UAE Sri Lankans Events

Monday, March 29, 2010

Sperm Test එකක් කලොත් නරකද?



සම්බාධක වලට පොල්ල දානව කියලා කියනවා. 70දශකය ගැන දන්න කියන අය දන්නවා හාල් පොල්ල මිරිස් පොල්ල ගැන.

අපේ ගෙවල් වලත් එදා ඉඳන් අද වෙනකම් තියෙන පොල්ලක් තියෙනවා. ඒ තමයි "ලිංගික පොල්ල" සමහර ගෙවල් වල වැඩිහිටියෝ ලිංගික කියන වචනේ ඇහෙනකොටත් වෙව්ලනවා. මතකයිනේ අර මඩොල් දූව පොතේ ඉස්කෝල මහත්තයාගේ ළමයි තුන්වෙනි සිල්පදේ (කාමයේ වරදවා හැසිරීමෙන් වලකිමි)කියන එකේ තේරුම අහනකොට ඉස්කෝලේ මහත්තයා මගාරින හැටි .

අපේ අක්කගේ ළමයි තුන්දෙනෙක් දැං ලොකුයි. නංගිගේ ලමයි තාම පොඩී. මගේ එකාත් තාම හරියට කතා කරන්නෙත් නෑ . . අපි අක්කගේ පොඩි උන්ට නම් පුංචිම කාලේ ඉඳන් ලොකු වෙන ලොකු වෙන විදිහට ලිංගිකත්වය ගැන හොඳ වැටහීමක් ලබා දුන්නා. අපි විස්වාසම කරන දේ තමයි ලමයින්ව නරක දේවල් වලින් බේරා ගන්න තියෙන හොඳම දේ හොඳ ලිංගික අධ්‍යාපනයක් ලබා දීම කියන එක.

මේ කතාව ටික දවසකට කලින් මමයි අපේ ගෙදර උන්දැයි වෙන මොකද්දෝ කතාවක් මතක් කරන්න හදද්දී අහම්බෙන් මතකෙට ආපු පරන කතාවක් . . .

ඒත් ලිංගිකත්වය කියන දේ පොඩ්ඩක් ගෑවිලා තියෙන නිසා ලියම්දෝ නොලියම්දෝ කියලා හිත හිතා ඉඳලා අන්තිමේදී හිත හදා ගත්තා ලියනවයි කියලා මොකද කොහොම කිව්වත් මම ඔය ලිංගික පොල්ල සමාජයෙන් ඉවත් කලයුතුයි කියලා හිතන කෙනෙක්නේ.

අනික මේ බ්ලොග් කියවන්නේ මෙලෝ දෙයක් නොතේරෙන පොඩිම අය නෙමෙයි නේ . . ඔය ලිංගිකත්වයට අදාල දේවල් ඒ අය වුනත් දැන ගන්න එක නරකක් වෙන එකක් නෑ කියලයි මගේ හැඟීම.

තව දෙයක් මේ ලිංගිකත්වය කියන දේ තවදුරටත් ටැබූ සබ්ජෙක්ට් එකක් කර ගන්න එකෙන් වෙන්නේ ලොකූ අගතියක් කියලා මේ දිනවල වෙලාව ලැබෙන ලැබෙන විදිහට කියවන නන්දසේන රත්නපාල මහතා ලියපු පර්යේෂන ග්‍රන්ථයක් වුනු "ශ්‍රී ලංකාවේ ගණිකාවෝ" පොත කියවද්දීත් මට හිතුනා.

හරි වැල් වටාරම් ඕන නෑ . . මෙන්න කතාව

එක කපල් එකකට විවාහ වෙලා කාලයක් යනකනුත් දරු සුරතල් බලන්න ලැබිලා නෑ.

සමහර අය නම් උවමනාවෙන් කල් දානවනේ ෆැමිලි ප්ලෑනින්ග් නිසා. ඒත් මේ අය එහෙම නොකරම ප්‍රමාද වෙලා. දන්නවනේ බැදපු ජෝඩුවකට ළමයි හදන්න ප්‍රමාද උනාම අපේ සමාජයේ අයට තියෙන අමාරුව. . .

"ඔයාලා බැඳලා දැන් ගොඩක් කල් නේද . . හ්හ්ම්ම්ම් . .."

"ඩොක්ට කෙනෙක් හම්බෙන්න ගියේ නැද්ද . . ?"

"අර අහවල් දේවාලේ කපුවා නම් ඕවට උදව් කරනවාලු . . . අරයා ත් ඒ කපුවා ගාවට ගියට පස්සේ එයාට නිවුන්නු හම්බුනා අනේ . . ."

"මහත්තයාව පොඩ්ඩක් බැලෙව්වා නම් හරි අනේ . . "

"උඹේ නෝනව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන් . ."

ඔය වගේ කතා අම්බානකට . . එක විකාරයයි . .

මේ ජෝඩුවටත් කවුරු හරි යෝජනා කරලා ඩොක්ටර් කෙනෙක් ව මීට් වෙන්න කියලා. දෙන්නම ඉතිං ගිහින් . . . . ඩොක්ටත් කතා බහ කර කර ඉඳලා විස්තර අහලා කිව්වලු . . "අපි මුලින්ම Sperm Test එකක් කරමු. ඒකේ රිසල්ට් බලලා ඊට පස්සේ අනිත් කරන්න ඕන ඒවා ගැන කතා කරමු" කියලා

ජෝඩුවත් ඕ කේ ඩොක්ටර්" කියලා කැමැත්ත පල කලාලු.

"මේ චිට් එක ලැබ් එකට දෙන්න කිව්වලු"

පස්සේ ලැබ් එක්ට චිට් එක දුන්නාම එතන ඉන්න කෙනා හිස් ජෑම් බෝතලයක් දීලා කිව්වලු මේකට දාලා ගෙනත් දෙන්න කියලා . . .

මේ මනුස්සා ඒක ඒ වෙලාවේ භාර නොදී ගෙදර අරන් ඇවිත් . .

පහුවදා උදේ මේ ජෝඩුවේ පිරිමි කෙනා විතරක් ඩොක්ට හම්බුවෙන්න ගිහින් . . මේ පහල තියෙන්නේ එතනදී වුනු දෙබස . .

"ඩොක්ටර් . . මම ගෙදර අපේ කාමරේට ගිහින් දොර වහගෙන ඉස්සෙල්ලාම වම් අතින් ට්‍රයි කලා . . බැරි වුනා . . පස්සේ දකුනු අතින් ට්‍රයි කලා බැරි උනා . .. "

ඩොක්ටර් මේ මනුස්සයා දිහා බලාගෙනම ඉන්නවලු . .

"පස්සේ වයිෆ් ට කතා කරා. . එයත් ඇවිත් වම් අතින් ට්‍රයි කලා . . . බැරි උනා දකුනු අතිනුත් ට්‍රයි කලා . . බැරි උනා . . පස්සේ එයා කකුල් දෙක මැද්දේ හිර කරගෙන ට්‍රයි කලා ඒත් බැරි උනා . .. "

ඩොක්ටර් ඇස් දෙක පුංචි කරලා බැලුවලු මේ පොර දිහා ..

"ඔය අතරේ අපිට ඇහුනා දෝරේ බෙල් එක ගහන සද්දේ . . බැලින්නම් එහා ගෙදර චම්පා . . . අපිට එයාගේ මහත්තයා තමයි කිව්වේ ඩොක්ටර්ව මීට් වෙන්න කියලා . . ඉතිං එයා විස්තරේ දන්න නිසා අපි ඉතුරු ටිකත් කිව්ව . . . අපි දෙන්නම ට්‍රයි කරලා බැරි උනා කිව්වම එයා උදව් කරන්නම් කිව්වා. . . "

"මොකක් . . ඔහේගේ මොලේ හොඳ නැද්ද . . " ඩොක්ටර්ගේ කටින් එක පාරටම කියවුනා .

"චම්පත් වම් අතින් ට්‍රයි කලා . . . බැරි උනා දකුනු අතිනුත් ට්‍රයි කලා . . ඒත් බැරි උනා . . පස්සේ එයාත් කකුල් දෙක මැද්දේ හිර කරගෙන ට්‍රයි කලා ඒත් බැරි උනා . . . අන්තිමේදී එයා කටින් ට්‍රයි කලා . . ඒත් බැරි උනා ඩොකටර් . . "

"ඔහේට මම කිව්වද ඔච්චර හරියක් කරන්න කියලා . . ඔහේ මාර මනුස්සයෙක් නේ . ." ඩොක්ටට හොඳටම මල පැනලා

"අනේ සමාවෙන්න ඩොක්ටර් . . මේ බැරිම තැන මම අවේ ඩොක්ට ට මේකට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද කියලා අහලා බලන්න කියලා . . .. "

"තමුසෙට ඔල්මාදෙද . . තමුසේ මම මොන ජාතියෙ කෙනෙක් කියලද හිතන්නේ . . . " ඩොක්ටර් පුටුවෙන් නැගිටලා කෑ ගහන්න ගත්තා . . .

"ඉතිං ඩොක්ටර් කොච්චර ට්‍රයි කලත් මේ බෝතලේ මූඩිය ඇර ගන්න බැරි නම් කොහොමද මේකට ඒවා දීලා ටෙස්ට් කරන්න ගෙනත් දෙන්නේ . .. !

. . . . . . . . . . . . . . . . . . . . . .

PS: මේ මම ටික දවසක් යනකම් හැංගිලා ඉන්නේ හොඳේ . . . හික් හික් හික් . .

Wednesday, March 24, 2010

හදවතේ පැරණි තුවාල සුව කල "පූර්ව ජන්ම අපූර්වය"





මගේ බ්ලොග් අඩවිය මට මගේ දිහා තුන්වෙනියෙක් විදිහට බලන්න හුරු කරන තුන්වෙනි ඇසක් ලබා දුන්නා කියල මම කලින් ලිපියක් ලිව්වා දැකපු අයට මතක ඇති. ඒ වගේම මගේ පහුගිය නිවාඩුවේදී සිදුවූ විශේෂ සිදුවීම - ("රසවතිය" බ්ලොග් එක ලියන ) හෂිත හා ("සිතිවිලි" කවි බ්ලොග් එක ලියන ) සචීයුවලගේ නිවසේ තිබුනු මිතුරු හමුවේදී . . . එකම මවට අම්මා නොකීවත් එක කුස උන් සොයුරියක් මෙන් දයාවෙන් මට සලකන සචී මට තෑගි කල මේ "පූර්වජන්ම අපූර්වය" පොත, මට තවත් ඇසක් ලබා දුන්නා කියනවාට වඩා බ්ලොග් එක තුලින් ලැබුනු තුන්වෙනි ඇසේ වපසරිය, එහි නිම් වළලු තවත් පුළුල් කලා කීවොත් තවා වඩා නිවරදි.

සචී ඔබට පිං . . .

එසේත් නැත්නම් ඔබ ලඟදී පටන් ගත් ඔබේ "සිතිවිලි" කවි බ්ලොග් අඩවිය සාර්ථකවේවා කියා පතන්නම් ඒ පිනෙන්.

. . . .. . . .. . .. . . .. . . .. . . .. . . . .. . . .. . . .. . . .. .

මම පුංචි කාලේ අපේ අසල්වැසි නිවසක පූසියෙක් හිටියා. මේ පූසිට පැටව් හම්බුවුනු දෙපාරකම මේ පූසිම ඒ පැටව් ටික ඔක්කෝම කෑවා. අපේ ගෙදාර පූසි නොවුනත් මේ සිදුවීම පුංචි අපේ (අක්කගේ මගේ නංගිගේ) හිත් බොහෝම සසල කලා මට මතක හැටියට. අපේ හිත් හදන්න අම්මා දුන්නු පිලිතුර තමයි "ඒ පූසි ගේ පෙර ආත්ම වල වෛරක්කාරයෝ තමයි එයගේ බඩෙන් ඉපදිලා තියෙන්නේ. . . ඉතිං ඒ පෙර ආත්ම වල ඉඳන් පතාගෙන එන වෛරය මේ ආත්මෙත් පිරිමහගත්තා. ඔයාලා වැඩිය දුක් වෙන්න එපා ඒ ගැන. ඒ කර්මය හෙවත් කරුමය"

උපතින් බෞද්ධයෝ වුනත්, ඒ කාලයේ දිනපතා පන්සිල් ගත්තා වුනත්, ඉරිදාට දහම් පාසැල් ගියා වුනත්, පෝයදාට පන්සල් ගියා වුනත්, බෝ මලුවේ - විහාර ගේ පෙරලි පෙරලී වැන්ද වුනත්, හාමුදුරුවෝ කියන බන කතා සාවදානව අසා සිටියා වුනත්. . . ඒ අපේ පුංචි බෞද්ධ හිත් වලට අම්මා කියූ ඒ කතාව කොයි විදිහකින් ජීර්ණය වුනාද කියා නම් මතකයක් නැත.

. . . . . . .. . . . . . . .. . . . . . .. . . . . . . .. . . . . . . .

කුඩා කල අප විසූ නිවස අසල නාලනී ඇන්ටිලගේ (අන්වර්ත නාමයකි) නිවසට අප බොහෝ සවස් වරුවන්හි ගියේ රූපවාහිනියක් ගෙනාවොත් දරුවන්ගේ ඉගෙනීමට බාදා වෙයි කියා සිතූ අපේ තාත්තගේ සිතුවිල්ලට පින්සිදු වෙන්නටයි (ඒ වුනාට ඊට වඩා ගෙදර තිබූ දේශපාලන රැස්වීම් නිසා ඉගෙනීමට බාදා වූ බව දැක්කත් නොදැක්කා වගේ සිටියේ ඇයිදැයි නොදනිමි)

නාලනී ඇන්ටිගේ සැමියා පියසිරි අන්කල් ඉතාම අහිංසක හිනාවක් තිබූ එපමනටම අහිංසක මිනිසෙක්. පියසිරි අන්කල්ට පියාගෙන් ලැබුනු නිවසේ පදිංචිවී සිටි ඔවුන් දෙදරු පවුලක්. ඔවුන් දෙපලගේ දිවිය ගැන කුඩා කල සිට මගේ සිත විමසූ ප්‍රශ්න බොහොමයකට මේ පූර්ව ජන්ම අපූර්වය පොත මට පිලිතුරු දුන්නා කීවොත් එයයි සත්‍ය.

නාලනී ඇන්ටි පියකරු කාන්තාවක් වුවත් නිතර සිටියේ මූනට අබ ටිකක් දැම්මොත් පිපිරේවි යැයි සිතෙනා තරම් නපුරු මූනකින්. අප සමඟ කතාබහේදී සුහදශීලී ලෙස සිනාසුනත් එකම වත්තේ විසූ පියසිරි අන්කල්ගේ සහෝදර සහෝදරියන් දුටු විගස අර සුපුරුදු අබ පිපිරෙන මූන කෙසේ දමා ගන්නවාදැයි එකල කුඩා මට ව්ශාල ප්‍රශ්නයක්. ශෝචනීයම දේ නිතර අසල්වැසියන් සමග සුහදව සිනාසෙන කතාබහ කරන පියසිරි අන්කල් දුටු විගස නාලනී ඇන්ටිගේ අබ පිපිරෙන මූන අන් අවස්තාවාට වඩා රෞද්‍ර වීමයි.

තාත්තා ගෙදර නැති දිනවල රූපවාහිනිය නරඹන්න ඔවුන්ගේ නිවසට යාම අපට අප්‍රිය කල එකම සිදුවීම එයයි කීවොත් එය කිසිවිටෙකත් බොරු නොවේ. වැඩිහිටියන්ට තවකෙනෙක් ගැන, යම්කිසි සිදුවීමක් ගැන ඔවුන්ගේ හිතේ පැවති නොරිස්සුම් ගතිය සඟවාගෙන සිටිය හැකි වුවත්, බොරු සුහදත්වයක් පෙන්වා කතාබහ කල හැකිවුවත් අව්‍යාජ ළමාවියේ සිටි අපට එය අපහසු කාරියක් වූවා කියා හොඳින්ම මගේ මතකයේ රැඳේ තිබෙනවා.

පූර්ව ජන්ම අපූර්ව කියවා නැති, එවැනි මනෝ විද්‍යාව ඇසුරින් ලියවුනු පොත් පත් කියවා නැතැයි විශ්වාසයෙන් පැවසිය හැකි පියසිරි අන්කල්ගේ අහිංහසක මුහුන මගේ ඉදිරියේ මේ දැන් මැවී පෙනෙන විට නාලනී ඇන්ටි පියසිරි අන්කල් සමග පූර්ව ජන්මයක දී බැඳගත් වෛරයක් මේ ආත්මයේ දී පිරිමහගන්න උත්සාහ කරනවා යැයි මට මේ පොත කියවූ පසු දැනුනු හැඟීම, අවබෝදය පියසිරි අන්කල් එදා කොහෙන් ලබා ගන්න ඇත්දැයි සිතන විට මට සිතෙන්නේ ඔහුගේ ඒ ඉවසීමේ ශක්තිය වෙනුවෙන්, ඒ අහිංසක හදවතින් විඳි වේදනාව වෙනුවෙන් එදා ඔහුගේ අතින් අල්ලාගෙන මට විනාඩියක් වත් අඬන්න තිබුනානම් අද මට ඔහු වෙනුවෙන් දැනෙන මේ වේදනාව වේදනාවක් නොවන්න තිබුනා නොවේදැයි කියායි.

. . . . . . . .. . . . . . . . . . . . . .. . . . . . .. . . . . . . . . .. . . .

අක්කාත් නංගීත් විවාහ වී නිවසින් වෙන්වී මා පමනක් නිවසේ නිවසේ සිටි කාලයේ අම්මාගේත් තාත්තාගේත් රන්ඩුවක් දුරදිග ගොස් ඔවුන් සති දෙකක් එකිනෙකට කතා බහ නොකර සිටි කාලයක දෙදෙනාගේම තෝල්කයා වීමේ (අම්මගේ පනිවිඩ - තාත්තට කෑම කන්න කියන්න. බෙහෙත් ටික වතුරත් එක්ක මේසේ උඩ ඒක බොන්න කියන්න . . .. තාත්තගේ පනිවිඩ - අන්න මම දැල්ලෝ වගයක් ගෙනාව ඒක උයන්න කියන්න. ලයිට් බිල් ගෙවන්න සල්ලි මගේ සාක්කුවෙන් ගන්න කියන්න . . . ආදී වශයෙන්) කාරියට ඇති මගේ අකමැත්ත මා පිටකලේ මෙසේයි . .

"මේ මොන කරදරයක්ද . ."

"දැන් අවුරුදු විසිපහක් විතර තිස්සේ රන්ඩුවෙලත් තාම ඉවර වෙලා නැද්ද?"

"දැන් අපි ගැන හිතනන් ඕන නෑ නේ . . . "

"අර දෙන්න බැන්දා මම ජොබ් එකක් කර්නවා . . . "

"ඔය දෙන්නා ඩිවෝස් වෙලා ජීවිතේ ඉතුරු කාලේ සතුටින් ඉන්න පුලුවන් දෙන්නෙක් හොයගෙන බැඳ ගන්න . . .
මොකටද රන්ඩු වෙවී ඉන්නේ . . ."


අම්මගේ පිලිතුර උනේ :

"පෙර ජාති වල ඉඳන් තිබුනු තරහක් වෙන්න අති බන්."

"ඔන්න ඔහේ ඒක මේ ආත්මෙම ගෙවලා දානවා. නැත් නම් ලබන ආත්මෙකදීත් ගෙවන්න වුනොත් . . ."

තාත්තගේ පිලිතුර වුනේත් :

"ඔව් ඔව් පෙර ජාති ඉඳන් තියෙන ගනුදෙනුවක් වෙන්න අති."

ඒ කාලයේ පූර්ව ජන්ම අපූර්වය කියවා නොතිබුනත් පුනර්භයව කර්මය ආදී දේවල් ගැන පත පොතින් ලත් දැනීමෙන්

"ඕන මගුලක් කොර ගත්තාවේ . . . කාගෙන කාගෙන ගිහින් නැටි දෙක වත් ඉතුරු වෙන්නේ නැතැයි"

කියලා සිතා හිත හදාගත්තු හැටි මතකයි. ඒත් ඔවුන්ට සතුටුන් ඉන්න හොඳින්ම පුලුවන් කමක් තිබියදෙත් නිරපරාදේ ඒ සතුට නැති කරගෙන ජීවිතේ දුක් විඳින හැටි දුටු මට ඔවුන්ගේ දුක වෙනුවෙන් අඬන්නද ඔවුන්ගේ රන්ඩුවේ වචන වලට සිනාසෙන්නද කියා සිතාගත නොහැකි වූ මට එය උපෙක්ෂාවෙන් දරා ගන්න පිච්ච මල පොත් සෙට් එකේ රාහුල හාමුදුරුවෝ "හ්හ්ම්ම් ඒකත් එහෙමද" කියා කියවා වැනිව ඇසුනා විය හැකියි . .

. . . . .. . . .. . . .. . . . .. . . .. . . .

කාලයක් මගේ හොඳම මිතුරෙක් වී සිටි නමුත් මගේ බ්‍රේක් නැති කට හෙවත් හිතේ තියෙන දේ කෙලින්ම කියන (ගොඩක් අය මගේ නරකම දේ ලෙස සිතුවත් මගේ හොඳම දේ කියා මා සිතන ) ගතිය නිසා මගෙන් දුරස්වී සිටින රිසිත විදුමිනි විජේසේකර (අන්වර්ත නාමයකි)ගැන මා සිතේ වූ සංකා බොහෝමයකට මේ පූර්ව ජන්ම අපූර්වය පොත පිලිතුරු දී ඒ සංකා නිමා කලා.

යහපත් කාරුනික දෙමවුපියන් (පියාගේ විශ්‍රාම වැටුපෙන් නඩත්තු වන), දයාබර එකම සොයුරිය, වැදගත් නෑදෑ පිරිස, මාපිය උරුමයෙන් ලැබුනු නිවස, වසර ගනනාවක රැකියාවෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් නව නිවස, වාහන කීපය, දුටුවනම පෙමින් බැදී කරදර රාශියක් මැද පෙම් සටන් දිනා විවාපත් රූමත් බිරිඳ, දඟකාර පුතනුවන්, දයාබර මිතුරු මිතුරියන් කැලක් . . . මේ සියලුම දේවල් වලින් පරිපූර්න වූ කෙනෙකුට "ජීවිතේ සුන්දරද මෙතරම්" කියා නොසිතා විහින් ඇති කර ගන්නා ප්‍රශ්න ගොඩක පැටලී . . .

සියලුම මිතුරන් අමනාප කරගෙන, දෙමාපියන් සහෝදරිය ප්‍රශ්න ගොඩකට ඇද දමා, බිරිඳ සමඟ දන්නා තරමින් කිසි හේතුවක් නොමැතිව දබර කරගෙන ඇගෙන වෙන්වෙන්න කටයුතු සකස් කරමින් ඔහු මේ සතුටු විය යුතු . . . විය හැකි ජීවිතය . .. කුමක් නිසා විඳවනවාදෝ කියා මා සිතූ දේට ආසන්නම පිලිතුර ලෙස මේ පූර්ව ජන්ම අපූර්ව පොතේ පේද්‍රෝස් සහ එලිසබෙත් පූර්ව ජන්ම වලදී මුහුන දුන් සිදුවීම් නිසා මේ ජන්මයේදීත් ඒ පූර්ව ජන්ම වල අහිතකර බලපෑම් හේතුකොට ගෙන ඒ බලපෑමෙන් මිදිය නොහැකිව තැවුල් විඳින බැව් පසක් වූ පසු වයි මාගේ සිතෙන් ඔහු ගැන විමසමින් සිටි දේවලට පිලිතුරු ලැබුනේ. ඔහු නිසා හදවතේ ඇති වූ පරන තුවාල කැලල් සුව වූයේ . .

. . . . . . . .. . . . . .. . . .. . . . .

කොටින්ම සුනේත්‍රා පවසන පරිදි නැතිනම් ඈ ප්‍රාර්ථනා කරන පරිදි මේ පොත කියවීමෙන් පසු . . . .මගේ හදවතේ කාලයකට පෙර ඇනී තිබුනු කවදාවත් නොගැලවේවී කියා සිතූ කටු බොහොමයක් දෑස් ඉදිරිපිටම ගැලවී වැටෙනු මා දුටුවා . . . . . අද හෝ හෙට වෙන කිසිම කටුවක් සදාකාලිකව නො ඇනෙන ලෙස හදවත ගල්වෙනු / මෙලෙක් වෙනු මා දුටුවා . . . . . කවදාවත් සුව නොවේ කියා මා සිතූ හදවතේ කාලයකට පෙර, අද, ඊයේ සිදුවී තිබුනු තුවාල සියල්ලම වාගේ සුවවෙනු මට දැනුනා . . . . . යලි කිසි දිනෙක තුවාල නොවන සේ ස්වයං ප්‍රතිශක්තියක් එය විසින්ම සකසා ගනු මට දැනුනා. . . !
. . . .. .. ..

ඉදින් එතරම්ම ශාන්තියක් මට ලබා දුන් මේ පොත ගැන ඔබට කීමට තව පමා වෙන්නේ ඇයි.

පොත ලියූ සුනේත්‍රා රාජකරුණා ටත් බොහෝම පිං . .

Sunday, March 21, 2010

හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවිය . . . !



හෝද හෝදා මඩේ ඔබමු
මඩේ ඔබ ඔබා හෝදමු
අහා කෙතරම් ආතල් ද මේ
මනරම් යුගදිවි සොමිය . . . !

ඔච්චර ම ආතල් ගන්න
හෝදන්න ජාති ගොඩාක් ඕනෑද ආයිබෝං . . ?

රෙද්ද . .. ! මොන පිස්සුද
එකක් තිබුනත් හොඳටෝ. . .ම ඇති !
මනරම් යුග දිවිය
වසරද, දෙකද, පනහද
කිසි ප්‍රශ්නයක් නෑ . .
එකම හේතුව
වසර ගානක්
මඩේ ඔබ ඔබ හෝදතෑකි
හරිම ආතල් ඕයි . .
සොල්ලි වේල ඉල්ලෙයි . . !

මඩේ ඔබලා හෝදන්න ජාති නැත්නම්
ලොකු ප්‍රශ්නයක් නේද අනේ . . !

ඔල්මාදෙද . . ?
මේ හලෝ
අපි සිරි ලාංකිකයෝ හරිද
ලෝකෙන් උතුම් රට ලංකාවයි
ලංකාවයි සිරි ලංකාවයි . . !

වීරයා ද්‍රෝහියා කරන
ද්‍රෝහියා වීරයා කරන
මේ සුභ අනාගතේ ඉන්න අපිට
ඕකත් කජ්ජක්ද ඕයි . .

මඩේ ඔබන්න ජාති නැත්නම්
ජාති හදනවනේ . .
සිම්පල් ප්ලෑන් එකක් . . !
ඕන වෙන්නේ
තේ කෝප්පේ කිඹුල්ලු දකින
මහා පන්ඩිත ඥානය විතරයි . . !

අම්මට සිරි ඔය තියෙන්නේ
බඩුම තමයි . . . !
ඉතිං අපි
හෝද හෝදා මඩේ ඔබමු
මඩේ ඔබ ඔබා හෝදමු
අහා කෙතරම් ආතල් ද මේ
මනරම් යුගදිවි සොමිය . . . !

Thursday, March 11, 2010

ඔබ සතුට මගේ මරණයෙද . . ?




මේ මගේ ලැබීමද . . ? නුඹගේ නොලැබීමද . . ?
ඔබේ සෙනෙහසේ නවාතැන් ගන්න, එහි සුපෙම් සුවය විඳින්න මගේ දෛවයේ ලියවී නැතුවා වත්ද . . ?
මගේ ප්‍රේමයේ නිම් වලලු ඔබ හඳුනා නොගන්නේ මන්ද . . ?
වරදක් සිදුවී ඇත. යම් කිසි තැනක් වැරදී ඇත. යලි සකස් කල නොහැකි වරදක්. සදාකාලික වරදක්. . . . ! ! !
වරද ඇත්තේ කොහේද . . ?
වරද ඇත්තේ මගේ සෙනෙහස හඳුනාගත නොහැකි ඔබේ පරිකල්පනයේද .. ?
නැතිනම් ඔබේ පරිකල්පනයට හසුවන තරමට සෙනෙහස දක්වන්න නොදන්නා මා අතද . . ?
. . . .. . . . . .. .. . ...

මලින් ගැවසී ගත් මංමාවත් වල පමනක් නොව කටු අකුලින් ගහන මංමාවත් දිගේ පවා අපි අත්වැල් පටලා එකට සිනා සෙමින්, එකට හඬමින් ගමන් ගත් කාලයේ අප අපට ශපථ කර ගත්තේ මොනවාද. . . ?
ඒ සියල්ල හිස් වචන පමනක්ද . . .?
ඔබ මා රැවටුවාද . . .? මා ඔබ රැවටුවාද . . ?
මා ඔබට රැවටුනාද . . ? ඔබ මට රැවටුනාද . . .?
මේ රළු කර්කෂ වචන වලින් මගේ සියුම් හද කීතු කීතු වලට ඉරා දමන අයෙකුට නොවේ මා පෙම් කලේ. .
සතුටටත් දුකටත් දෑසේ කඳුලු පුරෝ ගන්නා එදා තිබූ ඒ "සංවේදී ආත්මය" . . . අනේ මට එය පමනක් ආපසු දෙන්න. . . !!
වෙන කිසිවක් එපා . . එපමනයි . . !
. . . . . .. . . . .. . .. . .

සියල්ල අවසන මට හැඟෙනුයේ ඔබට තුටු විය හැක්කේ මගේ මරණයෙන් පමනක් ද කියායි . . !!
මගේ ආදරයේ පමන මෙතෙකැයි කියා ඔබට පසක් කර දීමට යමාමහ පෙළහර පෑ නොහැකි මට . . ..
සති පූජා කල නොහැකි මට . . .
ඔබ ඉතිරි කලේ මිය යාම පමනක් බව ඔබ දන්නා බව මා නොදනී කියා ඔබ සිතනවාද . . .?
. . . . . . . . . . .. . .. . . . .

ඔබ තුටු වෙනවා නම්, ඔබ ඉන් සැනසෙනවානම් ඒ සීතල මරණය . .. ඒ බිහිසුනු මරණය . . මා ආදරයෙන් වැලඳ ගන්නම් . . .
නමුත් එක දෙයක් . . එකම එක දෙයක් . . .
එදිනට වත් ඔබ වටහා ගන්නවාද ඔබට මේ විශ්වය තරම් ආදරය කල ප්‍රානියෙක් මේ මිහිතලයේ දිවිගෙවූ බව . ..

ඔබට එය පසක් වූ බව මට දන්වන්න . ..
මගේ ආත්මයට ශාන්තිය උදාකර දෙන්න . . ..
එකම එක සුදු රෝස කැකුලක් මා නිදන සොහොන් ගැබ උඩින් තබා යන්නට ඔබට හැකි වේද . . . . ???




මගේ සෙනෙහස මෙතෙක් වේයැයි . .

මගේ සෙනෙහස මෙතෙක් වේයැයි . .
මනින්නට ඔබ උගෙන නැත තව . .
මගේ අවසන් සුසුම පමණද . .
ඇවැසි ඔබ හට මා දකින්නට . . .

වසර ගණනක යොදුන් ගණනක . .
ගමන් මග අප ගෙවා ඇත්තෙමු . . .
තරු වියන් යට කුසුම් පෙති මත . . .
දෑත් පටලා ඇවිද ඇත්තෙමු . . .
එහෙත් සුහදිනි...
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි . .
මනින්නට ඔබ උගෙන නැත තව . .
මගේ අවසන් සුසුම පමණද . .
ඇවැසි ඔබ හට මා දකින්නට . . .

මිලින කුසුමෙක, මිලින සිහිනෙක . . .
මගේ සිහියද සැඟව ගත් කල . . .
සිතනු මැන ඔබ, ඔබට අවනත . ..
හදක් මිහිමත මෙතෙක් ‍රැඳි වග . . .
එහෙත් සුහදිනි . . . .
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි . .
මනින්නට ඔබ උගෙන නැත තව . .
මගේ අවසන් සුසුම පමණද . .
ඇවැසි ඔබ හට මා දකින්නට . . .

බංඩාර කේ විජයතුංග පද රචනය කල සුනිල් එදිරිසිංහ ගායනා කරන මේ මියුරු ගීතය මෙතනින් අසන්න



. . . . . . . .. . . .. . . . .

ලාංකික මියුරු සංගීතයේ අඳුරු අහුමුලු පීර පීරා, අතීතයේ දී එහි රිසිසේ පිහිනා තුටුවූ අපට ඒ ගීත මල් දම් වල සුවඳ යලි සිහිපත් කර දෙන අතරවාරයේ . . . . සයිබර් අවකාශයේ නවකයන්ට ඒ මියුරු සංගීත නදියේ පිහිනන්න ගුරුහරුකම්, ඉඩප්‍රස්ථා . . . ඔහුගේ "හද ගී පොත" බ්ලොග් අඩවිය හරහා ලබා දෙන . .. මගේ සයිබර් මිතුරු තිසා (තිස්ස දොඩංගොඩ) ඔහුගේ හද ගී පොතේ ඊයේ සටහන් කල මේ ගීය ට හා ඒ සටහනට මගේ අදහස් පලකිරනු වස් . . . ඒ සටහනට ඌන පූර්නයක් ලෙස මේ සටහන තැබූ වගයි.

Tuesday, March 9, 2010

ඈත සිටන් එන්නි සෙල්ලි සෙල්ලියේ . .!

මම හිතුවා අපේ තුන්පත් රටා බ්ලොග් එකට ලියපු ලිපියක් ඒකේ අදාල බලධාරීන්ගෙන් අවසරය ලබාගෙන දුකා බ්ලොග් එකේ දාන්න. මොකද තාම ඒ බ්ලොග් එක එතරම්ම කට්ටිය අතරට ගිහින් නැති නිසා ඒ ලිපියට ත් ඒ බ්ලොග් එකටත් බලාපොරොත්තු වුනු තරම් ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. කට්ටිය දන්නවනේ මේ බ්ලොග් දුවවන ඉන්ධන කමෙන්ට්ස් සහ හිට්ස් කියලා.

මේ පහල තියෙන්නේ ඒ ලිපිය ඒ විදිහටම. කස්ටිය කියවලා කියන්න කෝ අදහස් උදහස් . . .ආ ඒ අතරම ඒ තුන්පත් රටා බ්ලොග් එක ටත් ගොඩවෙලා එකේ ෆොලොවෙර් කෙනෙක් වෙලා . . ඒකත් ඔයාලගේ බුක් මාර්ක් වලට හෝ රීඩරේට දාගන්නත් අමතක කරන්නත් එපා.

. . . . .. . . . .. . . . .. . . .. . . . .. . . . . . . .. . . . .. . . .. . .

පැරකුම් රජුගේ කෝපයෙන් උපන් රොඩී කුලය සහ ඒ හා බැඳුනු කුලු නැටුම් !
Monday, March 3, 2010 පළ කලේ තුන්පත් රටා හරියට ම 10:09 AM 2 ක් ප්‍රතිචාර දක්වා ඇත.





පැරකුම් රජුගේ දියණිය රජ මාලිගය අතු-පතු ගා කුනු-රොඩු එකතු කර විසිකරන සේවකයා හා පෙමින් බැඳුනි. මේ බැව් දැන ගත් රජු ඒ සබඳකම නතර කිරීමට කල හැකි දේ සලකා බලන්න ඇති. කුමරිය පිය රජුට පවසන්න ඇති "මා සිත් ගත් පෙම්බරයාගේ දිවියට හානි කලොත් ඔබට ඔබේ දියණියගේ දිවියත් නැතිවනු නිසැකයි" කියා.

නැති නම් කුමරිය රහසේම රොඩු එකතු කල කඩවසම් තරුණයා හා මාලිගයෙන් පලා යන්න ඇති.

රජුට ඇතිවූ අපහාසයට, කනගාටුවට කුමරියගෙනුත් රොඩු එකතු කරන්නාගෙනුත් පලිගනු වස් රොඩී යැයි කුලයක් සාදා, තම දූ කුමරියත්, රොඩු එකතු කල තරුණයාත් ඔහුගේ සනුහරේ ඈයෝත් ඒ කුලයට පන්නා දමන්න ඇති. එය පහත් කුලයක් ලෙස හංවඩු ගසන්න ඇති. තවදුරටත් රොඩී කුලයේ මිනිසුන් මිනීමස් අනුභව කරන බවක් සමාජයේ පතුරුවා හැර ඒ කුලයට ඇති සමාජ පිලිගැනීම නැත්තටම නැති කර දමන්නැති.

කපාගත් ගොයමේ වී හුලං කිරීමට හෙවත් රොඩු ඉවත්කිරීමට අවැසි කුලු නිපැදවීම මේ රොඩී කුලයේ අයට පැවරුනු රාජකාරියක් වෙන්න ඇති.

. . . . . . . . . . .

කුලු නැටුම් වල ඇති කවි වල සඳහන් වන පැරකුම් රජුගේ දියණිය අප සිත් තුල ඇති කලේ විශාල කුහුලක්. ඇය කීවෙනි පැරකුම් රජුගේ දියණියද?? කුලු නැටුම් වලත් ඇගේත් ඇති සම්බන්ධතාවය කුමක්ද?? වරෙක නදීශා පීටර් සූරසේන නැටුම් ගුරු මහතාගෙන් විමසීමක් කලත් නිසි පිලිතුරක් නොලැබුනි. නමුත් සචී, හෂිත, මා, ලිෂාන් හා අක්කන්ඩි ස්කයිප් කතාබහක යෙදී සිටින විටෙක මගේ ඒ කුහුල රසවින්දනයේ විශ්වකෝෂයක් බඳු හෂිත විසින් විසඳන ලදි.

ඉහත සඳහන් පරකුම් රජුගේ දියණිය ගැන මගේ අනුමාන කතාව ඒ ඔහු විසින් පැවසූ ජනප්‍රවාදය ඇසුරින් නිමැවූවක්. මේ සම්බන්ධව මීට වෙනස් හෝ වැඩි යමක් දන්නා අයෙක් වේ නම් ඒ අදහස් කමෙන්ටුවක් ලෙස සඳහන් කිරීම අනාගත පරපුර වෙනුවෙන් කරන යුතු කම් ඉටුකිරීමක් ලෙස සලකනු ඇති.

මේ පහත දැක්වෙන්නේ ජන ගී වල ජනප්‍රිය නැටුමක් වූ කුලු නැටුම් වල කවි කීපයක්. කුලු නැටුමක වීඩියෝ පටියක් සොයා ගැනුමට වෙහෙසුනායින් මේ ලිපිය මෙතරම් පමා වුවත් පසු කාලයක එකතු කිරීමේ බලාපොරොත්තුවෙන් දැනට කවි කිහිපය පල කිරීම වඩා සුදුසු යැයි උපකල්පනය කොට ලියා පල කලෙමු.

ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
කරේ බන්ද පවලම් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

වටත් සදිසි බට කොළ වියපු වල්ලියේ
මටත් බලන්නට සවුදම් ගැසුල්ලියේ
මෙරට ලඳුන් කුළු හරඹට අවුල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

බන්ද වාන කුළු යතුරු සදාලා
අන්දවාන දෙදෙනෙකුට කියාලා
කැන්දවාන අළු යන්තරෙ ඇදලා
කන්දෙ බැදෙන බැත පැහැපත් කරලා

රන් ගිරි මුදුනේ හිරු බැබලෙන්නේ
වල්ලි ළදුන් තනි තනිවම එන්නේ
අවුව ද වැස්ස ද කියා බලන්නේ
කුල්ල අරන් අප නටුමට එන්නේ

මෙහි ඇත්තේ ජන ගීමාලා නම් නොනවතින ගී කලසේ එන මෙම කුලු නැටුමට අයත් ගී ඛණ්ඩයකි.

http://www.divshare.com/download/10649313-a85

ලිව්වේ සුභාෂ් සහ නදීෂා

Saturday, March 6, 2010

මේ රෝස පාට තොල් දෙක කාගෙද . . . මගේ නේද??



ලඟදි මම මූනු පොතට අපේ කන්තෝරුවේ පාර්ටියක පින්තූර ටිකක් එකතු කරලා, ඒකේ මේ අපේ "මැටිපූසා" වයින් බෝතලයක් මහා අමාරුවකින් ඕපන් කරන්න හදන වෙලාවේ ගත්තු පින්තූරයක් දැකලා මට මතක් වුනානේ ඉස්සර ටෙක් යන කාලේ අහපු ඇම්ඩන්ගේ අසභ්‍ය කතාවක්. මමත් ඉතිං දන්නෝ දනී නැතිනම් දන්නෝ හිනාවෙත්වා කියලා ඒක ටිකක් සභ්‍ය කරලා පොඩි කමෙන්ට් එකක් දැම්මා.

අපේ ගෙදර උන්දැ වෙලාවකට හරිම ටියුබ් ලයිට්. හැබැයි ලාවට ලාවට මතක තියෙනවා. ඒත් හරියටම නෙමෙයි. මගේ කමෙන්ට් එකට අදාල කතාවයි වෙන කතාවකුයි එයාට ටැපලිලා. ටැපලිච්ච එකෙන් වුනේ මට අමතක වෙලා තිබුනු ලස්සන කතාවක් මට ආපහු මතක් වුනු එකයි.

ඉතින් මම හිතුවා ඒ කතාව මේ ඔයාලත් එක්කත් බෙදා හදා ගන්න. හැබැයි මට මතකයක් නෑ ඒ කතාව මම දැක්කේ ඇහුවේ කොහෙන්ද කියන එක නම් .

මෙන්න මේකයි කතාව

ඔනන් එක පොරක් හිටියාලු අපේ තාත්තා වගේ යන යන තැන තමන් අරන් ගිය කුඩේ දාල එන. අපේ තාත්තා නම් කුඩේ විතරක් නෙමෙයි මොබයිල් ෆෝන් එක වුනත් දාලා එන නිසා අම්මා නම් කියන්නේ වෙන වෙන ගැජට් බැජට් හොදවෙලාවටලු ජොයින්ට් වෙලා තියෙන්නේ, නැත්නම් ඒවත් බස් එකේ දාලා එයිලු.

මේ පොරගේ මායියත් අපේ අම්මා වගේ කට කැඩිච්ච කතා කියන අම්මන්ඩියෙක් වෙන්න අති.

දවසක් මේ පොරට දුර ගමනක් යන්න වුනාලු. රාත්‍රිය ගත කරන්න වුනේ ඒ ගිය නගරයේ තියෙන හොඳ ලස්සන හෝටලේකලු. හොඳින් රාත්‍රිය ගතකරලා පහුවදා යන්න පිටත් වෙලා බස් හෝල්ට් එකට වෙලා ඉන්න කොට මතක් වුනාලු තමන් ගෙනාපු කුඩේ.

හෆොයි ඒ කුඩේ නැතුව ගෙදර ගිහින් මායියාගෙන් කුනු කතා අහනවට වඩා හොඳයි නගර සභාවේ කුනු ලොරියේ හැප්පිලා මැරෙනවා කියලා හිතලා, පොර මීටරේ කරකෝලා බැලුවාලු කොහේද තමන්ට ඒක අමතක වෙන්න ඇත්තේ කියලා.

ඔන්න අර අංජනම් බලන්න ගිහින් පීරිසිය දිහා අමාරුවෙන් බලාගෙන ඉන්නකොට හනුමන්තා ඇවිත් නැතිවුනු බඩුව පෙන්නුව වගේ සං ගාලා පොරට මතක් වුනාලු හෝටලේ තමන් හිටපු කාමරේ තමයි ඒක දාලා එන්න ඇත්තේ කියලා. පොර ආපහු ගියාලු හෝටලේට කුඩේ තියෙනවාද කියලා හොයලා බලන්න .

ගිහින් කතා කලාලු මැනේජර්ට.

"මහත්තයා මගේ කුඩේ අමතක වෙලා ගිහින් මේ හෝටලේ ඊයේ රෑ මම නතර වෙලා හිටපු 205 කාමරේ. ඒක නැතුව මම ගෙදර යන්න හිතනවනම් ඊට සැපයි මෝචරියක ගිහින් පදිංචි වෙන එක. ඒක නිසා මට ඒක ආපහු ගන්න පුලුවන්ද කරුනාකරලා??"

මැනේජර් අර ලොකු පොත බලලා කිව්වලු

"අනේ අන්කල් ඒ කාමරේ අන්කල් ගිය ගමන් ම කලින් බුක් කරලා තිබුනු අලුත බැඳලා හනිමූන් ආපු ජෝඩුවකට දුන්නානේ"

"අනේ මැනේජර් මහත්තයා කාමරේ දොරට පොඩි තට්ටුවක් දාලා අහලා බලන්න බැරිද"

"හපෝ හපෝ හනිමූන් ආපු අයගේ කාමර වලට තට්ටු දාන්න හොඳ නෑ නේ අන්කල්."

දැන් ඉතිං මොකේද දං වලදන්නේ කියලා හිතපු අන්කල් එකපාරටම ඇහුවලු

"එහෙනම් මහත්තයා, මම ටික වෙලාවක් ඒ දොර ගාවට වෙලා ඉන්නද?? ඉඳලා කීයට හරි ඒ අය කාමරේ දොර අරපු ගමන් මම අහල බලන්නද මගේ කුඩේ ගැන" කියලා

"අන්කල්ට ඔතන ලගා ගහගෙන ඉන්න කමක් නැතන්ම් අපිට කමක් නෑ"

ඔන්න මැනේජර්ගෙන් පර්මිෂන් ලැබුනා. දැං අන්කල් ඉන්නවා කාමරේ දොර ගාවට වෙලා මුන් දෙන්නා කීයට දොර අරීවිද කියලා.

ඒ අතරේ පොර හිටපු ගමන් දොරට ලඟට කන තියලා අහගෙන ඉන්නවලු මුන් දෙන්න එන පාටක් පෙනෙයිද කියලා නැතිනම් තමන්ගේ කුඩේ ගැන මොකක් හරි සඳහනක් වත් කාමරෙන් ඇහෙයි වත් දෝ කියලා. .

ඔහොම ඉනකොට පොරට ඇහෙනවාලු . . .

"මේ දුඹුරු පාට කොන්ඩේ කාගෙද. . .. ? මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

"මේ නිල්පාට ඇස් දෙක කාගේද . . .. මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

"මේ සුදු පාට කම්මුල් දෙක කාගෙද . . . මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

"මේ රෝස පාට තොල් දෙක කාගෙද . . . මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

පොරගේ බලාපොරොත්තුව ඉටුවෙන පාටක් නෑ වගේ . නොයිවසිලි වුනු පොර ටිකක් හයියෙන් කිව්වලු

ළමයිනේ මේ . . ඔහොම එක එක ජාති හොයාගෙන හියාගෙන යනකොට කලු පාට කුඩයක් හම්බුවෙයි. අනේ ඒක නම් මගේ හොඳේ කියලා. . ..

Thursday, March 4, 2010

විරුල් හෙවත් සොඳුරු ත්‍රස්තවාදියා | "Virul' the Sweet Terrorist !!



මම පුංචි එකා සංදියේ ඉඳන් පොඩිඋන්ට හරිම ආදරෙයි. පුංචි එවුනුත් මට හරිම ආදරෙයි.

ජීවිතේ මුලින්ම (මට වයස තුනේදී) ආදරේ කරපු පොඩි එකා (එකී) මගේ නංගියා ! (එක කාලෙකදී අපි ගහ මරා ගත්තා තමයි ඉතිං). ඊට පස්සේ අපේ අසල්වැසි ඉන්ද්‍රානි ඇන්ටිගේ පුතා - අක්කයි මායි "දිනූෂ" කියල නම දාපු සුදු මල්ලී, පුංචිගේ පුතා අමල්, පොඩි මාමගේ ළමයි තුන්දෙනා . . . පස්සේ අක්කගේ ළමයි, නංගිගේ ලමයි, ඔන්න ඊට පස්සේ මේ සොඳුරු ත්‍රස්තවාදියා "විරුල්"

හැමදාම හවසට වැඩ ඇරිලා ගෙදර එන ගමන් ගෙවල් පැත්තට හැරෙන වටරවුමෙන් හරවපු ගමන් සාමාන්‍ය වේගයට වැඩි වේගයකින් මට පියාඹලා එන්න හිතෙන්නේ මේ සොඳුරු ත්‍රස්තවාදියා නිසාමයි කිව්වොත් ඒකා ගේ අම්මා නම් මා එක්ක තරහා වෙයි.

ඒ එන වෙලාවට හැමදාම පෙරමඟට අම්මයි පුතයි ඇවිත් බලං ඉන්නවා දකින්න ලබුනාම මට ඇතිවෙන සතුට . . . . ! වාහනේ නතර කරල වීදුරුව පහත් කලාම "හල් . . ලෝ . . කොහොමද . . .?" කියලා කොල්ලා කියනව අහන්න මගේ කන පෙරුම් පුරනවා වගේ දැනෙන හැඟීම. පස්සේ කාර් එකට නැගලා ගේ ලඟට ගියාම ලොකු රවුමක් යන්නේ නැතුව ඒකා ට බහින්න බෑ කියලා වර්ජනය කරද්දී කියන බොරු කන්දරාව "හරි හරි සුදූ . . . අප්පච්චි ඇඳුම් මාරු කරගෙන අවිත් අපි කඩේ යමු . . . සුදූ අපි කාර් එක හෝදමුද??? . . . අම්මෝ . . . බොරු ගොඩායි !! ජීවිතේ සුන්දරද මෙතරම් . . . !!!!

මම පුංචි එකා සංදියේ ඉඳන් පොඩිඋන්ට හරිම ආදරෙයි. ඒත් මේ සොඳුරු ත්‍රස්තවාදියා ට මෙච්චර ආදරයක් !!! පුංචි එවුනුත් මට හරිම ආදරෙයි. ඒත් මේ පුංචි සොඳුරු ත්‍රස්තවාදියා කොහොමෙයි මෙච්චර ආදරයක් පෙන්නන්නේ??? හරිම පුදුමයි !

වෙලාවකට මගේ අත අරගෙන, පිටි අල්ල එයාගේ මූනට තියලා තද කරගෙන ඉන්නවා.
වෙලාවකට බෙල්ල වටේ අත දාලා විනාඩියක් විතර මූන ඉඹගෙන ඉන්නවා.
මගේ කකුල උඩින් එයාගේ මූන තියාගෙන මගේ එක අතක් අරගෙන අනිත් කම්මුලට තියාගෙන ඉන්නවා.
අත් දෙකෙන් ම මගේ කන් දෙක අල්ලලා මගේ මූන එයාගේ මූන ගාවට ලං කරලා නහය ලඟට නහය තියාගෙන දත් කූරු කාගෙන "ඊ . . . " කියනවා. . . .
හරිම පුදුමාකාරයි. හරිම සුන්දරයි.

මට හිතෙන්නේ ම මමත් පුංචිකාලේ මගේ තාත්තාගේ උනුසුම මේ විදිහටම ලබන්න ඇති. ඔව් ඇත්තෙන්ම මට තාම මතකයි තාත්තාගේ සරමේ ඔන්චිල්ලා පැදපු හැටි. අපි නිදාගෙන ඉන්නකොට ඇවිත් තාත්තාගේ රැවුල මූනේ අතුල්ලලා කිචි කවලා අපිව ඇහැරවපු හැටි. තාත්තා නිදාගෙන ඉන්නකොට අපි පිට උඩ නැගලා පිනුම් ගහපු හැටි.

ඒත් ඒ උනුසුම වැඩියෙන්ම ඕන කරන කාලේ විශේෂයෙන්ම යෞවන කාලේ "ලමයින්ව ඕනවට වඩා හුරතල් කරලා බෑ" වගේ හැඟීමක් නිසා (වෙන්න ඇති) අපිට ඒ ආදරේ නොපෙන්නුවායින් අදටත් මට තාත්තා එක්ක තියෙන්නේ තරහක්. පිස්සගේ ලිපිය දැකලා පිස්සට කොච්චර බන කිව්වත් මටත් මගේ තාත්තට කොහොමටවත් වත් සමාව දෙන්න බැරි සමහර දේවල් තියෙනවා. ඒවා ගැන පසු කාලෙක සිතලා බලලා ලියන්නම්.

ඒ විදිහට ආදරේ නොපෙන්නුවායින් මට නම් වුනේ මම මුරන්ඩු වුනු එක කිව්වොත් හරියටම හරි. තාත්තා එපා කිව්වොත් මම කලේ ඒ එපා කියපු දේමයි.

පාඩම් කරපන් කියලා බනින කොට කලේ පාඩම් කරන බව පේන්න පාඩම් පොත් ඇතුලට නවකතා පොතක් හරි චිත්‍රකතා පත්තරයක් හරි දාගෙන බලපු එක.

තාත්තගේ මෝටර් සයිකලේ මම පදින්න හුරුවුනේ ගොඩක්ම පොඩි කාලේ. ඒක පදින්න එපා කිව්වොත් මම කලේ තාත්තා නිදා ගන්නකම් ඉඳලා යතුර හොරකම් කරලා පෙට්‍රල් ඉවර වෙනකම් බයිසිකලේ පැදපු එක (සත පහේ කාසියකිනුත් ස්ටාර්ට් කරන්න පුලුවන් කමක් තිබුනා ඒ බයිසිකලේ - මගෝඩි ක්‍රමයක් හික්ස්)

තාත්තා අක්කගේ ප්‍රේමයට අකුල් හෙලද්දී මම කලේ අක්කට බොක්කෙන්ම උදව් කරන එක. කොටින්ම මට ඕන වුනේ එකට එක කරන්න නැතිනම් තාත්තගේ මතයට විරුද්ධ දේ කරන්න.

. . . . . .. . . . .. .

මේ සොඳුරු ත්‍රස්තවාදියා ත් දැම්මම ඒ වගේ . යමක් එපා කිව්වොත් කරන්නෙ ම එපා කියපු දේමයි (අප්පච්චිගේ පුතානේ හික් හික්).

නදීෂටයි මටයි කොයි වෙලාවක වත් එක ලඟ ඉඳගෙන ඉන්න දෙන්නේ නෑ. මේකා මැදට පනිනවා.

කොම්පුටර් එක ඉස්සරහා කොයිම වෙලාවක වත් ඉඳ ගන්න ඉඩ දෙන්නේ නෑ. අතින් ඇදලා බිම ඉඳ ගන්න කියනවා එයා එක්ක කාර් පදින්න. අකුරු ලියන්න.

නිදා ගන්න යද්දී පොතක් බලන්න ගත්තොත් පොත පැත්තකට විසිකරලා මැද්දට වෙලා අම්මගෙන් කුක්කු බිබී මගේ ඇඟට කකුල් දෙක දාලා අතකින් මාව අල්ලගෙන ඉන්නවා.

ඉතින් මේකා ට සොඳුරු ත්‍රස්තවාදියා නොකියා වෙන මොනා කියනන්ද???

. . . . . .. . . . . . .. . .


අර පාඩම (තාත්තලගේ ආදරේ නැති වුනාම එපා කියන දේ කරන එක )හොඳින් දන්න නිසා මම නම් හිතාගෙන ඉන්නවා කවදාවත් මම නම් මේ තියෙන ආදරේ නොපෙන්වා ඉන්නේ නෑ මයි කියලා.

ඒකට හොඳම උදාහරනයක් මගේ අක්කගේ දුව. මස්සිනා පුලුවන් උපරිමයෙන් ලමයින්ට එයාගේ ආදරේ පෙන්නනවා. අවුරුදු 19ක ලොකු පුතාව, අවුරුදු 18ක් වුනු ලොකු දුවව වුනත් ඔඩොක්කුවේ තියාගෙන ආදරේ පෙන්නන්න එයා කොයි වෙලාවක වත් මැලි වෙන්නේ නෑ.

දුවට මම වෙලාවකට කියනවා "උඹ කැමති කොල්ලෙක්ට ලව් කරපන් බං" කියලා.

කෙල්ල කියනවා "අනේ බෑ මාමා, මට තාත්තගේ හිත රිද්දන්න බෑ. තාත්තා මට හොඳ එක්කෙනෙක් හොයලා දෙයිනේ" කියලා.

. . . . . . . . . . .

මේ වැල් වටාරම් වලින් මට කියන්න ඕන වුනේ දරුවන්ට ඔබේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න කිසි විටෙක මැලි වෙන්න එපා. එහෙම වුනොත් වෙන්නේ දරුවන්ගේ ජීවිත වලට ලොකූ හානියක්. සමහර විටෙක ආපහු හදන්න බැරි ලොකූ අලාභ වුනත් වෙන්න පුලුවන්. ආදරේ හිතේ තියාගෙන නොපෙන්නා ඉන්නේ ඇයි. ලෝභ නැතුව ආදරේ දෙන්න. ඒකෙන් ඔබට ඒ අයගේ ආදරේත් ගෞරවේත් පෙරලා ආපසු ලැබෙන හැටි බලන්න.

. . . . .. . .. . ..

මෙන්න සොඳුරු ත්‍රස්තවාදියා ගේ පින්තූර ටිකක්

මේ ඉපදුනාට පහුවෙනිදා ගත්තු එකක්


යාලුවෙක් එක්ක චූටි කාලේ


චූටි කාලේ


චාටර් වැඩත් කරනවා


මේ ටී වී බලන හැටි "මේ රූපවාහිනියෙයි ITN එකෙයි කියන්නේ ඔක්කෝම උඩ යට මාරු කරලනේ අප්පා"


නාන්න නම් හරිම ආසයි.


දොයියන්නේ අප්පච්චි දොයියනව වගේමයි.


මේ ගිය නිවාඩුවේ අපි අනුරාධපුරේ ගිය වෙලේ ගත්තුවා.


මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails