Tuesday, July 27, 2010

සාහිත්‍ය ලෝකයේ සියළු නොපනත්කම් ඉවසමින් සිට ඈ අවසන් ගමන ගියාය.



පහුගිය මාසයේ දින කීපයක් අසනීපෙන් උන්නු නිසාවෙන් ලැබුනු පොඩි විවේකයේ කලින් වතාවක් කියවා තිබූ පොතක් යලිත් වරක් කියවන්න සිතා පොතත් රැගෙන සයනයේ හරි බරි ගැසුනෙමි.

පොතේ නම “ගෝ දානය” නූතන ඉන්දීය ලේඛකයින් විසින් විශිෂ්ඨතම කතුවරයෙකු ලෙස සලකන ප්‍රේම් චාන්ද් විසින් රචිත, චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් පරිවර්ථිත ශ්‍රේෂ්ඨ නවකතාවක්. පොත පතට ආදරය කරන අපි බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳගත් පොතක් . ..

පොතේ කතෘ හා පරිවර්තිකාව පොත හරහා විවරණය කරන්න අදහස් කරන සමාජ කතිකාව කලින් වතාවේ කියවනවිට දැනුනාට වඩා විශාල ලෙස හදවතට වැදුනු බවක් දැනුනා වුවත් අද මගේ සටහනේ පරමාර්ථය පොත ගැන මට හැඟුනු දේ සටහන් කිරීම නොවේ . . . .

ඒ ගැන නුදුරු දිනෙක ලියා තබන්නම් කියා පොරොන්දු වෙන්නම්.

පොතේ පෙරවදන ලෙස එකතු කර තිබෙන සරත් විජේසූරිය මහතා විසින් දිවයින පුවත්පතට 2000-08-20 දින ලියූ ලිපිය කියවූ සැනින් එතනින් එහාට පොත කියවාගන්න තරම් ශක්තියක් නොමැතිව හදවත ගල්වූවා වැනි හැඟීමක්, එසේත් නොමැතිනම් මගේ දයාබර නැගෙනිය මා හැරදමා දුරු රටකට ගියදා දැනුනාක් බඳු ගිලින්නත් නොහැකි විසිකරන්නත් නොහැකි ගුලියක් වැනි යමක් උගුරේ සිරවුනාක් වැනි හැඟීමක් නිසාවෙන් දෙනෙතේ හා හදවතේ රැඳි කඳුලු බිඳු අතරින් ඇගේ මහඟු සත්කාරිය මගේ ජීවිතයට කෙසේ බැලපෑමක් කලාදැයි සිතන්න මා වෙහෙසුනා . . .

සෝමා ජයකොඩි, මර්ටින් වික්‍රමසිංහ, ජී බී සේනානායක, ජයකොඩි සෙනෙවිරත්නයන් ආදීන්ගේ පොත් තුලින් මානව දයාවේ වටිනා කම හා එහි ගැඹුර උගත් ලෙසින්, කරුණාසේන ජයලත් මහතාගේ පොත් තුලින් සොයුරියන්ට, මිතුරු මිතුරියන්ට ගහකොලට මුලු විශ්වයටම ආදරය කරන්න ඉගෙන ගත් ලෙස, ජයසේන ජයකොඩි මහතාගේ පොත් තුලින් ජීවිතයේ ඕනෑම කඩාවැටීමක් උපේක්ෂාවෙන් දරාගැනීමට හුරුවූවාක් මෙන් සුනේත්‍රා රාජකරුණාය්නායකගේ පූර්වජන්ම අපූර්වය පොත තුලුන් ක්‍රෝධය ඉවතලන හැටි ඉගෙන ගත්තාක් මෙන් වෙනසක් නොමැත ඇගේ අපූ ත්‍රිත්වය, ගෝ දානය හා අරණකට පෙම්බැඳ තුලින් ලද දෙයින් තුටුවන අකාරය, ජීවිතයේ සතුට ලබන ආකාරය, සොබාදහමට ආදරය කරනා ආකාරය ආදී ලෙසින් කොටින්ම ජීවිතය විඳිනා අයුරු ඉගෙන ගතිමි.

ඉදින් මා අද දින මගේ දිවියේ මේ අත්විඳින සැහැල්ලුව සතුට වෙනුවෙන් මා සදා ණයගැති අය අතර ඈත් මූලිකම ස්ථානයක හිඳින නිසාවෙන් මීට දසවසකට පෙර අප අතරින් වියෝවූ නමුත් ඇගේ මියගිය ආත්මයට ශාන්තියක් උදාවේවායි හදවතේ ගැඹුරුම තැනින් කල ප්‍රාර්ථනාවෙන් පසු මා ගෝදානය පොතේ පිටු පෙරලන්නට වීමි.

ලිපිය දිගු වුවත් ඇගේ පොත් හරහා ජීවිතයේ සතුට ලද අය විසින් කියවාවි යයි උපකල්පනයෙන් තවදුරටත් ඈට උපහාරයක් ලෙස ගෝදානය පොතේ මුලට හැඳින්වීම ලෙස එකතුකොට තිබූ සරත් විජේසූරිය මහතා විසින් 2000-08-20 දින දිවයින පුවත්පතට සැපයූ ලිපිය ස්කෑන් කර මේ ලිපියේ අගට ඇමිනීමට මා අදහස් කලෙමි.







Sunday, July 18, 2010

අඬන්න අමතකව වියළුනු ඇස් වලට කඳුලක සිසිලසක් ලබාදෙන තක්සලාව . .. !



අබුඩාබි වල Head Office එකට මේ මාසේ පළවෙනිදා ඉඳලා මාරු කරපු දවසේ ඉඳන් කලින් සයිට් ඔෆිස් එකේ වගේ වැඩක් කරන අතරේ බ්‍රේක් එකේ බ්ලොග් කියවන්න , බ්ලොග් ලියන්න හා ෆේස් බුක් බලන්න නෙමෙයි හුස්ම ගන්නත් බැරි තරම් වැඩ ගොඩක් භාර දුන්නා. . .

සමහර වෙලාවට එක දිගට වැඩ කරලා කරලා ස්ට්‍රෙස් එක නිසා පපුවත් එක්ක රිදෙනවා වගේ වුනාම තමයි ලොකුවට හුස්ම ගන්නත් මතක් වෙන්නේ . . .

කොයි තරම් වැඩ වැඩිද කියනවනම් ඊයේ නිවාඩු දවසේත් ඔෆිස් ගිහින් වැඩ කරන්න වුනා මොකද එහෙම නොකලා නම් ටාගට් ඩේට් එකට වැඩේ ගොඩ දාන්න බැරි වෙනවා වගේ හිතුනු නිසා.

අහම්බෙන් හරි රෑ මගේ පොඩි සොඳුරු ත්‍රස්තවාදියා මට කලින් නින්දට ගියොත් බ්ලොග් කියවන එක කරන නමුත් ඉස්සර වගේ බ්ලොග් පෝස්ට් නොලියන එක ගැනයි අනිත් අය ලියපු දේවල් වලට මගේ අදහස් දක්වන්න නොලැබෙන එක ගැනයි මගේ බ්ලොග් සහෘදයෝ මට සමාව දේවීකියලා මම විස්වාස කරනවා . ..

ලියන්න ජාති නම් එමට තිබුනත් අද මේ කොල්ලට TV එකේ ටොම් ඇන්ඩ් ජෙරී දාලා දීලා රවට්ටලා කොම්පූටරේ ලඟ මම පොඩි වෙලාවකට ඉඳ ගත්තේ අද නම් පොඩි හරි පෝස්ට් එකක් ලියන්න ඕනි කියලා හිතාගෙන .

හරි එහෙනම් අපි කතාවට බහිමු.

. . .. . .. . . .. .. . . .. .. .


මගේ මිතුරු රුවන්ගේ මඟපෙන්වීමෙන් අපි දැන් කාලෙක ඉඳන් අන්තර්ජාලය හරහා ලංකාවේ පෙන්වන ටෙලි නාට්‍ය බලනවා.

හැබැයි අපි ඉතිං ෆිල්ටර් කරලා කරලා අපේ සෙන්සර් එකට අහුවෙන හොඳම කියලා හිතෙන ඒවා තමයි බලන්නේ.

කාලෙක ඉඳන් මේ පහත සඳහන් හොඳයි කියලා මට /අපිට හිතුනු (දැනට මතකයේ තිබෙන) ටෙලි නාට්‍ය බලලා තියෙන නිසා මම හිතන්නේ හොඳ ටෙලි නාට්‍යක් අඳුනා ගන්න ඉවක් අපිට ලැබිලා තියෙනවා.

1. තාරාදේවී
2. පලිඟු මැනිකේ
3. දඬුබස්නාමානය
4. වෙද හාමිනේ
5. ඉඳිකඩ අසන
6. ඇල්ල ලඟ වලව්ව
7. දුන්හිඳ අද්දර
8. ඉමදිය මංකඩ
9. කඩවර
10. ගජමන් නෝනා
11. ඉරට හඬන මල්
12. යශෝරාවය
13. රන් මසු උයන
14. දිය සුළිය
15. අග පිපි මල්
16. නිසල විල
17. සංක්‍රාන්ති සමය
18. නන්නාදුනන්නී
19. බැද්දේ ගෙදර
20. ඉසුරු යෝගය
21. ගංගා සහ නිස්සංක
22. චක බ්ලාස් - ඉඳි ආප්ප කතාව
මේ මතකයේ තියෙන කීපයක් පමනයි.

කොහොමින් හරි අද මම දෙන්න යන්නේ මේ වගේම හොඳ තත්වයේ තියෙන ටෙලි නාට්‍යක් ගැන ඔත්තුවක්.

වීදුරු බඩු වගේ පරිස්සමින් රැකිය යුතු මානුසික සබඳකම් වල වටිනාකම ගැන අපූරුවට කියා දෙන ගමන් සෙනෙහස හා මානව දයාව බර හදවතට දනවමින් අඬන්න අමතක වුනු ඇස් වලට කඳුලක උනුහුමත් අරන් එන මේ අපූරු නාට්‍යයේ නම තක්සලාව.

හිමාලි සයුරංගී ප්‍රධාන චරිතයත් සෙසු චරිත ජගත් මනුවර්ණ, චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, ගිරිරාජ් කෞශල්‍ය ආදීන් රඟපාන මේ සංවේදී කතාව අඩංගු නාට්‍යයේ අධ්‍යක්ශක ආන්නද අබේනායක මහතායි.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාෂනය වෙමින් තිබුනු මේ නාට්‍යය ගිය සෙනසුරාදායින් අවසන් වුනා.



මේ අඩවියෙන් (මෙන්න මෙතනින් ගිහින් බලන්න) සම්පූර්ණ ටෙලි නාට්‍යයම මුල සිට එක දිගට නැරඹිය හැකියි. කාලවේලාව සකස් කරගෙන නැරඹුවාට පාඩු නොවන ටෙලියක් වූ මෙය නරඹන්න නොහැකි වූ අය වෙත් නම් නරඹා ඔබට සිතුනු / සිතෙන දේ ගැන සටහනකුත් තබන්න ඇහැකි නම් අගෙයි . . .

Saturday, July 10, 2010

දඬුවම් ලද යුතු යෞවනය හා බැඳුනු මිල්ටන් . .. !



යෞවන වයසේ මානව මානවිකාවන්ට ආදර හැඟීම පහල වීම අරුමයක්ද . . .
තරුණ වියේදී පමනක් නොව මැදි වයසේදී පවා ආදර හැඟීම නූපදින හදවත් ඇත්තෝ විරල වන කලෙක යෞවන හදවත් වල උපදින ආදරය ආශ්චර්‍‍යක් ලෙස සලකුනු වෙනුවට එය මහා අපරාදයක් ලෙස සලකා දඬුවම් කිරීම අපරාධයක් ලෙස මට හැඟේ . .. .

යෞවන වයසේදී ආදරය කිරීම දඬුවම් ලද යුතු වරදක් නම් එසේ නම් මානව මානවිකාවන්ට දඬුවම් කරනු වෙනුවට යෞවනයට දඬුවම් නොකරන්නේ මන්දැයි නන්දා මාලනී "මේ සිර මැදුරෙන් . . පැන යන්නට ඇත්නම් . .. !!" ගීතය හරහා අපෙන් අසන්න්ට සිදුව ඇත්තේ සුනිල් ආරියරත්නයන්ද යෞවන වියේ ප්‍රේමය අපරාධයක් ලෙස නො සලකන නිසා නොවේදැයි මට සිතේ . ..

මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්

මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්
පවුරු වළල්ලෙන් එහා රටේ
අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින් . . .
ම -ල් - පි - පේ - වි- ආ - ද - රේ - න - මි- න් . .

ගැරහුම් අසමින් හද ගිනි දළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි . . .
විස කටු පඳුරුය අප යන එන මඟ
ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන්

ඇසට උරුම ඇස උණන කඳුල පමන්යි
හදට උරුම හද දවන සුසුම පමනයි
මුලු ලොව සතුරුය අද අපි අබියස
ප්‍රේමයට ඇයි මේ විසකුරු සරදම්

යොවුන් වියේ ආදරය දෙස වැඩිහිටියන් තමන්ගේ තරුණ විය අමතක කොට හනමිටි ඔලුවේ තබා ගත් කෝණයකින් නොබලා ඒ ඉපදුනු සෙනෙහස පිරුනු හදින් ඉගෙනීම හා අනාගත දියුණුව ගැන සලකන අයුරු පිලිබඳව උපදෙස් දී ආදරයත් ඉගෙනීමත් සමාන්තරව කරගෙන යාම සඳහා අනුබල හා මඟපෙන්වීම දිය යුතුයි කියන දේ තමයි මගේ පුද්ගලික මතය නම් . ..

. . .. . .. . .. . .. . .. . . ... . . .. . .. . .. . .

පදම් කර ගත් තල්ගොබයක් ලී දෙකක් මැදට දමා මැද ඒ මත පන්හිඳකින් අකුරු කොට කළු මැද ඊතලයක අමුලා එල්ලය බලා විදීමෙන් හෝ එසේ ලියා ගත් තල්පත හීලෑ කර ගත් ගිරවෙකුගේ හෝ සැලළිහිනියෙකුගේ පාදයේ ගැට ගසා ඌ ලව්වා අදාල තැනැත්තා අතට පත් කිරීම ආදී අතීතයේ වූ සන්නිවේදන ක්‍රම පසුකර විත් අද දවසේ ජංගම දුරකතනයේ තිරය දෙස බලාගෙන සජීවී සංවාද පැවැත්විය හැකි තරම් දියුණු වූ නමුත් අපේ යෞවන වයසේදී ප්‍රේම සම්බන්ධතා අතර අන්තර් සන්නිවේදන මාධ්‍ය වූයේ ලිපි පමනි.

කොලයේ අග රෝසමල්, සමනළුන් ප්‍රින්ට් කර තිබූ ලිපි කොලවල ලියා ලිපියේ උඩින්ම ගීතයක කොටසකුත් එකතු කොට අක්කගේ "ග්‍රීන් ග්‍රාස්" සුවඳ විලවුන් බෝතලය හොරෙන් අරගෙන දෙතුන් තැනකට හලා ලස්සනට නවා අතින් හැදූ කවරයක බහා ටියුෂන් සර්ලා බෝඩ් එකේ ගණන් ලියන අතරතුර හොරෙන් පාස් කල ලිපියක සුන්දරත්වය අද දවසේ ඊමේල් මඟින් ආදර හසුන් යවන නැතිනම් දුරකථනයෙන් එස්. එම් එස්. මඟින් පෙම් පණිවිඩ යවන යෞවන පෙම්වතුන්ට ලබා ගත නොහැකි බව නම් මට ඉඳුරා පැවසිය හැකියි . ..

එවන් වූ අපගේ දඬුවම් ලද යුතු යෞවනයේ ලිපි වලට නැතුවම බැරි වූ ගීත කොටස් බොහෝ විට මිල්ටන්ගේ ගීත බැව් එසේ ලිපි ලියූ අය හා කියවූ අය ම හැර වෙන කවුරු නම් දනීද . . . !!

. . . . . . . . .. . . . . . . . . . . . . . . . . . .

හප්පා . . මෙයාගේ තියෙන ගෑස් . .
මෙහෙමද අලුතෙන් ගමකට ආවහම . . .
හැමෝම එක්ක පොඩ්ඩක් හිනා වෙලා ඉන්න එපැයි . . .
අනික නිකං දැන් ගමේ කමට වත් පොඩ්ඩක් හිනා වුනා නම් මොකෝ . ..
කතා කරන්න ආස වුනත් කස්ටිය ඉස්සරහා ඇඟට කඩන් පැන්නොත් නෝන්ඩි හොඳම එක . ..

අප එක පෙදෙසක

අප එක පෙදෙසක නිවසන්නේ
නැතුවද ඔබ මා හඳුනන්නේ
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

ඔබ යන පසු පස පිය මැන ඇත්තෙමි
ඔබට නොම දැනී
ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙමි
ඔබට නොම දැනී
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

ඔබ අමතන්නට සිතුවද විටකදී
එයට සිත නොදේ
මොහොතින් මොහොතට මගෙ සිතුවිලි පෙළ
ඔබ වටා ඇදේ
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

. . . .. . . .. . .. . .

විනාඩි දහයක් වත් මම පේන්න නොහිටියොත් ස්කෝලේ පුරාම මාව හොය හොය ඇවිදින කෙනා අද මට හොයා ගන්නවත් බැරි තරම් දුරක නොකියාම ගිහින් නො එන්නම . . . . මතකය විතරක් මගේ ලඟ . . . ! ඇයි මතකය විතරක් වේදනාව . . ???

කඳු පාර ඈත අයිනේ

කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

යාලුවී දෙවටේ එදා කී කතා අසා
පාලුවී හැඬුවා සදා මාරුතේ පවා

ගං ඉමේ මාදං කැලේ පාසැලේ පුරා
මා සොයා ආවා වගේ වෙන්වෙලා ගියා

. . .. . .

"උසස් පෙළ සමයේ ප්‍රේමය ගැන ලියවුනු ගීයක් මම ඊලඟට ගයන්නේ . . . පෙම්වතිය උසස් පෙළ සමත් වෙලා සරසවි වරම් ලැබ එහි ගොසින් . . පෙම්වතා ඇය ගැන විස්සෝපයෙන් . . ."
අමරසිරි පීරිස් මහතා ඩුබායිහි තිබූ සංගීත සැඳේවේදී එසේ පවසන විට මට එක්වරම මතකයට ආවේ සුපුන් සුදාරක මළයා විචාරයක් ලියපු "හන්තානට පායන සඳ" ගීතය . . . මෙයත් එවන්ම වූ සිදුවීමක් නොවේද

දෙනෝ දහක් ගැවසෙන

දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාලුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ
එකම පංතියේ එක ලඟ ඉඳගෙන
පාසැල් ගිය හැටි සිතට නැගේ

ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ
සිල්ප සතර රැඳුනේ නැහැ මා සිත
ඒ හින්දයි අප දුරස් වුනේ

. . . . . .

යොවුන් වියේ ප්‍රේමය කොයි තරම් සොඳුරුද . . කොයි තරම් බොලඳද . . . හැබෑ ලෝකයේදී හීනෙකින් වත් සිදු කල නොහැකි දේවල් යොවුන් පෙම් ලොවේදී ඉතාම සුලු දේවල් . . ..

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ

මල් ගෙනත් තබා දෝතින් පිලි ගන්නයි
කල් බලා හිඳින්නේ ඔබ පිලි ගන්නයි
කල්පයක් තරම් නිදහස රැක ගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

වැහි වලාකුලෙන් පැල්පත සාදන්නයි
කවුලුවක් ලෙසින් තබන්නේ දේදුන්නයි
සුපුරුදු ලෙස යලි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එනන්යි

. . . .. .

එයා අදරය කරන්නේ මටද . .. නැති නම් ඔහුටද . . . ? ඔහුගේ හද රිදවලා ඈ මා සතු කරගන්නවාද . . . ? ඒත් කිසිවෙකුට රිදවන්න හිත හදාගන්න නොහැකි මම මමම හිත රිදවාගෙන ඒ දෙදෙනාට සුභ පතා අයින් වෙනවාද . . ?

මට මෙන් ඔහුටද කඳුල ඔබයි

මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක් වෙයි
ආදර ගඟුලක් පෙරට ඇදෙයි
කාටද ඔබේ අත හිමිවන්නේ
මා වාගේම ඔහු විමසන්නේ

කිසිවකු රිදවා හිනැහෙනු බැහැ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමී
ඔබටද ඔහුටද සුභ පතමී
ඔබටද ඔහුටද සුභ පතමී

. . .. .

මැයි මල් වැටිලා රතු පාවඩයක් එලළා වගේ තිබුනු මේ පාර දිගේ අපි එදා අත්වැල් පටලන් පිය නැගුවේ කොයි තරම් සතුටෙන්ද . . . ඒත් ඒ පාරෙම අද මට තනියෙම පියනගන්න සිදුවීම තරම් දරාගත නොහැකි වෙන යමක් ඇතැයි ඔබට නොසිතේද . .. ?

මේ මැයි ගහ යට

මේ මැයි ගහ යට දවසක්දා
මතකද අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපී පිපී
අපිට සෙවන දුන්නා

මැයි මාසේ එක සැන්ඳෑ වරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ
ආදර වියෝවත් සිතින් එබෙන සඳ
වැහි පොද සේ නෙත කඳුලු සැලේ

වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමනයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ

. . . . . .. . . . .. . .

පාසැල් යන අතරමඟ දී දකින දෙමහල් නිවසේ සඳළුතලයේ සිට සිනා මල් එවන ඇය කවුද . . . ඒ සිනාව ඔස්සේ ඈ පවසන කතාව මට වැටහුනාද . . . ඈ එසේ සිනා සෙන්නේ මට විතරක්මද . . .. මිතුරන් පවසන දේවල් විස්වාසෙට ගන්නවාද . . .මට කිසිවක් පැහැදිලිව සිතා ගත නොහැකි ඇයි මේ . ..

සිටු කුමාරියේ ඔබේ සිනා

සිටු කුමාරියේ ඔබේ සිනා සඳළුතලාවේ
මගේ හැඟුම් හොරෙන් බමාලා
මට ගෙනා කතාවේ උන් කියූ කතාවේ
මගේ හැඟුම් බිඟුම් කියූ රහස් මේ

පෙරදාක වෙන කවුද ලං වූ වගයි
ඔබ ඉන් මුලා වූ වගයි
මධු යාමයේ ගීත සෝ ගී වුනැයි
ඔබගේම දෙනුවන් කියයි

හමුවීම වෙන්වීම ඔබගේ ලොවේ
එක දාක අරුමේ නොවේ
හැමදාම ඔබ ඒ වගේ නම් අනේ
ඔය මල් හිනා නෑ අගේ

. . . . .. . . . ..

මේ කෙල්ල අදත් එන්නේ නෑ වගේ . . . එයාමයි කිව්වේ මෙතන මේ බීච් එක ලඟදී මුනගහෙමු කියලා . . ඒත් අද එයා නාවේ ඇයි . . ෂිහ් දැන් ඉතිං ලබන සෙනසුරාදා වෙනකම් හිටපන්කෝ කල්පයක් විතර ඉවසගෙන . .. !!!

මගේ පුන්චි කුමාරී

මගේ පුන්චි කුමාරී
පමා ඇයිද සැඳෑවේ
ආල හැඟුම් මෝරන යාමේ පාලුවේ
ආල හැඟුම් මෝරන යාමේ

ක්ෂිතිජ ඉමේ තනිවෙලා
හිරු අවරට යයි ගලා
තව මොහොතින් අඳුර ගලාවී
ආදර සිත් ආදරයෙන් එක්ව බැඳෙන යාමේ
මා තනිවී සිහින මවාවී

රැය එලිවී දින සතෙකින් යලි ශනිදා ඒවී
කල්ප සතක් මට දැනුනාවේ
කල්ප ගෙවී දින සතෙකින් යලි ශනිදා ඒවී
ඔබ නොලසා ඉන්න දයාවී

. . . . .

"දුකා මාර සීන් එකක් වුනා බන් අද ඉස්කෝලෙදී"
"අහ් ඉරේෂි අද ඕ ලෙවෙල් අන්තිම දවස නේද කොහොමද එග්සෑම් හොඳට කලාද?"
"හිටපන්කෝ පනින්නේ නැතුව . . ඔව් ඔව් හොඳට කලා තව එකක් අපේ ඉස්කෝලෙට ප්‍රයිවෙට් එග්සෑම් කරන අය ලොකු සෙට් එකක් ඇවිත් හිටියා"
"ඉතිං"
"ඒ අය අතරේ හිටියා හරි ලස්සන කොල්ලෙක් බන් ඌ පලවෙනි දවසේ ඉඳන් මට මාර ලයින් . . කොහෙද අපේ කෙල්ලොන්ගෙන් බේරිලා කතා කරන්නේ වත් . . ."
"අයියෝ එඩ්‍රස් එක වත් දුන්නේ නැද්ද බන්"
"මොන එඩ්‍රස් ද බන් දෙන්නම බල බල ඇහෙන් කතා කර කර හිටියා විතරයි . . අද අන්තිම දවසනේ එයාලගේ කට්ටිය එකතු වෙලා සින්දු කිව්වා . .. "
"උඹලත් එකතු වුනාද එයාලා එක්ක "
"ඔව් අනේ එයා මේ සින්දුව මාර ලස්සනට කිව්වා හොරෙන් හොරෙන් මගේ දිහා බල බල . .. "
"පව් අප්පා . ."

සුලඟේ පාවී

සුලඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්

පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ

ගී පොතේහී මා ලියූ සෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම් ප්‍රියේ

. . . .. . .. .. .. . .

අහිංසක හදවත් දෙකක ඉපදුනු ආදරයක් දෙස දයාවෙන් බැලිය නොහැකි ලෝකයක අප ඉපදුනේ ඇයි . ..
ආදරය කුළ මල දේපල වස්තුව උස් පහත් කම් කිසි දෙයක් නොසලකන බව මේ වැඩිහිටියෝ එයාලගේ තරුණ කාලේදී වත් හිතලා නැද්ද . . .
මේ වගේ කුරිරු මෝඩ සමාජෙක නැතුව ආදරයට අදරයෙන් ආදරය කරන ලස්සන සමාජෙක නැවත් අපි දෙන්නත් ඉපදී එහිදී යලි හමුවෙන්නත් අපි ප්‍රාර්ථනා කරගෙන වෙන්වීම හර අපිට වෙන විකල්පයක් ඇද්ද . . . ?

ඔබයි මමයි මැවූ සිහින

ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක අප සමු ගන්නයි

සුනිල පළිඟු දියෙන් සපිරි පොකුන මා තමයි
රුවද සුවඳ එකම පරිදි රැගත් මල ඔබයි
ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක අප සමු ගන්නයි

අපට නොමැත නීති රීති සෙනෙහස පමනී
තවත් ලොවක එවන් දිනෙක ඔබෙ අත පතමී
ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක යලි හමුවෙන්නයි

Saturday, July 3, 2010

සමුගැන්මක් නොවූ කඳුලින් සමුදුන් තවත් සමුගැනීමක් !



ජීවිතය නම් දිගු ගමනක්මැය
නොනැවතී ඉදිරියටම යා යුතු
කටු කොහුලින් සැදි ගිරි දුර්ග මාවත්ද
මල් පාවඩ අතුල මංමාවත් දිගද
පා නගා යා යුතු නොනැවතී ඉදිරියට . . . .

රුදුරු මිගිඳුන්, කපටි කැනහිලුන්
ගහන ඝන වනාන්තර ද පසු කරමින්
බියෙන් සැකෙන් සීරුමාරුවෙන් පා තැබිය යුතු
සියොත් පෙම් ගී නින්නාද දෙන
මල් උයන් මතින්ද සිනා නඟමින්
තුටින් ගී ගයමින් විඩා නිවමින්
නොනැවතී පා නැගිය යුතු ඉදිරියටම . . . .

තෙරක් නොපෙනෙන මිරිඟු දිය රැලි නඟන
දිය බිඳක් නොමැති කතරවල් හරහාද
රස බොජුන් සමඟින් සිහිල් දිය පිරි
සොඳුරු හිතැත්තන් මියුරු තෙපුලැත්තන්
සපිරුනු නවාතැන් පොලවල්ද
දමා යා නොහැකියි සිත කෑ ගසා හඬන
දිවිය එකළු කල සොඳුරු හිතැත්තන්
ඇතැර යා නොහැකිව කඳුලු සලමින් වුව
අතැර නොනැවතී ඉදිරියට ම යා යුතු
ජීවිතය නම් දිගු ගමනක්මැය . . .. .

දයාබර අනුරාධ අයියා ඔබත් එවැනි සොඳුරු හිතැත්තෙක්
මේ දිගු ජීවන ගමනේ එක් සොඳුරු නවාතැන් පලක හමුවූ
දමා යා නොහැකිව සිත කෑ ගසා ගඬන
අතැර ය නොහැකිව ළතැවුලෙන් තැවෙන
නමුදු අකමත්තෙන් වුවත් සමු දිය යුතු
කිමද ජීවිතය නම් දිගු ගමනක්මැය
නොනැවතී ඉදිරියට යා යුතු . . .

අසාධාරණය දුටු තැන කෝප වෙන
කෝප වූ සැනින් තරාතිරම නොබලා බැන වදින
එසැනින් අප අසලට විත් තරහා නිවාගෙන
පුංචි දරුවෙක් මෙන් සිනා නඟන
හතුරෙක් වුව උදවු ඉල්ලූ සැනින්
ඔබේ වැඩ පසුවට තබා කැපවීමෙන් ඉටුකර දෙන
ඔබෙන් උගත් දේ බොහෝයි සැක නැත ඒ ගැන

දයාබර අරුණ අයියා අප අතැර ගියාක් මෙන්
කැන්ගරු දේසෙට පියඹන්න අපෙන් සමුගන්න නුඹට
ගතින් දුරක යනවා උනත්, සිතෙන් බෝ ලඟම ඉන්නා නිසාවෙන්
සමුදුන්නෙමි සෙහෙහසින් නමුදු කඳුලු පිරුනු හදවතින් . . .

ජීවිතය නම් දිගු ගමනක්මැය
නොනැවතී ඉදිරියටම යා යුතු . . . .. !!!

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails