දේ කියනවා විතරයි.

මට එකපාරටම මතක් වුනේ මම ගැන අපේ ගෙදර අය කියපු කියන දෙයක්.

මම පොඩි කාලේ හරිම චුරු චුරුවලු. අඬාගත්තු ගමන්මලු. (මේ විරුල් කොල්ලා නම් එහෙම නෑ ඌ හිනාපාල වගේ . . හිනා වුනු ගමන් මයි ) මට හිතුනේම අපේ අම්මා මාව නලව ගන්න කොයි තරම් නම් දුකක් විඳින්න ඇද්ද කියලයි.

තාත්තත් නිතර ගෙදර නෑ බිස්නස් වලටයි දේශපාලන වැඩ වලටයි නිතරම ගෙදරින් එලියේ.

නංගි ඉපදුනු ගමන් අම්මට තනියෙන් වැඩ කරන්න බෑ කියලා අක්කව ගමේ ආච්චිලගේ ගෙදර නතර කලා වුනත් පුංචි එකී නංගීවත් බලාගෙන මගේ චුරු චුරු ඇඬිල්ල එක්ක අම්මා මොන තරම් දුකක් විඳින්න ඇද්ද කියලා හිත හිතා ඉන්න කොට තමයි අපේ ගෙදර උන්දෑ නදීෂා මතක් කලේ අද අම්මගේ උපන් දිනේනේ . . ඉක්මනට කෝල් කරන්න කියලා . . . .

අම්මගේ 66වෙනි උපන්දිනේට සුභ පතන කොටම තමයි නංගියි එයාගේ පවුලේ අයයි හැම ජනවාරි පළමුවෙනිදාම තියෙන අම්මගේ විශේෂ දවල් කෑම පාර්ටියට සහභාගි වෙන්න ඇවිත් තියෙන්නේ.

ඒ වෙනකොටත් අක්කලා මඟ එනවලු. දුසිම් භාගෙට එකක් අඩු අක්කගේ ළමයි ටික ලෑස්ති කරගෙන ගමන්ක් එන එක ඉතිං ලේසි නෑනේ.

තාත්තගේ ඉස්සෝ ස්ටුවයි, අම්මගේ දැවිල්ල චිකන් කරි එකයි අල හොද්දයි බෝංචි කරි එකයි එක්ක බත් කටක් කාලා අම්මට උපන්දින හාදුවක් දෙන්න යන්න බැරි උනු එක නම් හිතට හරිම දුකයි තමයි. කමක් නෑ අපේ පවුල විතරනේ අඩු . . අක්කයි නංගියි අපේ අඩුවත් පුරවයි කියලා හිතාගෙන අම්මට සුභ උපන් දිනයක් පතලා අපි කිරිබත් කාලා ආපහු නිදා ගත්තා.

ප. ලි.
අම්මට සුභ උපන් දිනයක් කිව්වා වගේම මගේ බ්ලොග් සහෘදයෝ හැමදෙනාටමත් සියළු පැතුම් ඉටුවෙන සතුටින් පිරුනු සුභ අලුත් අවුරුද්දක් වේවා කියලාත් මම හදවතින්ම සුභ පතනවා.






මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails