Monday, May 16, 2011

ජාතක කතාද සමාජ විවරණද . . ?? අපූරු තොරණේ වරුණ


"ඔයා ඇර මට වෙන නූල් පොටක දෙයක් එපා රත්තරන්" යැයි තම පෙම්බරාගෙන් විවරන ලැබූ යුවතියක් ඔහු හා පතිකුළයට යන්නේ මෙවන් පෙම්බරෙක් ලද පෙම්වතියක් වේ නම් ඈ දිනුවේ යයි කියා උදාන සිතින් නොවේද??

ප්‍රේමය පෑල දොරින් පළාගොස් එදා පෙම්වතා මෙදා සැමියා වී "තමුසෙ එනකොට මොනවද අරගෙන ආවේ" කියා ඇසූ දා ඇගේ ඒ හීන ප්‍රේම ලෝකය පය පාමුල බිඳවැටෙන දා අතින් පයින් නොතැලුවත් බ්ලේඩ් තල වැනි වචන මඟින් තලමින් ගෘහස්ත කාන්තා හිංසනය එදා සිට ඇරඹෙන බව ඔබට නොසිතේද??

"අපි නම් දෑවැදි ගත්තේ නෑ, ගන්නෙත් නෑ" කියා ආඳා මාලු අප්පිරියා නිසා අතින්වත් නාල්ලන බව කියන සුචරිත සුපෙම්වත් සැමියන් "ඔයාලගේ තාත්තගෙන් ගානක් ඉල්ලල දෙනවකෝ" කියා අතින් නාල්ලන ආඳාමාළු ඉරට්ටෙන් කන අවස්ථා, කෑ අවස්ථා ඔබ අසා තිබෙනවාද?? දැක තිබෙනවාද?? අත්විඳ තිබෙනවාද??

"ඇයි ඉතිං කිසි දෙයක් ඕන නෑ කියලනේ ඔයා කිව්වේ" කියා බිරිඳ ඇසුවේ නම් "එහෙම කිව්ව වුනාට දුවෙක් නිකම් දෙන දෙමව්පියෝ ඉන්නවාද"යි කියා තණකොල කපන්න කිතුල් ගහට නැග්ග ජාතියේ පිලිතුරු දෙන සැමියන් ගැන අසා තිබෙනවාද?

නිවසේදී බොහෝ විට කාන්තා හිංසනය පටන් ගන්නේ මෙවැනි සිදුවීමකින් පසුව නොවේද??

. . . . . . . . . . .. . . . . .. . . . .. .

බස් රියේ දකින සුරූපි තරුණියක් "මාර ගෙඩිය මචං" කියා මිතුරන්ට පෙන්වා අසීලාචාර ලෙස ඇයගේ ඇඟට හේත්තුවෙන්න උත්සාහ දරා කාමුක වෙස් ගන්නා තරුණයෙක් . . . ..

ඔහුගේ නැගෙනිය පන්තියේ මිතුරෙක් සමඟ බස් හෝල්ට් එකක කතාබහ කරමින් සිටිනු දුටුවොත් නැගෙනියගේ මිතුරාට කනට ගසා "අඩෝ කෙල්ලෝ කියන්නේ උඹලගේ සෙල්ලම් බඩු නෙමෙයි හරිද" කියා රඟ දක්වන්නේ ස්ත්‍රී පරපුරේම මහා ගැලවුම් කරුවාගේ චරිතය නොවේද??

බස් රියේ ගමන් ගත් ළඳගේ ඇඟට අසීලාචාර ලෙස හේත්තු වීම පමනක් නොව නැගෙනියගේ සමාජ ආශ්‍රයට වැටකඩොළු බැඳීමත් කාන්තා හිංසනය ලෙස ඔබට නොසිතේද??

. . . . . . . . . . .. . . . . .. . . . .. .

ලියනවානම් ලියන්න බොහෝ දේ ඇත. .

නමුත් මේ අටුවා ටීකා සියල්ල අපේ මිතුරු "නිකමට වගේ" බ්ලොග් අඩවිය ලියන නොදරුවා හෙවත් සඳුන් ලක්මාල් කල විවෘත ආරාධනයක් වූ ඔවුන්ගේ නවතම වෙසක් නිර්මාණය වූ ජාතක කතාවක් නැති වෙසක් තොරණ හෙවත් කාන්තා හිංසනය පිටුදැකීම මාතෘකාව කරගත් වෙසක් තොරණ ගැන ඔබ දැනුවත් කිරීමටයි.

මේ පිලිබඳ අපූරු ලිපියක් අපගේ දයාබර ළිෂාන් සොයුරා ඔහුගේ රස්තියාද කතා අඩවියේත් අජිත් පැරකුම් මහතා ඔහුගේ ව්3 අඩවියේත් ලියා තිබෙනු මා දුටුවා.

වැඩි විස්තර ඇවැසි නම් ඒවායින් ඔබට ලබා ගන්න පුලුවන් වේවි.

. . . . . . . . . . .. . . . . .. . . . .. .

නූගත් ශ්‍රාවකයින් බුද්ධ සාසනය කෙරෙහි ඇඳ බැඳ තබා ගනු වස් පසු කාලයක එකතු වූ බෞද්ධ සාහිත්‍යයේ - "මට මහළු වයසේ . . බැරිය වෙණ ගායනා පෙරසේ" කිවූ මුත් රජවාසල වාදක තනතුර තමාට වඩා දක්ෂ වූ මූසිලට ලබා නොදී නිසි වයසේ විශ්‍රාම නොගිය ගුත්තිල පඬිතුමාගේ කතාව අසා අවසන වීනාවේ තත් කඩමින් සක් දෙවියන්ගේ පිහිටෙන් ගුත්තිල පඬි ජය ලැබූ බව ඇසූ විගස සාදු කාර දෙන්නත් . . . .. තමාගේ දස්කම් පෙන්වූ මූසිල පොලව පලා යමලෝකයට ගිය බව ඇසූ විගස අනේ සාදු ඕකට ඔහොම වෙලා මදි කියා වෛරී සිතින් එයටත් සාදු කාර දෙන්නටත් අනුබල දෙන ආකාරයේ ජාතක කතා අඩංගු තොරණකට වඩා වෙනස් ආරක තොරණක් ඔබගේ සමාජ දැනීම පුලුල් කරනට ඉවහල් වනු ඇති බව මගේ හැඟීමයි.

සියළු දෙනාම ගිහින් බලන්න . . . !!

ලිෂාන් සොයුරාගේ ලිපියට මෙතනින් යන්න
අජිත් පැරකුම් මහතාගේ W3 ලිපියට මෙතනින් යන්න
මූනු පොතේ සබැඳියාවට මෙතනින් යන්න







12 comments:

  1. කාලයට ඔබින වෙනස් වැඩක්...

    ReplyDelete
  2. මේවගේ දේවල් තමයි වෙන්න ඕනෙ.හැමදාම ජාතක කතා අනුසාරයෙන් තොරණ් ඉදිවෙනවනෙ.ඒ නිසා මේක වෙනස් ආකාරයෙ අද්දෑකීමක් වෙයි.

    ReplyDelete
  3. 'ලියනවානම් ලියන්න බොහෝ දේ ඇත'. . අනේද කියන්නෙ, දුකා..

    ReplyDelete
  4. ඇත්තටම තොරණකින් කරන්නෙ බොධිසත්ව චරිතය ඇසුරෙන් නරඹන්නන්ට ධනාත්මක පණිවිඩයක් දීම සහ යම් හැදියාවක්, සංයමයක් ඔවුන්ගේ සිත් තුල ඇති කිරීම. පන්සිය පනස් ජාතක පොතම ලියවී ඇත්තේ ඒ පණිවිඩය විකාශය කිරීමට තමයි. හොඳට කල්පනා කරලා බැළුවොත් ඒ හැම ජාතක කතාවකම වගේ සමාජයේ පවතින යම් ප්‍රශ්නයක් සඳහා විසඳුමක්ද ප්‍රකාශ කරනවා. එද බුද්ධ කාලීන සමාජයට වඩා අද සමාජේ සංකීර්ණයි කියලා කියනවානේ. එහෙනම් දැන් කාලේ තියෙන ගැටළුත් ඒකාලෙට වඩා සංකීර්ණ ඇති.

    ඒ සංකීර්ණ ගැටළු ගැන කතා කරන්න, අළුත් විදිහට හිතලා මේ කරන වැඩේ අපි අගය කල යුතුයි. තොරණක් නම් බුද්ධ චරිතයම අලලා නිර්මාණය විය යුත්තක් යන්න සමාජය විසින් නොනිල මට්ටමෙන් පනවා තිබෙන සම්ප්‍රධායක්නේ. ඒ සම්ප්‍රධායට පිටින් සමාජය පෙළන ගැටළුවක් කෙරෙහි මිනිසුන්ගේ ඇස් ඇරවීමට මේ දරන ප්‍රයත්නය නම් හරිම අගෙයි...!

    ReplyDelete
  5. අවංකවම් හොඳ වැඩක් බොලන්..

    ටික කාලෙකට ඉස්සර පිටකොටුවේ බෝධිය පිටිපස්සෙ තොරනෙ රන හංස යුවල තියෙන පින්තූරයක් තිබුනා.. ඒක වැඩිහිටියන්ට් පමණයි කියල තිබුනෙත් නෑ. හැබැයි දවසකට දෙකකට පස්සෙ හංස යුවලට තන පරයක් ඇඳල තිබුන.

    ReplyDelete
  6. ගුත්තිල මූසිල කතාව ගැන දුකා කියල තියෙනදේ නම් සම්පූර්ණ ඇත්ත.මටත් ඔය ගුත්තිලගෙ ක්‍රියා කලාපය ගැන තියෙන්නෙ තදබල අප්‍රසාදයක්.

    අනික කාන්තා හිංසනය ගැන කියනවනම් වෙස්සන්තර රජ්ජුරුවො මද්‍රි දේවිය දන් දීමට අදිටන් කරගෙන කරන්නට සූදානම් උනේ කාන්තා හිංසනයක් නෙවෙයිද? කාන්තාවක් ( බිරිඳ වුනාය කියල ඇගේ අයිතිවාසිකම් නැතිවෙන්නෙ නැහැනෙ ) දන්දීමට සිතීම පවා ඇගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේද?

    ජාතක කථාකරුවාගේ අරමුණ වූයේ බෝසතුන්ගේ දාන පාරමිතාව වර්ණනා කිරීම විය හැකියි. එහෙත් ඒකෙත් සීමාවක් ඇතිබව අමතක නොකළ යුතුයි.

    ReplyDelete
  7. @ රවී

    වෙශ්ෂන්තර යප්පුආමි, එයාගේ තේවී. මන්තිරි තේවී තන් තුන්නා, යේක මන්තිරි තේවි තුක තමයි, යිතින් එයා යඬනවා, යේක ප්‍රෂ්න නෙමේ, යේත් මේ යකා යේකට මුක්කුට මෙතන යඬනවද...?

    ReplyDelete
  8. මම හිතුවා අනිවාර්යයෙන් ම උඹ මේකට මැදිහත් වෙයි කියලා ලියන්න තොරණ සම්බන්ධයෙන් උඹේ තියෙන යුතුකම කරන්න..!! ස්තූතියි ලොක්කා...!! ජය වේවා..!!

    ReplyDelete
  9. කාන්තා හිංසනය ශාරීරිකව මෙන්ම මානසිකවද සිදු වෙනවා. ඇත්තටම දුකා මේ ලිපිය පළ කිරීම ඉතා ඉහළින් අගය කරනවා...

    බිරිඳ: පැටියා... අපේ වෙඩින් ඇල්බම් එක මතක් කරන්නකෝ ෆොටෝග්‍රැෆර්ට...අනේ ඕක මම බාර ගත්තානම් මෙලහට කරලා..ඔයා කිසි උනන්දුවක් නෑනේ.
    සැමියා: කරන්නම් අනේ..වද නොදී ඉන්නකෝ..ඒ මනුස්සයට වැඩ නැතිවයැ..
    බිරිඳ: එහෙනම් මම කෝල් කරන්නද? මොකෝ පැටියා තරහා ගන්නේ..
    සැමියා:අනේ ඔයා බාර අරන් කරන ඒවා..මගෙන් අහගන්න එපා. වෙඩින් කේක් කෑල්ල දැක්කේ නැද්ද..
    බිරිඳ: ඇයි අනේ ඒක හොඳට තිබුණේ..හැමෝම කිවුවනේ හොඳයි කියලා..
    සැමියා: බම්බුව... අපි කියපු තැනින් කලානම් ඉවරනේ..
    බිරිඳ: ඉතින් ඇයි එතනින් කරන්නේ..අපි හැදැව්වේ හොඳම තැනකින්නේ..ඔයාලගේ නෑදෑයෝ කියලා එතනට දෙන්න ඕනේ නෑනේ.
    සැමියා: එතනින් කළා නම් ඔයිට වඩා රහයි. කොහෙද ඉතින්..
    බිරිඳ: ඉතින් පැටියා හැම වියදමම බෙදාගෙන කරනවා කියලා ඔයානේ වෙඩින් කේක් වලට සල්ලි නොදී හිටියේ..
    සැමියා: තමුසෙගේ කට වැඩියි. කට තලනවා දැනගනින්. තොට ඉන්න බැරිනම් පලයන් යන්න..තෝ නටනවා වැඩියි...
    බිරිඳ: හ්ම්ම්ම්.....

    ReplyDelete
  10. කාන්තා හිංසනය හැම අතින්ම අද සිද්ධ වෙනවා. ශාරීරික වගේම මානසික හිංසනයත් බොහෝ තැන්වල තියෙනවා. දරුවෙකුගේ ගැන වත් තීරණයක් ගන්න තම බිරිඳට දෙන්නෙ නැති සැමියන් බොහොමයි. හිතන්නෙ නෑ ඒ අයත් ලෙයින් මසින් හැදුන අය බව. වෙන එකක් තියා බොහොමයක් සැමියන් බිරිඳගෙ දෙමාපියන්ට වත් සළකනවට කැමතිනෑ. අනෙක් අතටත් විරුද්ධ පැත්තෙනුත් එහෙම වෙනවා කියල නොකියන්නත් බැහැ. ඒ උනාට මල්ලි කතා කරන මාතෘකාව නිසා ඒ පැත්තෙන් බලල තමයි මෙහෙම කියන්නෙ. සමහර වෙලාවට සැමියන් ඕනෙ තරම් විරුද්ධ පක්ෂයේ අය ආශ්‍රය කරනවා. නමුත් බිරිඳ කාත් එක්ක හරි කතා කලොත් එදාට වලි. ඒ අයගෙත් යහලුවන් ඉන්නවා කියල මේ අය දැන ගන්න ඕනේ. ඉතාම හොඳ මාතෘකාවක් තොරණින් පිලිබිඹු වෙන එකට සතුටුයි.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. පණිවිඩේ නම් වැදගත් එකක්, ඒක සමාජයට තදින්ම ගෙනියන්නත් ඕන එකක්. ඒත් ඒකට තොරණක් පාවිච්චි කරපු එකට නම් මම තදින්ම විරුද්ධයි. තොරණක් කියන්නෙ අවුරුද්දකට වතාවක් මිනිස්සුන්ගෙ හිත් වල බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරන්න, බුද්ධ චරිතය ගැන හෝ බෝසත් චරිතය ගැන පොඩි හරි දැනීමක් ඇති කරන්න කරන දෙයක්. එහෙම නැතුව ඒක තියෙන්නෙ සමාජීය පණිවිඩ ගෙනියන්න නෙමෙයි. ඒවට වෙන ඕන තරම් මාධ්‍ය තියනවා. ඔය විදියට කරනව නම් තව මොන තරම් දෙවල් ගැන තොරණ හැදෙන්න ඕනද?, විදිමත් ලිංගික අධ්‍යාපනය, කම්කරු අයිතීන්, ලංකාවට එරෙහි විදේශීය අත පෙවීම්, පොදු සම්පත් ආරක්ෂා කිරීම, මාර්ග නීති පිලිපැදීමේ වැදගත් කම, ඔය වගේ කොච්චර නම් සමාජයට ගෙනියන්න ඕන පනිවිඩ තියනවද? ඔය විදියට ඒ හැම එකටම තොරණ හදන්න ගියොත් කොහොම වෙයිද? තවත් ටික කාලෙකින් මැතිවරණ ප්‍රචාරක වැඩ වලටත් තොරණ පාවිච්චි කරාවි. අපි අමතක කරන්න හොඳ නෑ අපි සමරන්නෙ අපේ බුදුරජාණන් වහන්සේගෙ තෙමගුල කියන එක. අපි ඒ දේ අමතක කරල වෙන වෙන දේවල් එදාට සමරන්න ගියොත් වෙසක් දවසෙත් ගත යුත්තක් නැති වේවි. 365 දවසෙම ඔය කියපු මාතෘකාව ගැන අපි කතා කරනව නෙ. එහෙම කරල වෙසක් දවසෙ ඒක තොරණකත් දානව කියන්නෙ අනුමත කරන්න පුලුවන් දෙයක් විදියට නෙමෙයි මම නම් දකින්නෙ.

    අපි හිතන්න ඕන අනිත් කාරනේ තමයි මේ තොරණ කවුරු වෙනුවෙන් ඉදි කරපු එකක්ද කියන එක. මේ තොරණ ඉදි කරල තියෙන්නෙ CARE International කියන විදේශීය රාජ්‍ය නොවන සංවිධානය වෙනුවෙන්. ඒ කියන්නෙ නිර්මළ වූ බුදු දහම ගැන කිසිම දැනීමක් නැති, කිසිම හැඟීමක් නැති, බෞද්ධාගමික අගයන් හා බෞද්ධ සංස්කෘතිය ගැන කිසිදු තැකීමක් නැති සංවිධානයක් වෙනුවෙන් තමයි මේ තොරණ නිර්මාණය වෙන්නෙ. ඒ මිනිස්සුන්ගෙ එකම අරමුණ මොකක් හරි රැඩිකල් දෙයක් කරල තමන්ගෙ සංවිධානය මාර්කට් කරන එක. කොහොම හරි ඉතින් තමන්ට ඕන වුන දේ ඒ සංවිධානය කරගෙන තියනවා.

    අවසාන වශයෙන් ආයෙත් වතාවක් කියන්න තියෙන්නෙ පණිවිඩේ බොහොම වැදගත්, ඒත් එක පෙන්නපු විදිය වැරදියි කියන එක.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails