Saturday, October 31, 2009

තව පොඩ්ඩෙන් උඹයි මායි සුනේ සුං . . . . ! ! !


අපිට එක කාලයක් "පංසල් උනක්" තිබුනා . . . ඒක උනක් කිව්වේ මේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔදවැඩිලා ගිය ගමනක් නොවන නිසා. එය තනිකරම යෞවනයේ පොපියන චමත්කාරයෙන් ඔකඳ වෙලා මල්සරාගේ දුන්නයි ඊතලයි සොරකම් කරගෙන, නෙත සිත බැඳුනු රූ සපු, හදවත් ආක්‍රමනය කරන්න යන සොඳුරු දඩයමේ යාමක් වැනි ගමනක් නිසාවෙන්මයි . . . (සියලුම යෞවනයෝත්, යෞවනය පසුකලෝත් මගේ මේ සඳහන් කල "උනට" සාක්ශි දරත්වා . . . )

මා කලින් ලිපි වල සඳහන් කල අක්කගේ මිතුරියන් වූ අචලා චමිලා අක්කලාත් ඔවුන්ගේ සොයුරන්වූ දිලුම් අයියාත් දිලාශ් ත් මාත් චමිලා අක්කලාගේ ඤාති සොයුරු සොයුරින් කීප දෙනෙකුත් සමඟ, අපේ ගමේ ප්‍රසිද්ධ විශාල හා පුරාන පංසල් දෙකක්ම තිබුනා වුවත් අපේ නිවෙස් වල සිට කි.මී. දෙකක් පමන දුරින් පිහිටි කුඩා පන්සලක් වූ "විවේකාරාමය" පංසලට අපි හැම පෝයටම යන්න පටන් ගත්තේ මේ "පංසල් උනේ" ප්‍රතිඵලයක් ලෙසයි . . .

එක පෝයක් නිමා වෙලා ඊලඟ පෝය එනකම් ඇඟිලි ගැන ගැන නොයිවසිල්ලෙන් බලා ඉන්න තරම් මේ "උන" උත්සන්න වෙලා තිබුනු කාල පවා තිබුනා . . .

"ඊලඟ පෝයට පංසල් යනකොට අපි කට්ටිය පාර්ලිමන්ට් බන්ට් එක පැත්තේ එකට ගිහින් ඕලු මල් කඩා එග්න එමුද . .. ?"

"නෑ අපි බෝ මළුවේ බිම එක එක හැඩේට පහන් පත්තු කරමු . . "

"අපිට මල් ගොඩාක් කඩාගන්න පුලුවන් උනොත් පංසල් එන අයට බුදුන් වදින්න නෙලුම් කොල වල දාලා මල් දෙන්නත් පුලුවන් . . "

අපේ ඔය වැනි අනාගත සැලසුම් අප සියලු දෙනාගේම නොයිවසිල්ල නොදනුවත්වම පිට වුනු අවස්ථාවන් වලට උදාහරන . . .

අනෙක් පංසල් වලට වඩා මේ "විවේකාරාමයේ" විශේෂත්වය වුනේ එකල මෙහි වැඩිපුර සිටියේ යෞවන යෞවනියන් හා තරුණ තරුණියන් වීම . . .

කෙසේ හෝ මේ පංසලට යාම් ඊම පටන් ගත් මුල් අවදියේදීම එක් රූබර යෞවනියක් මගේ නෙත් සිත් පැහැර ගත්තා . . .

ඈ මා තරම්ම පුංචි එකියක් . . . පිට මැදට වන්නට තිබූ ටිකක් ලොකු කර්ලි කෙටි කොන්ඩය ඇයට එක් කලේ අමුතුම සුන්දර පෙනුමක් . . . දුටු මුල් දිනයේදීම ඈ මා හා හොඳින් සිනා සුනා . . . ඕනෑ තරම් ගැහනු ළමුන් සමඟ චකිතයක් නැතුව කතා කරන්න බුහුටි කමක් තිබූ මට මේ ගෑනු දරුවා සමඟ කතා කරන්න වචන එකතු කර ගැනීම ඉතාමත්ම අපහසු කාරියක් වුනා . .

තවත් නෙත් හී සර පහර වල් එකක් දෙකක් මා කරා ආවත් ඒ සැම වලක්වා ඈ දෙස පමනක් අවධානය යොමු කරන්න බොහෝ අවස්ථාන් වල්දී පරිස්සම් වූවා කියා කීවොත් එය කෙසේවත් බොරුවක් නම් නොවේ . ..

ඈට තිබුනේ මුස්ලිම් නමක් . . . අපි ඈ ශබීනා කියා හඳුන්වමු . . . ඈ සිංහල මුස්ලිම් මිශ්‍ර විවාහයක ප්‍රතිඵලයක් . . මුස්ලිම් නමක් තිබුනා වුවත් ඈ පංසල් ඒම අපට කෙසේ වත් අරුමයක් නොවූයේ අපගේ තවත් ක්‍රිස්තියානි ආගමික මිතුරි මිතුරියන් පවා පංසල් යෑමත් බෞද්ධ වූ අප සමහර විටෙක පල්ලි යෑමත් වැනි හේතු නිසාවෙන්මයි . . .

දෙනෝ දාහක් සෙනග ගැවසුනු බන ශාලාවේ . . . සිත කුල්මත් කල සිලි සිලි නදින් පිරුනු බෝ මළුවේ . . . ගාම්භීර රජවරු සිටුවරුන්ගේ රූප ඇඳ, ශාන්ත බුද්ධ පිලිම නෙලා තිබූ විහාර ගේ ඇතුලත . . . මර්කරි ලයිට් එලියෙන් කිරි සුදු පාටින් දිදුලන චෛත්‍ය වටේදී . . මේ සියලුම තැන් වල මා දුටුවේ එකම එක රුවයි . . . ඒ රුව සිනහවක් පා මා අසලින් ගමන් ගන්නා සෑම වෙලාවකම මා සිටියේ පංසලට ඇතුලුවීමේ පඩිපෙල අසල තනා තිබූ මුර ගල තරම්ම ගල් වූ ස්වභාවයකින් . . .

විටෙක ඒ ගල් වූ ස්වභාවයෙන් මිදී වට පිට බැලූ අවස්ථාවක මා දුටුවේ නිතරමා මා ලඟින්ම සිටිනා මගේ මිතුරු දිලාශ් ද ගල් වී සිටි බවයි . . . ඔහුගේ නෙත් ගමන් කරනා දිසාවට නෙත් යොමු කල මට හැඟුනේ ඔහුගේ නෙත් සිත් පවා නතර වී ඇත්තේ ශබීනා අසල බවයි . . . මගේ හිතට දනුනේ හීනි ඉඳි කට්ටකින් මගේ හදවත සිදුරු කරනවා වැනි වේදනාවක් . . . එක් වරම මගේ මිතුරා ගැන මගේ හිතේ ඇති වුනේ ඊර්ෂ්‍යාවක් . . . වේදනාව ඈ මට නොලබේදෝ කියා ඇති වූ හැඟීමෙන් උපන් එකක් වූ අතර ඊර්ෂ්‍යාව ඈ මට වඩා දිලාශ්ට කැමති වීමට තරම් සුදුසු කම් දිලාශ්ට ඇති බව මට පසක් වීමෙන් උපන්නක් වුනා . .

"ඒකි මේ මුස්ලිම් කෙල්ලෙක් මචං . . ."

"ඒකි එක විදිහක බඩ්ඩක් වගේ . . . බලපන් හැමෝටම පනාව දාන හටි . . "

"දාංගලේ නම් ටිකක් වැඩී වගේ එයාට . .. "

"එච්චරම ලස්සනක් නෑ නේ බං . . . "

"ඉගෙන ගන්න එහෙම බැරි මැටි ලූක් එකක් තියෙන්නේ එයාට . .. "

ඔය වැනි බොරු හේතු කාරනා මා විසින් දිලාශ්ටත් දිලාශ් විසින් මටත් හුවමාරු වුනේ හිතේ එක් කොටසක් වසාගෙන "අනේ මූට එයාව එපා වෙනවානම් " යන හැඟීමෙන් . . .

එක් දිනක් පංසල් ගිය ගමන් අක්කලා ටික අසල නිවසක මිතුරියක් වූ ගිම්හානි අක්කලගේ නිවසට ගියේ ඉක්මනින් නැවත පැමිනෙන බව අපට පවසා . . . එදින නිදහසේ හිතේ ඇති හැඟීම් කෙසේ හෝ ශබීනා ට පවසනවා යැයි මා මගේ සිතට ශපථ කරගෙන සිටි ලෙසම දිලාශ් ත් ඉන්න ඇති බව ඔහුගේ කතා බහෙන් මට වැටහී ගියා . . .

පැමිනි මොහොතේ සිට සෙව්වේ ඈ තනිවම කතා බහට අල්ලා ගත හැකි ඉඩ හසර ගැන . . . ඈ යන යන පසුපස අප දෙදෙනාද හොරෙන් හොරෙන් පියවර නැගුවේ . . . ඒ මොහොත කොයි වේලාවේ උදා වේදෝ කියා නොයිවසිල්ලකින් . . . අවසන බෝ මළුවේදී ඈ විසින්ම ඒ මොහොත අපට උදාකර දෙනු ලැබුවා . . . වැඩිපුර සෙනඟක් නැති අවස්ථාවක් බලා ඈ හෙමින් හෙමින් අප වෙත් පිය නැඟුවේ මුවේ සිහින් සිනා රැල්ලක් රඳවාගෙන . . .

දෙමෝලෙන් පිටි කොටනවා වැනිව මේ "ඩිග් . .. ඩිග්. . .ඩිග් . . " යනුවෙන් ඇසෙන්නේ මගේ හදවත ගහෙන රිද්මයද දිලාශ්ගේ හදවත ගහෙන රිද්මයද කියා සිතන්න ඉඩ ලබා නොදී අප වෙත පැමිනි ඈ ඇසුවේ . . .

"මල්ලී . . . කෝ මධූල චමිලලා . .. ???"

"ම්ම්ම්ම් . . . . ."

"මේ . . මේ . . මේ . . "

මල්ලී . .. ?????" ඒ මොන හරුපයක් ද . . දිලාශ් ත් මාත් නිරුත්තරයි . . . .

"අද ඔයාල දෙන්න විතරද ආවේ . . ."

නැවත ඇගෙන් ප්‍රශ්නයක් . ..

"නෑ . . . මේ . . . අක්කලා . . . එහා වත්තේ . . . ගිම්හානි අක්කලාගේ . . . ගෙදර ගියා . .. "අපහසුවෙන් හෝ තටම තටම පිලිතුරක් ලබා දීමට දිලාශ්ට හැකිවුනා . ..

"හා මාත් එහෙනම් එහේට යන්නම් . .. " ඈ ඉක්මන් ගමනින් අපෙන් වෙන් වුනා . . .

දිලාශ් යි මායි එකිනෙකාගේ මූනු දිහා බලා හිටියේ "මේ මොකද්ද බං වුනේ" කියා අසනු වැනිව . ..

පංසල් ගොස් එන ගමනේ දී වීදි පහන් නොමැති එක්තරා කළුවර අඩවියකදී අපගේ කුතුහලය සංසිදුවා ගන්න අප උත්සාහ කලා . . .

"මේ අක්කේ . . . අද මාර වැඩක් වුනානේ හලෝ . . "

"මොකද්ද . . ."

"ශබීනා ඇවිත් අපි දෙන්නට මල්ලී කියලා කතා කලානේ . . . "

"මොකද්ද ඒකේ තියෙන මාර වැඩේ . . . එයා අපේ වයසේ නේ . . . "

. . . .

"මල කෙලියයි . . . . "

"තව පොඩ්ඩෙන් ඇහුවනම් එහෙම උඹයි මායි සුනේ සුං . . "

දිලාශ්යි මායි කනට කර මුමුන ගත්තා . ..

Wednesday, October 28, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (පස්වන කොටස)


මෙතෙක් කතාව . . .

ඇගේ ටීන් බුක් එකයි ඔටෝ ග්‍රාෆ් එකයි මගෙ අතට ගත්තු ගමන් මටත් නොදැනීම ගියේ මගේ නහය ලඟට . . . අලුත් පාසැල් වාරයේ දී අලුත් පොත් ගත්තු ගමන් අව්ඥානවිකවම සුවඳ බලීමට අප හුරු වී ඇත්තේ එහි ඇති නැවුම් සුවඳ විඳ ගන්න. අලුත් ඇඳුමක් ගත්තු ගමනුත් අපි ඒ දේ කරන්නේ ඒ නැවුම් සුවඳට ලෝභකමේ . . . නැතිනම් ඒ අලුත් කියන හැඟීමට එපිටින් ඇති අපටම වටහා ගත නොහැකි කිසියම් අදෘශමාන වින්දනයක්, සුවඳක් විඳින්න . .

නමුත් ඇගේ ඔටෝ එකෙයි ටීන් බුක් එකෙයි එවන් නැවුම් බවක් නැති බව දැන දැන මම නහයට ලංකරලා සෙව්වේ ඇගේ ජීවන සුවඳක්ද . . . ඒ දෙකෙන් ගලා ආවේ ඈ ගල්වන සුවඳ විලවුන වල ශේෂ වූ සුවඳක්ද නැතිනම් ඈත් මාත් අපි හැමෝමත් කුල්මත් කරවන යෞවනයේ සුවඳද . . . පොපියන චමත්කාරයෙන් ඔද වැඩුනු මල් සුවඳක්ද . . . ඒ ගැන සිතන්න වෙහෙසීමක් නොගෙන මා ඔටෝ ග්‍රාෆ් එකේ රෝස පාට, කහපාට, ලා නිල්පාට, සුදු පාට පිටු පෙරලන්න පටන් ගත්තා . . .

පිටු මැද්දේ අභ්‍යාස පොතක කොලයක් හතරට ඉරා ඒ මත යමක් සටහන් කල කෙටි ලියමනක් . . .

"නිනෙශ්, ඔයා මාත් එක්ක තරහා නැති බව මම දන්නවා . . . ! !
ඔයා මේ දෙකේම ගැහැනු ළමයෙකුගේ නමින් ලියල මට දෙන්න . . .
අපේ අක්කා හරිම ඕපස් . . . මගේ ඒවා ඔක්කොම එයා බලනවා . . .
ඔයා නිනේශි කියලා ලියන්න . . .
එතකොට එයාට හොයා ගන්න බෑ . . .
ඉමාෂා . . . “

අප අතර වචන වලින් අදහස් හුවමාරුවක් සිදු නොවුනත් අහම්බෙන් දෑස් එකෙනෙක ගැටෙන මොහොතවල් වල දෙනෙතින් අපි අදහස් හුවමාරු කරගත් බව මේ වන තුරු ඈත් මාත් හැර වෙන කිසිවෙකු නොදන්නා බැව් අප දැන උන්නා . . . එසේ අදහස් හුවමාරු කර ගැනීමේදී ඈ විසින් මට අකාරුනික ලෙස බැන වැදීම ගැන ඈ කනගාටු වන බවත් . . ඒ වරදට ඈ සමාව ඉල්ලූ බවත් . . . එය ඇගේ පමනක් නොව මගේ ද වරද බැව් මා පැවසූ බවත් . . . ඈට ඒ සඳහා සමාව ඉල්ලීමක් අවැසි නැති බවත් . . . අප අපගේ දෙනෙත් හරහා පනිවුඩ හුවමාරු කාලය තුල පසක් කර ගනු ලැබුවා . . . දෙනෙතේ කතා ඈටත් මටත් පමනක් සීමාවූ රහසක් ලෙස සුරැකීම සිතට, කුමක්දෝ නොතේරෙන සිත හිරි වට්ටන බඳු හැඟීමක්ද වූවා . .. තවදුරටත් එම කාලය හිස මත තිබූ බරක් හිසින් අයින් කල විට දැනන තරම් සැහැල්ලුවක් සිතට ගෙන ආ කාලයක් පමනක් නොව මුහුනෙන් නිතර වෙන් වී නොයන සිනහවක් පවා රැඳවූ කාලයක් වූවා . . .

“මූ නිතරම පොල්කිච්චා වගේ හිනා වෙච්ච ගමන් මයි . . . උඹේ ජීවිතේ ඇත්තෙන්ම කිසිම ප්‍රශ්නයක් නැද්ද . . ?? “සමහර විට මගේ පැත්තෙන් මගේ පවුලේ දිලිඳු බවත් . . . ඒ දිලිඳු කම නිසාම මා පෙලූ කටුක අමිහිරි සිදුවීමුත් මා මගේ මිතුරන්ගෙන් වසන් කර ගත්තේ . . . මගේ ප්‍රශ්න ඔවුන්ට පවසා ඔවුන්ගේ හිත් වලට අනවශ්‍ය බරක් පටවන්නේ ඇයි යන හැඟීමෙන් . . .

"නිතරම නිනා වෙලා ඉන්නේ හිත ඇතුලේ දුක් කන්දරාවක් තියාගෙන . . . ඒ දුකට හඬන්න බැරි තරම් කඳුළු ගල් වෙච්ච උන් කියලා උඹලා අහලා නැද්ද . .. ??" මම පවසන්නේ සිනාවෙවී නිසාම එය සත්‍යක්ද . . . විහිලුවක්ද කියා වටහා ගැනීම මිතුරන්ට අපහසු වන්න ඇති . . .

එලෙස උපකාරක පන්තියේදී මා හේතුවක් ඇතුවක් නැතුවත් නිතර සිනා මුහුනින් ඉන්නා බැවින් මගේ වෙනස පංතියේ මිතුරන්ගේ දෙනෙත් වලින් වසන් කර ගැනීම පහසු වූවත් නිවසේදී මගේ හැසිරීම් ගැන නිතර සෙවිල්ලෙන් ඉන්නා වැඩිමහල් සොයුරියගෙන් වසක් කර ගැනීම අපහසුම කාරියක් වූවා . . .

"මොකෝ" අක්කා අසන්නේ මගේ ප්‍රීතිමත් සිනා මූන ඇගේ තීක්ශන දෙනෙතින් වටහා ගන්න තැත් කරමින් . . .

"ඇයි මොකෝ . . ." මමත් පිලිතුරු දෙන්නේ බොරු තරහක් මවාගෙන . .

"මොකෝ කියල තමයි මාත් අහන්නේ . . . "

"තමුසෙ මොකෝ කියල අහන්නෙ ඇයි කියලයි මාත් අහන්නේ . . " මාත් අතහරින්නෑ

"මොකෝ මේ තමුසේ තනියෙන් හිනා වෙන්නේ . . . "

"හරි වැඩක්නේ . . . දැන් හිනා වෙන්නත් තමුසෙගෙන් අවසර ගන්න ඕනද, මම දැනගෙන හිටියේ නෑ නේ . . .! !"

"තමුසෙට ඔච්චර ඩෝං යන්න දෙයක් මම කිව්වේ නෑ නේ . . . "

"ඩෝං නෙමෙයි . . වෙනදටත් මම තමුසෙගෙන් අවසර අරගෙනද හිනා වුනේ . . . "

"හරි හරි මල්ලී . . . අපිත් ඔය පංතියේ හිටියා හරිද . . අපිටත් තේරෙනවා යමක් කමක් . . . "

"තේරෙනවා නම් මොකටද ඉතිං තවත් අහන්නේ . . . "

"මට තේරුනු නිසා තමයි මම අහුවේ . . මට ඇහිලා තියෙනවා අපේ ස්කෝලේ දහය වසරෙ කෙල්ලෝ තමුසෙ ගැන කතා
වෙනවා . . . මේ අරයගේ අක්කා නේද . . අරව මේවා . . එන්න එපා අපේ කෙල්ලන්ට සෙවල හලන්න හරිද . . ??"

"අප්පෝ . . ඕ . . . සෙවල හලන්නම වැඩේ තමුසෙලාගේ ස්කෝලේ කෙල්ලන්ට . . . කොට්ඨාශෙම රූප සුන්දරියො ටික ඉන්නේ තමුසෙලගේ ස්කෝලෙනේ . . "

"ඇයි ඇයි මොකෝ ?? අපේ කෙල්ලෝ මොකද . .?? "

"තමුසෙලාගේ ස්කෝලේ ඉන්නෙ හලෝ ගොරෝ ගොරෝ වහින වෙලාවට වදින හෙනයක් වැදියන් කියල එලියට තල්ලු කරන්න හොද ජාතියේ ඒවා නේ . . ලස්සන කෙල්ලෝ කොහෙද ඒකේ ! ! !"

"උඹ වරෙන්කෝ ඊලග පාර අපේ ස්පෝට්ස් මීට් එක බලන්න . . . ගොරෝන කොට එලියට විසිකරන්න හොඳ උන්ට කියල ඉල්ලලා දෙන්නම් මම උඹට හොඳ පරිප්පුවක් . . "

"මොකෝ මොකෝ බං මේ . . . පැනි වරෙකෙට හෙන ගහලද . . . මෙච්චර වෙලා දෙන්නා සාංගං වෙලා පොඩි එකීට තඩිබෑවා . . . දැන් උඹල දෙනා කා ගනන්වා . . " අම්මා නතර කරන තුරු අපේ වාදේ දිගටම පවතින්නේ අප මුලින් රන්ඩු වුනේ කුමන හේතුවකටදැයි ටික වේලාවකින් අපටත් අමතක වන නිසායි

මගේ සිහින ලෝකය එක්වරම බිඳ වැටුනේ කිසියම් උවමනාවකට එලියට ගොස් නැවත් අසුන් ගත් තිලංශ මගේ ඇඟේ හැපුනු බැවින් . . .

"මොකෝ මේ කොල කෑල්ලක් දිහා බලාගෙන භාවනා කරන්නේ . . . මොකද්ද ඔය . . ?"

"මේ . . . මේ . . . ඉමාෂාගේ ඔටෝ එකයි ටීන් බුක් එකයි දුන්නා මට ලියල දෙන්න කියලා . . . "

එසේ කී පසුවයි ඔහුගේ නෙතට හසුවූයේ මගේ අතේ තිබූ දේවල් . .

"ඉතිං . . "

"එයා පොඩි ලියුම් කෑල්ලක් දීලා මේකේ ගෑනු ලමයෙකුගේ නමින් ලියන්න කියලා . . "

ක්ෂනයකින් ඒ කොල කබැල්ල උදුරා ගත් තිලංශ . .

"අපිට ඕන නෑ තරහා කාරයන්ගෙන් ලියුම්" කියා එය කීතු කීතු වලට ඉරා දැමුවේ අයියෝ ඒක සිහිවටනයක් ලෙස තියා ගන්න තිබුනා නොවේද . . . අඩු තරමින් මට එක තව පාරක් වත් බලන්න තිබුනානම් නේද කියා සිතෙද්දී . .

මගේ මිතුරන් ඈ පොදු තරහකාරියක් ලෙස සිතුවා වුවත් මට හැඟුනේ ඈ මගේ හිතේ ඈ කෙරෙහි තවදුරටත් තරහක් ඇත්නම් එය නැති කර ඈ මගේ මගේ සාමාන්‍ය මිතුරියක් තරමට වත් මිතුරු කමක් ඇති කරගන්නා අදහසින් එය මට දුන් බවයි . . .

ඇගේ බැල්ම ප්‍රේමාරාධනාවක් ලෙස හෝ ඇගේ හිතවත්කම ප්‍රේමයකට අඩිතාලමක් ලෙස සිතිය නොහැකි වැනි හැඟීමක් මා ඒ වනවටත් දවමින් සිටි නිසා කෙසේ වත් මා ඈ සම්බන්දව මේ මොහොතේදී නම් ප්‍රේමයක් හෝ ආදරයක් වැනි මාතෘකාවක් මුල් කරගෙන සබඳකමක් ඇති කර නොගන්නා බවට විශ්වාසයකුත් ඒ අතරම මා විසින් මා කෙරෙහි වූ නිසා මගේ නියම සිතුවිලි වටහානොගන්නා තිලංශ කෙරෙහි වුව මට දැනුනේ සියුම් අමනාපයක් . . .

මගේ සොයුරියගේ හොඳම මිතුරිය වූ කුමුදු අක්කාගේ පුංචි අම්මාගේ දියණිය වූ රූබර "ඕලු" හා මා අතර කුමුදු අක්කාගේ බාල සොහොයුරා වූ චරිත් මල්ලීගේ උපකාරයෙන් ඇතිවන්නට ගිය . . ඇත්ත වශයෙන්ම ඇතිවී . . . පිපී සුවඳ හමන්නට පාරමී පුරාගෙන කැලයේ පීදුනු මල් පොහොට්ටුවක් මෙන් වූ අපේ පුංචි ආදරය . . . පිපී සුවඳ හමන්නටත් ප්‍රථම රුදුරු දෑතකට මැදිවී අකාලයේ පරවූවක් මෙන් . . දුප්පත් පොහොසත් කම් වලට මානුශික හැඟීමවලට වඩා වටිනාකමක් ඇතැයි සිතූ කුමුදු අක්කාගේ බලපෑමෙන් විනාශවී ඒ වන විටත් වැඩි කාලයක් ගතවී නොතිබුනි . ..

එය විශාල වේදනාවක් ගෙන දුන් වෙන්වීමක් නොවුනේ අප අතර නොබිඳිය හැකි බැඳීමක් ඇතිවන්නට ප්‍රථම එහි මුල් අවදියේදීම එය කැඩී විසිරුනු නිසාවෙන්මයි . . ඒ හේතුවෙන්ම යලිත් එවන් වෙන්වීමක් දරා ගැන්මට තරම් මගේ සිත සවිමත් නැති බව හදවතේ එක් පසෙකින් කොඳුරා කියද්දී . . . හදවතේ අනෙක් පස යලිත් එවන් සෙනෙහසක හෝ ඊට වඩා ප්‍රේමනීය සෙනෙහසක බැඳෙන්න්ට බලකරමින් සිටියා කීවොත් නිවරදියි . . .

එසේ හදවතේ සෙනෙහස ඉල්ලා කෑගසන කොටසේ මනදොල පිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, සොයුරිය සමඟ ඔවුන්ගේ පාසැලේ ගැහැනු ළමෝ අඩු තක්සේරු කරමින් රන්ඩු වූවා වුවත් . . . ඔවුන්ගේ පාසැලේ මගේ සමවයසේ මානවිකාවන් අතුරින් ඕලුගේ හැඩහුරුකම් වලට සමාන, ඕලුට වඩා අහිංසක යුවතියක් යැයි හැඟුනු තාරුකා කෙරෙහි උනන්දුවක් ඇති වීම මට නොව යුවුන් වියට දඳුවම් ලබාදිය යුතු වරදක් ලෙස සිතුනු වාර අනන්තයි . . . . .

මා තාරුකා කෙරෙහි උනන්දුවෙන අතරවාරයේ දීම ඉමාශා හා මා අතරද අමනාපකම් දුරු වී මිතූකමක් ඇති වීම කෙසේ වෙතත් සතුරු කම් දුරුවීම මගේ මිතුරන් දුටුවේ මගේ සිතේ තාරුකාත්, ඉමාෂාත් අතර දෝලනය වන ප්‍රේමයක් ලෙසයි . . .

"මචං . . ඔන්න පිස්සන් කොටුවේ තද බල පිස්සු පොරක් හිටියලු . . හරිද . . " මිතුරන් කැල එකතු වී එලියේ විවේක කාල ගතරන අතරවාරයක තිලංශ පවසන්නේ මගේ දෙස හොර බැල්මක් හෙලමින් සාරංගටත් රුසිත්ටත් ඇසින් ඉඟි කරමින් . .

"ඉතින් . . "

"දවසක් ලොකු දොස්තරට ඕන වුනාලු මූව ටෙස්ට් කරන්න. ."

"ඒ මොකටද. . "

"මූට දැන් පිස්සු හොදයිද?? මූව ගෙදර යවන්න පුලුවන්ද කියලා බලන්න . . "

"හ්හ් . . ම් ම් ම්.. "

"ලොකු දොස්තරයා මූව ගෙනල්ල කිව්වලු . . . තමුසෙට දැන් සනීපයි . . . කියලා . . "

"මිනිහට හෙන හැපී වෙන්න ඇති . . "

"තමුසෙ ඉතිං ගෙදර ගිහින් මොකද කරන්න බලාපොරොත්තුව කියල දොස්තර ඇහුවලු . . "

"ජීවත් වෙන ක්‍රමේ. . ?"

"ඔව් . . මිනිහ ටිකක් කල්පනා කර කර ඉඳල කිව්වලු . . මම ගෙදර ගිහින් අඩු වියදමෙන් මී කතුරු හදන ව්‍යාපාරයක් පටන් ගනවා කියලා . . "

"දොස්තරට හරි සතුටු හිතෙන්න ඇති . . "

"ඊට පස්සේ ඇහුවලු අඩු වියදමෙන් කිව්වේ . . කියලා. . "

"පොර කිව්වලු මට ඕන කරන්නේ ලී කෑල්ලකුයි, කම්බි කෑල්ලකුයි, ඇන දෙකකුයි . . . කරවල කෑල්ලකුයි . . පොල් කෑල්ලකුයි විතරයි කියලා . . "

"දොස්තර හොල්මන් ලු යකඩෝ මේවායින් කොහොමද මී කතුරු හදන්නේ කියල . . "

"පස්සේ ඇහුවලු ඉතිං කොහොමද ඕවායින් මී කතුරක් හදන්නේ කියලා "

"මිනිහ කිව්වලු . . ලී කෑල්ලට ඇන දෙක පරතරයකින් ගහල, කම්බි කෑල්ල ඇන දෙකට ගැට ගහලා, දෙපැත්තේ කරවල කෑල්ලයි පොල් කෑල්ලයි තියනවා කියලා . . "

"දොස්තර ඇහුවලු ඉතිං මනුස්සයෝ එකෙන් කොහොමද මීයෝ මරන්නේ කියලා . . "

"පොර කිව්වලු මීයා ඇවිත් කම්බි කෑල්ල උඩ බෙල්ල තියල කරවල කෑල්ල කනවද . . පොල් කෑල්ල කනවද කියල දෙපැත්ත බල බල ඉන්නවා. . . එතකොට කම්බියට බෙල්ල කැපිලා මීයා මැරෙනවා කියලා . . "

"දොස්තර දැන ගත්තාලු මූට තාම හොඳටම පිස්සු කියලා ආ හරි හරි තමුසේ ආපහු වාට්ටුවට යනවා කියල හරෝලා යැව්වලු . . ."

"ඉතිං මචන් ඔය මීයා කරවල කෑල්ලද . . පොල් කෑල්ලද කියලා බෙල්ල කැපෙනකම් දෙපැත්ත බල බල ඉන්නේ නැතුව දෙකෙන් එකක් කෑවා නම් ඉවරයි නේද . . " සාරංග අසන්නේ මුකුත් නොදන්නා ගානට . .

"මේකනේ මචන් . . . පොල් කෑල්ල නම් පැනල දෙනවානේ . . . මීයට කලින්ම හිත ගියේ කරවල කෑල්ලටනේ . . " රුසිත් කරවල හා පොල් විශ්ලේශනයක . .

“හිත ගියේ කරවල කෑල්ලට වුනත් මීයා බයෙන් ඉන්නවානම් කරවල වල කටු තියෙයිද, පෙරේත කමට කන්න ගිහින් කරෝල කටු උගුරේ හිරවේද මරෙන්න වෙයිද වගේ කියල . . .එතකොට මොකද කරන්නේ . . “ මම හෙමීට කියන්නේ මේ කතාව මාට සම්බන්ධයක් නැති කතාවක් ලෙසට . . .

"ඉතිං දැන් තියෙන්නේ කරවල කටු ඇන ගන්න හරි කියල, ඇනිල මැරිච්චාවේ කියලා හිතල හරි කියල හිතලා කරෝල කෑල්ල කන එක තමයි" තිලංශ කථව නිමා කරන්නේ මට හෝ අපේ කාටවත් සම්බන්ධ කොට කියූ කතාවක් නොවේ යැයි හඟවන්න මෙන් . . .

තාරුකා හා සබඳ කමක් ඇති කර ගැනීමට හෝ අඩු තරමින් මිතුරෙකු ලෙස ලංවීමට හෝ ඇගේ යෙහෙලියක වූ මගේ අසල්වැසි මිතුරියකගේ සහය ලබාගැනීම හැර වෙන විකල්පයක් නොවූයෙන් මිතුරිය අත ඇයට ලිපියක් යැව්වේ ඒ වනවිට මා බලා තිබූ නවකතාවල අඩංගු ව තිබූ අලංකාරී වචනද, යොවුන් වියේ දඟකාර වචන හරඹයන් ද සමඟින් (ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න . . . ) ලිපියේ ඉහලින් ගීතයක කොටසක් ද ලියා තබමින් යැවූ ලිපියට පිලිතුරක් බලපොරොත්තු වූ මට ඈ ඇතුලු ඔවුන්ගේ මිතුරින් නඩයෙන්ම ලැබුනේ ජීවිතයටම අමතක නොවන දඬුවමක් . .

මා ලිපියේ සඳහන් කල ගීතය ඈ ඇතුළු ඔවුන්ගේ සියලු මිතුරින් සියලුම දෙනා එක්වරම මා පංතියට ඇතුලු වන විටම එක වරම ගායනා කර මා කිසිදා නොවිඳි අපහසුවකට මා පත් කල පසු තාරුකා ගැන මගේ හිතේ ඉපදුනු සෙනෙහස උපන්ගෙයිම මියෑදුනු සෙනෙහසක් බවට පත්වූ හෙයින් ඉන් මතු මා ඈ දෙස බැලීම පවා නතර කිරීමට සිතුවූ සිදුවීම මා තවදුරටත් ඉමාෂාගේ නෙත් දැහැනේ ම පැටලෙන්නට ඉඩසලසා දුන් සිදුවීමක් වුනා . . .

කෙසේ හෝ අවසන මා අහස පොලොව ගැටලන්නට මෙන් කල්පනා කරමින් සිට ඇගේ සමරු පොතේ කුඩා සටහනක් තැබුවා . . .

“පුන් කලස් මතුපිට පහන් දල්වනු විලස . . .
නොනිමි පහනක් වන්න සදහට අහිංසක හදකට . . . “


මතු සම්බන්ධයි . . .

Sunday, October 25, 2009

මහම්මා සහ දත් කුට්ටම . . . . !



අපේ අක්කගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා ඔවුන් දෙදෙනාගෙන් බාලයා චමිලා අක්කා, ඔවුන්ගේ අයියා දිලුම් අයියා, මල්ලී දිලාෂ් . . . දිලාෂ් සහ දිලුම් මට වටා වසර කීපයක් වැඩිමල් වුවත් අක්කා ව අචලා-චමිලා අක්කාලා ලඟින් ඇසුරු කරද්දී දිලාෂ්-දිලුම් මාව ලඟින් ඇසුරු කලා . . .(නම් ගම් මනඃකල්පිතයි)

ඔවුන්ගේ ගෙදර අපේ ගෙදරට ඉඳන් මීටර් පනහක් පමන දුරින් තමයි පිහිටියේ . . . ඔවුන්ගේ නිවසට ගොඩ වෙන්න නම් අඟල් හතක් පමන උස අඩියක පමන පළල, අඩි පහක් පමන දිග පඩි පඩි දහයක් පමන තරනය කරන්න ඕන . . . ඒ පඩි පෙල දෙපස එකපාර දහ-පාලොස් දෙනෙකුට ඉඳ ගන්න පුලුවන් විදිහට බැමි බැඳලා තිබුනේ . . .

බොහෝ දින වල සවස් වරුව අපි (සමවයසේ නමුත් තෝරා ගත් පිරිසක් - ඔවුන් ඒ පෙදෙසේ හැටියට පොහොසත් ගනයට අයිති වූ පවුලක් . . . අප ඒ ගනයට අයිති නොවුනත් කුමක්දෝ හේතුවකට ඒ තෝරා ගත් පිරිසේ අපත් සිටියා) ගතකලේ ඔවුන්ගේ පඩි පෙලේ තමයි . . .

ඔවුන්ගේ ආච්චී ට හැමෝම ආමන්ත්‍රනය කලේ මහම්මා කියලයි . . . කෙල්ලෝ කොල්ලෝ අපේ අක්කගෙයි මගෙයි යාලුවෝ වෙද්දී නංගීගේ හොඳම යාලුවා වුනේ මහම්මා . . . . (හික්ස්) ඒ මහම්මා ත් හරිම ජොලි පොරියක් . . . හරිම විනෝදයි . . වයස එතකොට 70ක් විතර වුවත් ළමස්සි වගේ තමයි කතාව, හැඩ වැඩ එහෙම . . . . කටේ එක ඔරි"ම"ජිනල් දතක් වත් නෑ . . . ඒත් කිරි සුදු පාට දත් සෙට් එකක් දාගෙන හිටපු නිසා කොල්ලෝ කෙල්ලෝ මැද්දට පැනලා බොරු දේවල් හරි කියලා දත් සෙට් එක පේන්න හිනා වෙන එක තමයි එයාගේ විනෝදාංශේ . . .

සමහර වෙලාවට මහම්මා මේ දත් සෙට් එක බුලත් හපනවා වගේ හපනවා . . . හපලා හපලා දිවෙන් පොඩි තල්ලුවක් දීලා තොල් දෙක උඩ දත් සෙට් එක තියෙනවා හරියට ගරායකා හිනාවෙනවා වගේ . . . අපිට අප්පිරියාවේ බැහැ . . . නමුත් එයාට ඒක හරි ජොලි වැඩක් . . . මහම්මා හරිම ආඩම්බරෙන් හිටියේ එයාගේ දත් සෙට් එක ගැන . . .

දවසක හවස් වරුවේ අපි චමිලා අක්කලාගේ ගෙදර ගිය වෙලාවක අනිත් අය කිව්වා චමිලා අක්කයි මහම්මයි නුගේගොඩ ජනතා පොලට ගියා . . දැන් නං එන්නත් වෙලා කියලා . . . අපිත් ඉතිං සුපුරුදු පරිදි පඩිපෙලේ වාඩිවෙලා පාරේ යන අයට කෝචොක් කර කර හිටියා . . . ටික වේලාවකින් ත්‍රීරෝද රථයකින් ඇවිත් දෙන්නම බැස්සා . . .

චමිලා අක්කා එලවළු බෑග් දෙකකුත් අරගෙන බැස්සා නෙමෙයි පැන්නා ත්‍රීරෝද රථයෙන් . . . හිනාව කට කපලා . . . කට කන්දෙක ගාවටම පලල් වෙලා . .

"මචංලා . . . "

"හපෝයි මාර වැඩේනේ වුනේ . . . "

මාර වැඩක් වුනු බවක් අපිට නම් පේන්න තිබුනේ නෑ . . . මහම්මා මූන බුම්මගෙන රියදුරාට ගාස්තුව ගෙවනවා . . .

"ඇයි ඇයි මොකෝ . . . "

චමිලා අක්කා මුකුත් නොකියා එලවළු බෑග් දෙක බිමින් තියලා බඩ අල්ලගෙන දෙකට නැමිලා හිනාව . . .

"කියපන් බං තනියෙන් හිනා නොවී අපිටත් . . . "

අපේ ඉවසීමේ සීමාව පනින්න ඔන්න මෙන්න . . .

"ඔන්න බං මායි මහම්මයි ජනතා පොලට ඇතුල් වුනා . . ."

"ඉතිං . . ."

"සෙනග සූ ගාලා . . ඒ අස්සේ හවස වැටුනු පොඩි වැස්සෙන් පාරේ තැන් තැන් වල මඩත් වෙලා . . . "

"ඉතිං ඉතිං . . ."

"මම මහම්මට කිව්වා මගේ අතින් අල්ලා ගන්න කියලා . . . "

"කෝ කිව්වට අහනවායැ . . . ළමස්සි වගේ සාරි පොටත් ඉනේ ගහගෙන තනියෙන් පන් මල්ලත් අරගෙන කැරකි කැරකි . . වටේ කඩවල් වල ඉන්න කොල්ලන්ට දත් සෙට් එක පෙන්න පෙන්න හිනා වෙවී . . . තනියෙම ආවා චන්ඩියා වගේ . . . "

"පලයන් බං බොරු නොකියා . . . " මහම්මා චමිලා අක්කගේ කතාව නතර කරන්න ට්‍රයි එක . . .

"නුගේගොඩ ජනතා පොලේ මචං කන්ද වගේ ටිකක් උඩට නගින්න එපයි . . "

"ඔව් ඔව් අපි නොදන්නේ මොකෝ . . ."

"මාත් වට පිට බල බල ආවේ ලස්සන කොල්ලෙක් වත් පොලේ ඇවිත් නැද්ද කියලා හිත හිත . . "

"හ් ම් ම් ම් ම් . . ???"

"උඹල දනවානේ පොලේ සමහර කඩ කාරයෝ නරක් වෙච්ච එලවළු විසිකරන්නේ කඩේ ඉස්සරහට කියලා . . . "

"මහම්මත් හිනාපාල වගේ වට පිට බල බල හිනා වෙවී ඇවිත් පාගලා එහෙම විසිකරපු ගෝවා කොලයක් . . ."

"හ් ම් ම් ම් ම් "

"නෑ . .. හ්. .. "

"මෙයාව අර කාටූන් එකක වගේ ලිස්සල ගිහින් වැටුනේ නැද්ද මුනින් අතට . . . "

"හපොයි . . "

"ලස්සන වැඩේ කියනනේ බං . . . මහම්මා මුනින් අතට වැටිලා . . නිකට පාරේ වැදිලා . . . වැදුනු පාර දත් සෙට් එක, උඩු ඇන්දයි යටි ඇන්දයි දෙකම ගැලවිලා ගිහින් මහම්මගේ කටේ ඉඳන් අඟල් අටක් විතර දුරින් බිම . . . "

"අයියෝ . . . "

"මට බං මහම්මව නැගිට්ටවන්න සිහියක් නෑ . . . මම බඩ අලාගෙන, උඩ පැන පැන හිනාවෙනවා . . . ලඟ පාත කඩේක කොල්ලෙක් ඇවිත් තමයි මහම්මව නැගිට්ටුවේ . . . "

"බොන්ඩි . . . ආයෙ නම් උඹත් එක්ක මම පොලේ යන්නෙ නෑ . . . " චමිලා අක්කට බැනගෙන මහම්මා පඩි ටික නැගලා ගෙදරට ගියා . . .

අපි ටික කඳුලු එනකම් හිනා වුනා . . .

Thursday, October 22, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (හතරවන කොටස)


පළමුවෙනි කොටස

දෙවෙනි කොටස

තුන්වෙනි කොටස

මේ අතරමං වූ ගතියක් දැනෙන ස්වභාවයෙන් මිදීමට මා කුමක් කල යුතුද . . . ? මේ හිරි වැටුනු වැනි හැඟීමක් දැනීමක් නැති ආකාරය කොපමන වේලාවක් පවතීද . . . හිස යාන්තමට ඔසවා වට පිට බැලූ මට මා වටා වූ සියලුම ජීවී අජිවී වස්තූන් පවා නිමේශයකට ගල් වී ඇති බවක් සිතුනා . . .

පුංචි කාලේ ආත්තම්මා කියා දුන් කතන්දර වල මෙන් . . .

"ඔන්න පුතේ . . ඒ මායාකාරී අර පුංචි කුමාරයාට සාප කලාලු කුමාරයයි . . . කුමාරයාගේ යාලුවෝ ටිකයි . . . අහල පහල තියෙන ගස් ටිකයි ඔක්කෝම ගල් වෙන්න කියලා . . . . "

"අනේ එයාලා හැමෝම ගල් වුනාලු . . . "

"ඔන්න දවසක් පුංචි කුමාරියෙක් අශ්වයෙකුගේ පිටින් මේ අහලින් . . . . ."

ෂිහ් මට මොනාද මේ හිතෙන පිස්සු කතා . . . . .

ඒත් ඇයි මේ ගසක කොලයක් වත් සෙලවෙන්නේ නැත්තේ . . .

හුලඟට හමන්න අමතක වෙලාද . . .

ගස් වැල් වලට හෙලවෙන්න අමතක වෙලාද . .

ඒ සිතුවිල්ල නිමා වෙන්නත් ප්‍රථම මගේ වැලමිට අසලින් කිසිවෙකු අල්ලනවා දැනී, ඒ සියලු පාෂානීභූත හැගීම් වලින් මිදෙන්නට හැකිවුනා . . .

තිලංශ ආදරණීය තිලංශ . .

එසේ මගේ වැලමිට අසලින් අල්ලාගත් අත මා මගේ දෑතින්ම අල්ලා තද කර ගත් පසුවයි දැනුනේ මා මෙපමන වෙලාවක් එවැනි ස්පර්ශයක් . . හවුහරනක් . . සහයක් . . . සහයෝගයක් . . ලැබෙන තුරු අපමාන නොයිවසිල්ලකින් සිටින්න ඇති බව

"ගනන් ගන්න එපා නිනේෂ්. . . " තිලංශ පැවසුවේ දයාබර හඬකින් . . .

"ඔව් ඔව් අමතක කරලා දාපන් . . " ඒ රුසිරු . . .

අමාරුවෙන් යලිත් වරක් හිස ඔසවා මිතුරන් තිදෙනාගේම මුහුනු මාරුවෙන් මාරුවට බැලූ මට මගේ මූනට හිනාවක් නගා ගන්න ගත් උත්සාහයේදී එය අසාර්ථක වී ඒ වෙනුවට මගේ කට ඇදවී ගිය බව මටම පසක් වුනා . . .

මා පත්ව සිටි අසරන තත්වය මගේ සියලුම මිතුරන් වටහා ගන්න ඇති . . . වෙන අවස්ථාවකදී නම් හූ කියා සමච්චල් කර සතුටු ගඟක් පිටාර යා හැකි සිදුවීමක් වුවත් මගේ දයාබර මිතුරු කැල මාව තවදුරටත් මා සිටිනා තැනින්, ඒ තත්වයෙන් පහල නොදැමීමට තරම් දයාබර වූවා . . . එසේ වෙන අයෙකුට මෙවැනි දෙයක් සිදුවූ විට නැගෙන හූ හඬවල් .. සමච්චල් හිනා හඩවල් . . උපහාස කතා කිසිවක් නොමැතිව මුනිවත රැකි ඔවුන් තත්වය සමාන්‍යකරනීය කිරීමට ඔවුන්ට හැකි පමන දායක වුනා . .

"මූන පොඩ්ඩක් හෝද ගනින් . . . එතකොට පොඩි ෆ්‍රෙශ් ගතියක් දැනෙයි නිනෝ . . . " මගේ සුරතල් ආමන්ත්‍රන නමින් මා ඇමතූ රුසිත් පිටට පොඩි තට්ටුවක් දැම්මා

"ඉක්මනට ඉක්මනට . . . පරක්කු වුනොත් සූ . . . . වක් ෂුවර් . . අනෙක සර් ගෙනුත් බැනුම් අහන්න වෙනවා . . ."

කිසි දෙයක් සිදු නොවූ හැඟීම ඇති කරන්න සාරංග සුපුරුදු පරිදි කලබලකාරී ලෙස දඟලනවා . .

වතුර ටිකකින් උගුර තෙමාගෙන මූනටත් වතුර ටිකක් ඉහගත් මා මිතුරන් කැල සමඟ ශාලාවට ඇතුලු වුනේ හොරකමක් කල එකෙක් මෙන් හොර බැල්මකින් වට පිට බලමින් . . . කිසිවෙකුගේ දෙනෙතකට මගේ දෙනෙත නොගැටීමට වඩාත් පරීක්ශාකාරී වෙමින් . . .

නමුත් එසේ විෂේශයෙන් පරීක්ශාකාරී වීමීදී සිදුනොවිය යුතු ලෙසම මගේ ඇස් නතර වුනේ මීට මොහොතකට පෙර එලියේ වතුර කරාමය අසලදී කාන්තිමත් දෙනෙතින් මා දෙස බලා සිට, මගේ අසංවර විහිලුවකින් සිත පෑරී මට බැන වැදුනු . . . නමුදු මේ දැං "අනේ මට සමාවෙන්න" වැනි යමක් දෙනෙතේ සටහන් කරගෙන ඇතුවාක් මෙන් මා දෙස බලා සිටින ඇගේ දෙනෙත අසලමයි . .

මින් පසු කිසිම අවස්ථාවක ඈ දෙස නොබලමියි මගේ හිතට ම ශපථ කරගෙන සිටි මට ඇගේ දෙනෙතේ ඇති ආකර්ශනීය බැල්ම දුටු වනම මගේ ශපථ කිරීම් කොහේ අතුරුදන්වී ගියාදැයි සිතා ගත නොහැකි වූවා . . . .

මගේ මිතුරන් කැල අසල පේලියක සිටින තවත් මිතුරන් පිරිසක් සමඟ කථාවක් . . . මා හිටි ලෙසටම නෙත් නොපියා ඇගේ දෙනෙත සමඟ කතාවක් . . එසේත් නැතහොත් ඒ දෙනෙතේ පනිවිඩය කියැවීමට දරන උත්සාහයක් . . .

මීට මොහොතකට පෙර සිහිවූ අත්තම්මා කියා දුන් කතන්දරයේ මෙන්, මායාකාරියගේ සාපයෙන් ඇයත් . . . මාත් පමනක් ජීවී වස්තූන් ලෙස ඉතිරි කර අනෙක් සියලුම දේවල් . . දාහකට වැඩි ප්‍රමානයක් වූ සියලුම සිසු සිසුවියන් . . බංකු-මේස . . . විදුලි පංකා . . මෙකී නොකී සියලුම දේවල් ගල්වී . . ඇයත් මාත් පමනක් එකෙනෙකා හඳුනාගැනීමේ වෑයමකින් එකිනෙකා දෙස නොත් නොපියා බලා සිටිනවා වැනිව මොහොතකට දැනෙන්න පටන් ගත්තා . . .

වජිරා චිත්‍රපටයට නන්දා මාලනී මහත්මිය ගැයූ ගීතයක් වහා එක්වරම මගේ හදවත ආක්‍රමනය කලාක් මෙන් දැනුනා . . .

"දෙනෝ දාහක් නුවන් අතරේ . . .

"දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා . . . .
තනිකලේ . . . .
තනිකලේ . . . .
පාසැල් බිමේ . . . "

වජිරාට සිතෙන්නට ඇත්තේත් මට මේ දැන් සිතෙන දේම වන්න ට ඇති . . . ඉමාශාට සිතෙන්නේත් වජිරාට සිතුනු දේම වන්නට ඇති . . . කියා මා ඒ මගේ සිත ආක්‍රමනය කල හැගීම ඒ පැත්තට මේ පැත්තට පෙරල පෙරලා බලන්නට වූවා . . . මෙය පාසැලක් නොවුනත් . . පාසැලට තරම්ම ගෞරවයක් . . ආදරයක් ඇති අධ්‍යාපන ආයතනයක් . . . එනයින් ඒ ගීතයේ පවසන සිදුවීමත් මේ දැන් අප අතර සිදු වෙමින් පවතින සිදුවීමත් දෙකක් නොව එකක් සේ හැඟීමක් දැනී ඒ හැඟීමේ වෙලී සිටින්න ලෝභ කමක් වැනි හැඟීමකුත් දැනෙන්නට වුනා

මා ආපසු ගොස් බංකුවේ වාඩිවී ඇතැයි අනුමාන කල තිලංශ ඔහුගේ කතාබහ නිමාවී ආපසු යන්නට පිටත් වීමේදී මා තවදුරටත් එතැන යැයි නොදන්නා කමින් එක් වරම මගේ ඇගේ හැපීමෙන් මා එතෙක් වේලා සිටි බන්ධනයෙන් . . . එසේත් නොමැති නම් නිද්‍රාමායාවක් බඳු තත්වයෙන් එක්වරම මිදෙන්නට වුනා . . . .

"සොරි නිනෝ. . මම හිතුවේ උඹ අපේ පේලියට ගිහින් ඉඳ ගන්න ඇති කියලා . . . "

"ම් ම් ම් ම් ම් . . . "

මගේ කෙඳිරිල්ලක් බඳු පිලිතුරෙන් විපක්ශිත වූ මිතුරන් තිදෙනාගේම නෙත් හා හිස් වහා මා වෙතත් . . . මගේ නෙත් නතර වී ඇති ඉස්සව්ව දෙසටත් එහා මෙහා දෙටුන් විටක් ගමන් කලේ මේස පංකාවක් ඒ පැත්තටත් මේ පැත්තටත් කැරකෙනවාක් මෙන් නමුත් ලතාවකට නොව වේගයෙන් . . . .

"උඹට පිස්සුද . . . මේ දැන් ටිකකට කලින් චා වෙන්න බැනුම් අහගෙන . . . මෙතන ඇවිල්ලා අනිමිස ලෝචනේ . . "

ඈ මට කතා කල ආකාරය නොහොඹිනා යැයි උපකල්පනක කරගෙන ඒ වෙනුවෙන් මාත් සමඟ හවුලේ ඈ සමඟ තරහ වීමට කැමති මගේ මිතුරන් පිරිසෙන් කටකාර ම එකා වූ තිලංශ පවසනවා . .

"යමං යමං . . . අනිමිස ලෝචනේ හරි සත් සතිය හරි පස්සේ වෙලාවක රඟ දක්වමු . . . දැං යමං ඉඳ ගන්න අන්න සර් එනවා පේනවා හෝල් එකට . . . "

සාරංග අපි හැමෝවම තල්ලු කරද්දී අපි කෝච්චියක පෙට්ටි මෙන් එකා පසු පස එකා වශයෙන් අපේ බංකුවට ගොස් ඉඳ ගත්තා . . .

පංතියට එන ගමන් මින් මතු ඈ දිහා නොබලමි . . . ඈ සමඟ කතා නොකරමි කියා සිතාගෙන ආවත් අහම්බයෙන් මගේ නෙත් ඇගේ නෙත් සමඟ ගැටීමත් . . . එසේ ගැටීමේදී ඒ නෙත් වල දුටු සමාව ඉල්ලන පනිවිඩයත් දුටු මට අපි ඉඳගෙන සිටි බංකුවට ආ පසුත් ඒ සිදුවීම ගැනත් ඈ ගැනත් නොසිතා සිටීම අපහසු කාරයක් බව වැටහුනා . . . කෙසේ නමුත් ඒ මොහොතේ සිට කෙසේවත් මගේ සිත පාඩම් වල නොරැඳී ඒ සිදුවීම පිලිබඳ නැවත විශ්ලේශනයක යොමුවුනා . . . .

මා විසින් සිදු කලේ බරපතල පාපයක්ද . . . එතරම් විශාල ආයුධ වලින් පහර දීමට තරම් මගේ මුවින් පිටවූ වචන අශෝභනයිද . . . ? මා තුල ඇති කලේ නොසන්සුන් බවක් . . .

එසේ වරෙක මා මගේම සිත විසින් චෝදිතයෙකු බවටද . . වරෙක පැමිනිලි කරුවෙකු ලෙසටද පත්කර මගේ සිතෙන්ම තීන්දු අසා සිටීමෙදී මට ලැබුනේ පරස්පර විරෝධී තීරන . . .

නැත කෙසේවත් නැත . . .මා කිසි වරදක් කර නැත . . මා විසින් කලේ. . මගේ මුවින් පිටාර ගැලුවේ මගේ වයසේ පසුවන ඕනෑම යෞවනයෙකු (විශේෂයෙන් මවගේ පරම්පරාවේ ජාන වලින් ලැබුනු අහිතකර ත්‍යාගයකැයි විටෙක සිතෙන මුඛරිකම හෝ වාචාල කම නොඅඩුව පිහිටි යෞවනයෙකු ) අසංවර ලෙස නොවුනත් අන් යුවතියන්ගේ සායවල් වල දිගට වඩා එක අඟලක් හෝ අඩුවෙන් ඇති සායක් ඇඳි ඕනෑම යුවතියකට . . මානවිකාවකට, ඒ යෞවනයාගේ සිතේ ඇගේ නිරාවරන වටොර දැකීමෙන් හටගන්නා කුතුහලය, ආශාව පිරුනු සිතේ පිටාර ගැලීම ගලා යා හැකි ආකාරයටය

ඉදින් වරදකරු මාද . . . ?

මවගේ පරම්පරාවේ ජාන වලින් ලද ත්‍යාගය වූ වාචාල කමද . . ?

නිරතුරුව, සමවයසේ මානවිකාවන්ගේ පිරුනු හෝ පිරීගෙන එන ලය මඩලක් එසේත් නැතිනම් නිරාවරනය වූ වටොරක් දැකීමේ කුතුහලයකින් පෙලෙන යෞවන වියද . . .?

මට කිසිවකට එක් වරම "මොහු තමයි වැරදිකාරයා . . " කියා ඇඟිල්ල දිගු කරන්න නොහැකි ලෙසක් දැනුනා . . .

මවගේ පරම්පරාවේ ජාන ගැන සිහි කරද්දී . . . මවත් පියාත් අතර කිසියම් බහින්බස් වීමක් ඇතිවී . . . පියා පැවසූ දේවල් වලට ඔහුගේ තර්කය හෝ අදහස සම්පූර්නයෙන් පරාද කල හැකි යමක් මව පැවසූ අවස්ථා වල පියා ඔහුගේ පරජය භාර ගැනීමට ප්‍රථම පවසන යමක් වහා මගේ මතකයට නැගුනා . . . .

"අහ් ඔයා ඉතිං මැගිලින් අක්කගේ දුවනේ . . . අම්මට වගේ දුවලටත් බැරුවායැ ඇට නැති දිව ඕන අතකට හරෝලා කට ගහල දිනන්න ඕන වාදෙකින් . . "

ආත්තම්මාගේ විශේෂ හොඳ ගුනයක් ලෙස මා දකින කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ මූනටම කෙලින් කියන ගතියට පියගේ ඇති අකමැත්ත ඔහු ප්‍රකාශ කරන්නේ එසේයි . . .

තවදුරටත් කල්පනා කිරීමේදී ඇයට එසේ මට බැන වැදීමට සාධාරන හේතු තිබුනා නොවෙදැයි කියා මට සිතෙන්නට වුනා . . . ඈ සිටියේ ඇගේ යෙහෙලියන් රැලෙන් වෙන්ව තනිවම . . .ඈ ඊටත් වඩා කොට සායවල් මෑට ප්‍රථම ඕනෑ තරම් පංතියට ඇඳගෙන විත් තිබුනි . . . ඇගේ සායේ දිග හෝ උස මීට පෙර මට ප්‍රශ්නයක් නොවූයේ මන්ද කියා ඈට නොසිතුනාද . . ? එය මීට පෙර මගේ නෙතට හසුවී එයට විරෝධයක් ඇත්නම් එය විහිලුවක් ලෙස මගේ මුවින් මීට පෙර එලියට නාවේ මන්දැයි කියා ඈට නොසිතුනාද . .

මෙසේ සිතද්දී ඈ එසේ බැන වැදීම ඇගේ පැත්තෙන් සිදුවිය යුතුම දෙයක් ලෙස මට සිතෙන්නට වුනා . . .

කෙසේ නමුත් පසුකාලයක මේ සිදුවීම ගැන සිහිකරද්දී සහ අපි කතා බහ කරද්දී එසේ ඈ මට බැන නොවැදුනානම් අප අතර කිසි කලෙක ආදරයක් ඇති නොවන්නට ඉඩ තිබූ බව අපිට පසක් වුනා . . . එලෙස බැන වැදීම හැර ඇගේ වයසේ වෙන මානවිකාවන් කරන පරිදි ඔරවාගෙන, රවාගෙන, ගස්සාගෙන පිටවී ගියේ නම් අප අතර ඉන් එහාට කිසිදු හිතවත්කමක් ගොඩනැගෙන්නට කොහොත්ම ඉඩක් නොතිබුනු බව අප තේරුම් ගත්තේ බොහෝ කාලයකට පසුවයි

ඒ සිදුවීමෙන් පසු එතෙක් වරා මලක් මෙන් නිදහසේ සතුටින් පංතියේ පා වෙවී උන් මා අනවශ්‍ය බරක් හිස දරා ගත්තෙකු ගේ මෙන් හැඟීමකුන් පෙලෙන්නට වුනා . . මෙතෙක් හැම කෙනා සමඟ ම සුහදව සිනා සී . . . යම් කිසි කවට කමක් කරමින් කල් ගතකල මට මින් පසු පංතියේදී යම් කිසිවකුගේ දෙනෙතක් මගහැර අන් අය සමග පෙර මෙන් සුහද ලෙස හැසිරිය යුතු බව මගේ සිතෙන් නිතර කරනු ලබන අනතුරු ඇඟවීම මහා හිසරදයක් ලෙස මට දැනෙන්නට වුනා . .

එලෙසින්ම අනෙත් අතට මා එසේ මග හරින්න හදන දෑසම මා පසුපස හඹා එනබව ත් මට ඉවකින් මෙන් දැනෙන්නට වූවා . . . විශේෂයෙන් ගැහැනු ළමයෙකු සමඟ කතා කරන අවස්ථාවකදී මගේ පසුපස ලුහුබඳින දෙනෙතෙන් වසන් වී පැවසීමට ඇති යමක් පැවසීමට මා දරන උත්සාහය තවදුරටත් මට හිරිහැරයක්ම වූවා . . . කෙසේ නමුත් ඒ දෑස මග හරින්න ගත් උත්සාහයේදෙ සිදුවූයේ තවදුරටත් මගේ දෙනෙතත් ඒ දෙනෙතේම පැටලීම පමනයි . . .

"මචං, උඹලට නිකමට හරි හිතිල තියෙනවද ස්වර්ණතිලකාව කවුරු හරි උස්සගෙන ගියා නම් උද්දාල බමුනා කොහොම මූන හදාගෙන ඉඳීවිද කියලා . . ."

" ම් ම් ම් හු . ."

"මේ බලපන් නිනේශ්ගේ මූන . . ෂුවර් එකටම මේ වගේ වෙන්න ඕන . . "

"නෑ නෑ බං ඊට වැඩිය හොඳ උදාහරනයක් තියෙනවා . . . "

"ඒ මොකද්ද . . "

"අර මචං ගගෙන් එගොඩ කරන්නම් කියලා දික්තලාව අරගෙන දික්පිටියා පැනලා ගිය වෙලාවේ . . . කාලගෝලයා ඉන්න ඇත්තේ මේ විදිහට . . ."

"අයියෝ දහයට අරගෙන දහදාහට දීලා වගෙනේ . . ."

"අඩෝ එහෙනම් සතුටු වෙන්න එපයි . . ."

"අහ් නෑ දහදාහට අරගෙන දහයට දීලා වගේ . .. "

"අනිච්චේ දුක්ඛේ සංසාරේ කිව්වලු . . . "

මගේ වෙනස් හැසිරීම මගේ මිතුරන්ගේ සමච්චලය නිතර ලක්වුනා . . . ඒ අතරම ඉමාශා ව මගේ මිතුරන් ඔවුන්ගේ පොදු තරහකාරියක් ලෙස සලකන්නට ත් පටන් ගනු ලැබුවා . . . .

මේ දිනවලදීම, පංතියේ පිරිමි පේලි වල ඉදිරියේ සිට තුන්වන පේලිවල සිටි මට ආසන්නයෙම අසුන්ගන්නා තිලංශත්, ගැහැනු පේලිවල ඉදිරියේ සිට තුන්වන පේලිවල අසුන්ගන්නා හිරුෂිත් අතර පෙම් සබඳකමක් ඇතිවීම දෛවයේ හාස්කමකින් සිදුවූවාක් මෙන් වූවා . .

ඉමාෂා ත් බොහෝ විට අසුන් ගත්තේ හිරුෂි සමීපයෙන් . . . ඔවුන් දෙදෙනා වෙනස් බාලිකාවන් දෙකක ඉගෙනුම ලැබුවා වුවත් කුමක් හෝ හේතුවකින් මෙන් ඔවුන් ළබැඳි මිතුරියන් වූවා . . . පංතියේ ඩෙස්ක් පේලි අතර ඇති ගමන් ගන්න හිස් තීරුවට ලඟින්ම ඉඳගැනීමට තිලංශ පුරුදු වූ සිටි අතර ඔහුගේ ලඟින්ම මම ත් ඊලඟට රුසිත් ත් සාරංගත් වශයෙන් අපේ අසුන් ගැනීමේ ගිවිසා නොගත් පුරුද්දක් තිබුනා වුවත් සමහර අවස්ථාවන් වලදී තිලංශ මට කෙලවර අසුන ලබා දුන්නා

සමහර අවස්ථාවන් වලදී පොතක් ඇතුලත දමා හිරුෂි හා තිලංශ විසින් කරනු ලබන ලිපි ගනුදෙනු ඉමාෂා විසින් මා හරහා තිලංශ ත් මා විසින් ඉමාෂා හරහා හිරුෂිට ත් වශයෙන් අතින් අතට යවනු ලබනවා . . . කෙසේ නමුත් ඒ සැම මොහොතකදීම ඇයගේ දෙනෙතේ වැඩි වේලාවක් නොරැඳෙන්න මා විසින් බොහෝ වෙහෙසක් ගනු ලබනවා . .

එසේ මා කෙලවරේ අසුන් ගත් දිනක අපි අතර විහිළු තහලු එහාට මෙහාට හුවමාරුවෙමින් තිබියදී එක් වරම ගැහැනු පේලි පැත්තෙන් නැගුනු ශබ්දයක් නිසා මා හිස හරවා බැලුවා . .

"ෂූ . . ෂූ. . ."

"අහපන් තාත්තා නයෙක් ද කියල . . . මෙයත් ෂූ ෂූ ගාන්නේ . . " ශබ්දය ඇහුනු පැත්තට හැරෙන්නත් කලින් තිලංශ මගේ කනට කර යමක් පවසනවා . .

ඉමාෂා ගේ අතේ පුංචි බබෙකුගේ පිට කවරයක් ඇති සමරු පොතක් හා මල් මල් පිටකවරයක් දැමූ ටීන් බූක් එකක් . . ඇගේ කාන්තිමත් දෑසේ අහිංසක බැල්මක් . .

ටීන් බුක් යනු පිටු අසූවේ එකසිය හැටක හෝ දෙසීයක අභ්‍යාස පොතක් එක කොටසකට පිටු දෙකක්, හතරක් හෝ පහක් වන ලෙස වෙන් කර කොටස් එසේත් නැතිනම් මාතෘකා පනහක් සීයක් හෝ ඊට වැඩි ගනනක් සඳහන් කර . . . මිතුරු මිතුරියන් ගේ ප්‍රියතම හා අප්‍රියතම දේවල් ගැන අදහස් හුවමාරු කර ගැනීමට එකල අපි භාවිතා කල අපගේ යෞවනයටම පොදුවූ විශේෂිත පොතක් . . . මෙහි දී අප බොහෝ විට ලාංකේය, බොලිවුඩ්, හොලිවුඩ් හා ලෝක සිනමාවේ හා කලාවේ අපගේ ප්‍රියතම නළුවන්, නිලියන්, චිත්‍රපටි, නාට්‍ය, පොත්, කතුවරු, ගීත, සිත සසල කල සිදුවීම්, වැඩියෙන්ම ආදරය කරන අය, ගෞරව කරන අය, පවුලේ විස්තර, අනාගත බලාපොරොත්තු ආදී වශයෙන් අප එතෙක් මෙතෙක් ජීවිතයේ අත්දැකීම් හෝ ඇසූ දුටු දේවල් අලලා මාතෘකා සකස් කර ගත් අමුතුම අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් . . . එසේ එයට යෞවනත්වයේ පොත හෙවත් ටීන් ඒජ් බුක් ලෙස අපම සකස් කර ගත් නමක්ද යොදා ගනු ලැබුවා . . සමහර අය මෙය ෆේවරිට් බුක් ලෙසත් හැඳින්වූවා ..

"ඇයි . . "

ඈ තරහකාරියක් ලෙස සැලකිය යුතුයි කියා පූර්ව නිගමනයන් තිබුනා වුවත් මගේ කටහඬේ තරහක් නොතිබූ වග මට තේරුනා . . .

"නිනේශ් . . . මේ මගේ ටීන් බුක් එකයි . . ඔටෝ ග්‍රාෆ් එකයි . . හරහා නැතුව ඔයා මේකේ ලියල දෙන්න පුලුවන්ද . . . "
එතරම් කාරුනික ඉල්ලීමක් ඉවත හෙලන්න තරම් මා දැඩි හදවත් ඇත්තෙක් නොවෙයි . . . .

"හ්හ්හ් ම් ම් ම් ම් . "

මම හෙමිහිට නමුත් ඒ දෑස් දෙස වැඩි වේලා නොබලන්නත් . . . ඇගේ ඇඟිල්ලක් වත් මගේ අතේ නොගැටෙන්නත් පරිසම් වෙමින් ඒ දෙකම ගත්තා . . .

මතු සම්බන්ධයි . . .

Sunday, October 18, 2009

මා උමතු ප්‍රේමවන්තයෙක් බවට පත්වී ඇති වග ඔබට නොවැටහෙන්නේ මන්ද . . . . ??


ඔබ දන්නවාද මගේ හදවත ඔබේ හදවත සමඟ සල්ලාපයක වග . . .
ඔබට ඇසුනාද මගේ හදවත ඔබේ හදවතට කියූ ඒ සුන්දර රහස . . . .
කුමක්ද මට මේ දැනෙන නුහුරු හැඟීම . . .
ප්‍රේමිය . . .
මගේ සිතේ ඔබ වෙනුවෙන් ආදරයක් ඉපදිලා . . .
ඇයි මම මෙතරම් නොසන්සුන් වෙලා . . .
මටත් සිතා ගත් නොහැකියි ඒ මන්දැයි කියා . . .
මා උමතු ප්‍රේමවන්තයෙක් බවට පත්වී ඇති වග ඔබට නොවැටහෙන්නේ මන්ද . . . .
ඔබේ නොසැලකීම් හමුවේත් . . . නොරුස්සනා බැලුම් හමුවේත් . . නොසැලී . .
මගේ ප්‍රේමය ගඟක් සේ ගලා යනවා ඔබට නොපෙනේද . . . ?
සයුරක් සේ රළ බිඳී පෙරලී වෙරලටම ඇදී එන සේ . . . එය ඔබේ පාමුලටම ඇදී එනවා ඔබට නොදැනේද . . . ?
මගේ පන වන් දයාබරිය. . .
සුන්දර ප්‍රේමනීය සමනලිය . . .
ඔබේ සියුමැලි කන මගේ ළයට කිට්ටු කර අසා බලන්න මගේ හද ගැහෙන රිද්මය . . .
එහි ගැයෙන්නේ මා ඔබට ආදරෙයි . . මා ඔබට ආදරෙයි කියා නොවේද . . .
ඔබ එය හඳුනා ගත්තා නම් . . .
ඔබත් මට ආදරේ වනවාට කිසිදු සැකයක් නෑ . . . මට විශ්වාසයි . . .

ඔබ සිතනවාද ඔබ මගෙන් ඉල්ලීමක් කලොත්
ඔබට අවැසි රාත්‍රියේ සිසිලස දෙන චන්ද්‍රයා කියා . . .
නැතිනම් . . .
චන්ද්‍රයාට ඔමරි පාමින් දිදුලන තරු කැටයි කියා . . .
මා ඒ සියලු දේ ඔබ හමුවේ ගෙනත් තබන්න පැකිලේවි කියා . . .
ඔබ මොහොතට වත් සිතනවාද . . .
. . . .
මේ නිල් අහස් ගැබ සරසන වලාකුලු ඔබේ නෙතට බාදාවක් නම් . .
මා ඒවා ඔවුන් ආ දිහාට ම තල්ලු කොට දමන්නම් . . .
මේ මල් සුවඳ රැගෙන හමායන සීතල සුලං . . ඔබේ සියුමැලි ගතේ හීගඩු නංවනවානම් . . .
මා ඔබ වටා පවුරක් මෙන් සිට සීතල සුලඟට ඔබ අසලකට වත් නො එන්න දෙන්නම් . .


ලෝක පාලන දෙවියනේ . . .
ඔහුගේ මේ උමතු ප්‍රේමය මට විඳින්නට නොහැක්කේ මන්ද . . .
සැමදා මා ජිවිතයෙන් පැතුවේත් මෙවැනි සුන්දර ප්‍රේමයක් ම නොවේද . . .
මෑතින් නිලට නිලේ උතුරා යන ගංගාවක් තිබිය දීත් . . .
ඈතින් පෙනෙන සහරාව දිහා මා නෙත් යොමා ගෙන . . .
මේ සා පිපාසාවේ මියැදෙන්නට තන්නනේ මන්ද . . . ?

ප්‍රේමිය . . . ඔබ නොමැති ව මේ කිසිවකින් මා සෑහිමකට පත් නොවන බව ඔබ දන්නවාද . . .
මේ මුලු ලෝකයම වුවත් මට ඔබ පාමුල තැබිය හැකියි . .
මගේ හද ගැහෙනා රාවය ඔබ කෙදිනක හෝ වටහා ගත් දිනට . .
ඔබත් පෙරලා මගේ හදවතට ආදරය කරන බැව් මා දනිමි . . .
අහෝ ඒ දිනය මෙතරම් පමා වන්නේ මන්ද . .. ?

අනේ මගේ පැරනි මතකයන් . . .
වරදවා වටහා ගැනීම් . . .
මේ අක් මුල් ඇයි මාව මෙතරම් තදින් බැඳ දමා තිබෙන්නේ . . .
මගේ හැම මතකයක් ම . . මගේ හැම සිහිනයක් ම . ..
මා ඔහුගෙන් වෙන කර තැබීමට ම මට බල කරනු ලබන්නේ කිනම් පාපයකටද . . .
මගේ හිතවතුන් . . ළබැඳියන්
මා ඔහුගෙන් වෙන් කිරීමට කැස කවන්නේ මන්ද . ..
මේ වරදින් මා නිවරදි කොට ඔහුගේ දඟකාර ප්‍රේමයේ මට සතුටින් ඔකඳ වන්නට . . .
අනේ දෙවියනේ මට ශක්තිය ලබා දුන මැනවි . . .

සොඳුරිය,
ඔබගේ දෑතේ පහස නොමැතිව මට මියෑදෙන්නත් නොහැකි බව ඔබ දනීද . . .
ඔබේ සිනිදු දෑඟිලි මගේ හිස පිරිමදින සුවය විඳිනට
මගේ හිස කෙස් කෑගසා කරන ආයාචනය ඔබට නොඇසේද . . .
ඔබ කෙසේ මා පිලිකෙව් කලත් . . .
මට ඔබෙන් වෙන්වී යා නොහකි බැව් ඔබ දනීද . . .
පූසි පැටියෙක් ආදරයෙන් ළයට තුරුළු කර ගන්නා මෙන්
ඔබ මගේ ළයේ හිස තබාන පිරිමදින අයුරු මා සිහින මවනා බව ඔබ දනීද . . .
මගේ ආදරයේ සුවඳ ඔබ තේරුම් ගන්නා තාක් කල්
මට ඉවසීමෙන් ඔබ දිහා බලා සිටිය හැකි බැව මා ඔබට පවසමි . . .
එදාට මේ කුරිරු ලෝකයේ යදම් බිඳ මා ඔබ මගේ ම කර ගන්නා බැව් මා ශපථ කරමි

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Dil ne ye kahaahe dilse . .



මේ මා ආදරය කරන, මගේ හද සසල කල හිංදි ගීතයක් . . .

මේ ගීතය දැනට වසර ගනනාවකට පෙර ප්‍රදර්ශනය වූ ආක්ෂය කුමාර්,ශිල්පා ශෙට්ටී,සුනිල් ශෙට්ටී රඟපෑ "ධඩකන්" චිත්‍රපටයේ . . .

මුලින්ම මා මේ ගීතයට ආදරය කරන කාලයේ මෙහි තේරුම සම්පූර්නයෙන්ම මට කෙසේ වත් වැටහුනේ නෑ . . .නමුත් පසුකාලයකදී . . . හිංදි වචන එකක් දෙකක් එහෙන් මෙහෙන් අහුල ගෙන තේරුම් ගතහැකි කාලයේ ත් චිත්‍රපටයේ තේමාව අනුවත් මා අනුමාන කලා මෙහි වචන මේ ආකාරයෙන් විය යුතුයි කියා . . .


යක්කුන් අතර සුන්දර යක්කු ඇති බව ඔබ කෙදිනක හෝ අසා තිබෙනවාද . . . ඔව් මේ බ්ලොග් අවකාශයේ එවැනි සුන්දර යකෙක් සිටී . . ඒ අපගේ සිත් ගත් ප්‍රියතම පැරණි හා නවක හිංදි ගීත වල තේරුමත් . . . ගීතයත් අපට ලබා දෙන රුහුනුයකා යි . . .

මා ඔහුගෙන් ඉල්ලීමක් කලා මට මේ ගීතයේ තේරුම ලියා එවන්න කියා . . ඔහු හැරෙන තැපෑලෙන් මගේ ඉල්ලීම ඉටුකලා . . . (එයින් ඔහු තවදුරටත් ඔප්පු කලා තමා සුන්දර යකෙක් බව හික්ස් . . ) ඔහුගේ විද්‍යුත් තැපැල් පණිවුඩය දුටු වනම මට වැටහී ගියා ගීතයේ තේරුම මා සිතා සිටි ආකාරයට ඉතා කිට්ටු බව . . .

මේ සටහනේ අගට ඔහු මට ලියා එවූ ගීතයේ තේරුමත් එකතු කලා කිසිවෙකුට අවැසි නම් මේ ගීතයේ පදවැල් වල නියමම අරුත දැන ගනීම සඳහා . . . . ඉතිං මා කැමතියි රුහුනුයකා සහෝදරයාට විශේෂ ස්තූතියක් මේ සමග පිරිනැමීමට . . . ඒ සමඟම හිංදි ගී වලට ප්‍රිය කරන ඔබ සැමගෙන්, ඔහුගේ බ්ලොග් අඩවියට පා නගා ඔබ කැමති ගී රසවිඳ පසුව කමෙන්ටුවක් දමා ඔහු දිරිමත් කරන මෙන් මා කාරුනිකව ඉල්ලා සිටින්නත් කැමතියි . . .


Dil ne ye kahaahe dilse . . !
මගේ හදවත ඔබේ හදවත සමගින් පැවසුවෙ මෙයයි
මම ඔබට ආදරය කරමි මගෙ පන, මගෙ පෙම්වතිය,
මා කෙරෙහි විශ්වාස කරන්න මා නොසන්සුන්ව හිඳිමි,
ඔබද එය අත් විඳ බලන්න
මගේ හද ගැස්ම වටහා ගන්නට උත්සාහ කරන්න
ඔබත් මට ආදරය කරන්න

ඔබ මගෙන් ඉල්ලා සිටිත් නම් සඳද තරුද ඔබට ගෙනත් දෙන්නම්
මේ වලාකුළු, මේ සුළං නැවත හරවා රැගෙන එන්නම්
මා මේ දකින්නේ කුමක්ද? මට මේ සිතෙන්නේ කුමක්ද?
මා අසළ ගංගාවකි ඈතින් සහරාවකි
එහෙත් මෙතරම් පිපාසාව ඇයිදෝ

මුළු ලොවම ඔබේ පාමුල තබන්නෙමි

මගේ මතකයටත් මගේ සිහිනයටත් සෑම දිනකම පැමිනෙන්නේ ඔබමයැ
එතරම් ඔබ මට වද දෙන්නේ ඇයි
ඔබේ දෑතින් මිදී ඔබේ මගෙන් මිදී මම කිසි දිනෙක ඉවත නොයමි
මම නැවත ඔබ වෙතට එන්නෙමි
එය මගේ පැතුමයි එය මගේ පොරොන්දුවයි
ඔබව ලොවින් සොරකම් කොට රැගෙන යන්නෙමි
එතෙක් පොඩ්ඩක් ඉවසන්න

Thursday, October 15, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (තුන්වන කොටස)


පළමුවෙනි කොටස

දෙවෙනි කොටස

අප ඉගෙනීම සඳහා ගිය උපකාරක පංතියේ හිමිකරුවා වූ ගණිත ගුරුවරයා ඔහුගේ අධ්‍යාපන ආයතනයේ දහය වසර සිසුන් කන්ඩායම් තුනක් සඳහා සතියකට වෙන වෙනම පංති තුනක් පවත්වනු ලබනවා . . .

එකතරා කාලසීමාවකට පසු පුනරීක්ෂන පංතියක් පැවැත්වීමේදී නැතහොත් විශේෂිත ලෙස සකස් කල නිබන්ධනයක් එලි දැක්වීමේදී, පංති තුනේම සිසු සිසුවියන් එක් රැස් කර වඩා විශාල හා ඉඩ පහසුකම් සහිත නුගේගොඩ ‍YMBA ආයතනයේ ශාලාවක් වෙන් කරවා ගෙන පංති තුනේම අය එක තැනකට රැස් කරවා ශබ්දවාහිනී යන්ත්‍ර පවා යොදාගෙන සම්මන්ත්‍රනයක් ලෙස සමහර සෙනසුරාදා හෝ ඉරිදා දවසක පවත්වන විශේෂ පංතිය අප සැමටම නවමු අත්දැකීමක් වූවා . . බොහේ විට එවන් දිනයක් උදාවන තුරු අපි ඇඟිලි ගනිමින් සිටියා කීවොත් වඩා නිවරදියි . .

"මචං රුසිත් . . . උඹත් එනවා නේද මේ වීකෙන්ඩ් එකේ YMBA එකේ තියෙන සෙමිනා එකට . . . "

"නැතුව නැතුව . . .මම මේ ඒක එනකම් පුල පුලා බලා සිටියේ . . "

"ඒ මොකෝ . . "

"අපෝ මට මේ අපේ පංතියේ බටකොල ආච්චිලා ටික දැකල දැකල එපා වෙලා . . . අනිත් පංතියේ වත් නාග ලොවින් බැස නාලිය ගමනින් එන එරන්දතියක් ඉඳීවිද කියලා බලා ගන්න ඉන්නේ . . . "

"බලන් ඉඳපන් . . එරන්දතී නාලිය ගමනින් ඇවිත් ස්වයංවර මල්මාලේ උඹේ කරේ දානකම් . . . නැද්ද නිනේශ්? .. "

"මචන් . . ඔය එරන්දතී එන්නේ එතකොට බඩ ගාගෙනද . . .?"

"ඇයි උඹ එහෙම අහන්නේ . . . "

"ඇයි බං . . නා ලිය කියන්නේ හැපින්නට නේද . . . ? කොයි හැපින්නටද මචං කකුල් තියෙන්නේ . . "

"හූ . . . ඌ . . . . ."

"එහෙනම් ඉතිං නිනේශුයි මායි ඔය සෙමිනා එකට නෑවිත් ඉන්නම් . . " තිලංශ පවසන්නේ බොහෝම බැරෑරුම් විදිහට . .

"අඩෝ . . එහෙම කරන්න එපා . ." සාලින්ද බයවෙලා . .

"උඹල නැතුව . . විශේෂයෙන් නිනේශ් නැතුව අපිට ඉතිං හිත ගිය මාලිගාවක දොරට තට්ටු කරන්න බැරිවෙනවා . . ."

"ඔව් මූ නම් බය නැතුව ඕනම කෙල්ලෙක්ට ටෝක් කරනවනේ . . . "

"ඇයි උඹල දෙන්න නෑවිත් ඉන්න හදන්නේ . . . ?" රුසිත් අහන්නේ සැකයෙන් වගේ . . .

"ඇයි බං නිනේශුයි මායි වගේ හැන්ඩි කොල්ලෝ ඉන්නැද්දී ඇස් පෙන කෙල්ලෙක් ඇවිත් ස්වයංවර මල් මාලේ දායිද රුසිත්ගේ කරට . . " තිලංශගේ කතාවෙන් හැමෝටම හිනා . . .

"හරි හරි මල්ලී . . දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා . . . අපටත් දවසක හඳ පායනවා . . . නැද්ද කියලා බලමුකෝ . . . " රුසිත් කවකටු පෙට්ටියට තට්ටු කර කර පොඩි සින්දු කෑල්ලක් එකතු කරනවා කතාව මැදට . . .

"සාරංග මේ . . . උඹේ ඔය හඩු ඩෙනිම නැතුව වෙන ඕන එකක් ඇඳන් වරෙන් එදාට හොඳේ . . අපි මේ ගඳ සුවඳ නොදැනෙන උන් වගේ හිටියාට අනිත් ක්ලාස් එකේ කෑලි කැමති වෙන එකක් නෑ ඔය හඩු ගඳට . . . නැත්තම් අපේ ලකුනුත් කැපෙනවා . . "

"අඩෝ හාල්පොත වගේ මට තියෙන්නෙත් මෙච්චරයි . . මේක ඇඳන් එන්න එපා නම් මම නිකං එනවා . . . "

"අපෝ මූ එහෙම ආවොත් අපි ඔක්කෝටම හුලං තමයි . . ." තිලංශගේ කතාවෙන් හූ හඬ සිනා හඬ උතුරා යනවා . .

සොයුරියන් දෙදෙනෙකුට මැදිව, ඔවුන්ගේ මිතුරියනුත් . . . ගමේ සම වයසේ ළමෝ ගැහැනු පිරිමි බේදයක් නැතුව ඇසුරු කරමින් එක ගොඩේ හැදී වැඩීමෙනුත් . . . දහම් පාසලේදි ගැහැනු ළමයින් ඇසුරු කිරීමෙනුත් ලත් ආභාශයෙන් . . සම වයසේ අන් පිරිමි ළමයින් ගැහැනු ළමයින් ඉදිරිපිට සබකෝලයෙන් දනිස් වෙව්ලද්දී . . කිසි බියක් සැකක් නැතුව ඕනෑම ගැහැනු ළමයෙකු සමඟ සුහදව මූනට මූන කතා කිරීමේ හැකියාවක් මාහට තිබිණි . . .

ඒ හැකියාවෙන් උපකාරක පංතියේ ගැහැනු ළමයි සහ පිරිමි ළමයින් එක එක ආකාරයට ප්‍රයෝජන ලබා ගැනීමටත් පුරුදුවී සිටියා . . .

"නිනේශ්. . . අර දිල්ශිගෙන් අහපන් මචං මම එයා ගන බලාපොරොත්තු තියා ගත්තට කමක් නැද්ද කියලා . . "

"නිනේශ් . . සාරංග ට මේ මගේ ෆේවරිට් බූක් එක දෙන්නකෝ මම දුන්න කියලා . . . හෙට ක්ලාස් එකට එනකොට ඕකේ ලියලා ගෙනත් දෙන්න කියන්න . . "

"මචං . . හිරණ්න්‍යාට මේ ලියුම දීපන්කෝ . . "

"නිනේශ් අර ශිහාන්ට කියන්න මගේ පස්සෙන් එන්න එපා මම එයාට කැමති නෑ කියල . . "

ඔය ආකාරයට දෙගොල්ලෝ අතර සන්නිවේදන හුවමාරු කරුවෙක් ලෙසට මා පත් වීම මගේ ඒ හැකියාව නිසාම සිදුවූවක් . . . සමහර විටෙක එය මට කරදරයක්ද වූ වා . . .

"ඕක මම කියන්න ඕනෑයැ . . ඔයාම කියන්නකෝ . . ."

"අනේ මේ මට නම් බෑ මචං තෝල්ක වැඩ කරන්න . . "

කියා සමහ අවස්ථාවලදී ම මග හරින්න උත්සාහ කලා වුවත් අකමැත්තෙන් හෝ ඔවුන්ගේ පනිවිඩ හුවමාරු කිරීම බොහෝ විට මා විසින් සිදු කරනු ලැබුවා . . . ! !

. . . . .

ගණිත සම්මන්ත්‍රනය . . .

අපේ පංතියේ සුපුරුදු මූනු වලට අමතරව අනිත් පංති දෙකේ අප නොදුටු මූනු රාශියක් . . . කළු මූනු . . සුදු මූනු . . ලස්සන මූනු . . අවලසන මූනු . . රතු, කහ, නිල්, කොල, තැඹිලි, කලු, සුදු . . . සවුම්, සායවල්, කලිසම්, ෂර්ට් . . . නූල් එල්ලෙන, රෙදි පටි එල්ලෙන බැගී කලිසම්, සාක්කු රාශියක් ඇති කාගෝ පෑන්ට් . . . බුරිය ලඟට, බුරියෙන් උඩට, පශ්චත්භාගයේ මැදට, හිප් එකට ඇඳි කලිසම් . . සායවල් . . . විලාසිතා ලෝකයක් . . . සතුටු සිනා, විහිළුවට බැන අඬගසා ගැනීම්, එකිනෙකාට එරෙහි උපහාස, අපහාස මේ සියල්ලෙන් සපිරි ගණිත සම්මන්ත්‍රනය . . .

එකම කාල ගෝට්ටියක් වූ ශාලාව, ගුරුතුමා ඔහුගේ ගැඹුරු කට හඩින් "ළමයි . . . . " කියූ විගස සියල්ල නිශ්චල වන්නේ මහා ධාරානිපාත වර්ෂාවක් . . කිසියම් වූ අද්භූත බලවේගයකින් එක්වරම නතර කල ලෙස . . . ඒ නිශ්චලතාවය ශාලාවේ පසුපස කෙලෙවරේ සිසුවියකගේ කවකටු පෙට්ටියේ ඇති . . කොන්ඩ කටුවක් බිම වැටුනත් . . . ඉදිරි පෙළ වල සිටින සිසුන්ගේ කනට පවා ඒ ශබ්දය දැනෙන තරම් . . . !

කුලක . . දර්ශක . . . ත්‍රිකෝණමිතිය . . . සාධක සෙවීම . . . කුඩා පොදු ගුණාකාරය . . . මහා පොදු සාධකය . . . ශබ්දවාහිනියෙන් පිටවන වචන ශාලාවේ බිත්තිවල වැදී දෝංකාර දෙනු ලබනවා . . . ලොකු පොල්ගෙඩි ප්‍රමානයේ අකුරු රතු, නිල් මාකර් පෑන් වලින් විශාල සුදු කොල දැමූ බෝඩ් එකේ ඇඳෙනවා . . .ඉල්ලක්කම් කැපෙනවා . . කොල පෙරලෙනවා . . .

ඒ අතර අපේ හිත් (මගේ හිත ???) මේ කිසිම පාඩමක, අකුරක, ඉලක්කමක නොරැඳී ශාලාවේ සවිකර ඇති විශාල බිත්ති ඔරලෝසුවේ දෑස් නතරවී තත්පර කටුවත් . . විනාඩි කටුවත් සමඟ දබරයක පැටලිලා . . .

"මේ තමුසෙලාට ඔයිට වැඩිය හයියෙන් දුවන්න බැරිද ඕයි . . "

"අපෝ තමුසෙලා කැඳ බීලද ඉන්නේ . . ?"

"මේ මගුල් ඔරලෝසුව හදපු එකාට බැරි උනානේ මුන් දෙන්නට මීට වැඩිය හයියෙන් දුවන්න පුලුවන් විදිහට හදන්න . . "

"අයියෝ . . විවේක කාලෙට තව පැය භාගයක්ම තියෙනවා . . ."

එහාටත් නැතුව . . මෙහාටත් නැතුව හිත ඔහේ පාවෙනවා . . . ඒ අතර හිතට තරවටුවක් දාගෙන “මේ පිස්සු නැතුව පාඩම අහගනින් . . ගනන් හදපන් . .” අමාරුවෙන් ගනනක් දෙකක් හැදෙනවා ඔන්න . . .

"ළමයි . . . ඔයාලා දැං වතුර එකක් . . තේ එකක් බීලා විනාඩි විස්සකින් ආපහු එන්න ඕනා . . " ගුරුතුමාගේ වචන කනට මී පැනි වක්කරනවා වගේ . . . ඔහුගේ වාක්‍ය නිමාවෙන්නත් ප්‍රථම ළමයි එලියේ . . .

මිදුලේ වතුර කරාමය ලඟ පොදි ගැසුනු කොල්ලෝ, කෙල්ලෝ එකා පිට එකා පොර කනවා . . . වතුර බින්දු එහාට මෙහාට විසි වෙනවා . . . දෙකට නැමී වතුර බොන ගැහැනු ළමයින්ගේ කකුල් අසල නතර වුනු සමහර කෑදර දෑස් කාටූන් වල මෙන් බාලිකාවන්ගේ කකුල් ලඟටම ගොස් නැවත ආපසු පැමින ඇස් කුහර තුලටම රිංගනවා . . .

"ආ සුදු නංගී . . වතුර බොන්න ආවද . . ?"

"ආ සිරිපාල අයියා . . . අනේ නෑ . . මම මේ වතුර බොන්න ආවා . . . "

"හූ . . . ඌ . .. "

"අඩෝ . . .ව් . . . පීචං නොවී මෙහේ වරේ . . න්. . "

"ඒයි සෙවලයා . . . නෑවා ඇත්ද . . . ඉඳා සබන් . . "

"මචං . . ඔය කෙල්ලෝ ගලෝපු කලිසම ඇඳ අනින් . . හූ . . . "

පිස්සු විකාරයි . . . කට පියාන ඉන්න බැරි කොල්ලන්ගේ වචන පියාඹනවා . . . සමහ විසේකාර කෙල්ලෝ ඒවාට පිළිතුරු බඳිනවා . . . අසන්නෝ, ප්‍රේක්ෂකයෝ අත්පොලසන් දෙනවා . . . හූ කියනවා . . . ඇනුම් පද . . උපහාස කතා පුපුරා යනවා . . . සිනා උතුරා යනවා . . .

ඔය අතරේ අපි . . . සුපුරුදු පරිදි අන්තිමට කරාමය ලඟට යන අපි . . බලා ඉන්නවා අපේ එක් ප්‍රියතම බාලිකාවන්වූ . . . XXX බාලිකාවන් කරාමය ලඟින් ඉවත් වෙන තුරු . . .

අපේ මිතුරු කැලට සුහද සිනාවකින් සංග්‍රහ කරමින් ආපසු ටික දුරක් ගිය බාලිකා රැලේ එකියක් . . යලිත් වරක් කලබලයෙන් කරාමය ලඟට ආපසු දුවගෙන එනවා

ඒ වන විට දෙකට නැමී කරාමයට පහත්වී දෑතට එකතුවන වතුර බිබී උන් මා සිටි ඉරියව්වෙන්ම හරී බැලුවේ ඒ අඩි වෙනස් අඩි ශබ්දය නිසාවෙන්මයි . . .

එසේ මා මුලින්ම දුටුවේ . . . කළුපාට පටි සහිත විශාල වටිනාකමක් ඇතියි සිතුනු කාන්තා සපත්තු දෙකකින් සැරසි, මහත ද නොවූ . . කෙට්ටු ද නොවූ මනාව පිහිටි දෙකකුලක් . . . සිටි ඉරියව්වෙන්ම මගේ දෙනෙතේ බැල්ම සපත්තු දෙකේ සිට අඟලෙන් අගල . . . ඉහලට එසවුයේ හිසත් බෙල්ලත් ඒ සමගම ඉහලට එසවෙන අතරේ . . .

බත්කෙන්ඩ, දනහිස, දනහිසේ සිට අඟල් අටක් පමන ඉහලින් කළුපාට සාය වාටියක් . . . ඉන් ඔබ ඉනේ සිට දනහිසෙන් අඟල් අටක් ඉහලදී නතර වුනු තට්ටු දමා මැසූ කෙටි සාය සම්පූර්නයෙන්ම . . . ඉන් උඩට තද කහ පාට රෙද්දකින් සාක්කු දෙකක් ද සහිතව, කළුපට බොත්තම් අල්ලන පටියක් මැසූ කාන්තා කමිසයක් . . . බෙල්ලේ රිදී පාට හදවතක හැඩය ඇති පෙන්ඩන්ට් එකක් සහිත හීනි රිදීපාට චේන් එකක් . . . තලෙළු වුවත් ශර්මිලා තාගෝර්ගේ මුහුන බඳු කම්මුල් ටිකක් ඇතුලට ගිලී ඇති නමුදු ඇහැ යටදී කම්මු ටිකක් ඉස්සුනු ලස්සන මූනක් . . බෙල්ල ලඟට කෙටි වන්නට කොන්ඩය බොබ් කට් කැපූ . . . තද කලු බෝලැති දිගු දෙණෙත්තියක් මා වතුර බී නිමා වෙන තෙක් බලා සිටිනවා දුටු මා, දෙකට නැමුනු ඉරියව්වෙන් කෙසේ වෙනස් වී කෙලින් වූවා දැයි සිතා ගත නොහැකි වූවා . . .

ඇගේ සම්පූර්න රූපය ටිකෙන් ටික මා නැරඹුවා වුවත් එය සුලු නිමේශයක් පමනක්ම වෙන්න ඇති . . . එසේ ඈ දුටු මා ඉබේ සිට ගත්තාද නැතිනම් ඇගේ දෙනෙතේ කාන්තියේ බලයෙන් මා සිට ගැන්වූවාද කියා මට සිතා ගැනීම පවා අපහසු වූවා . ..

"පිස්සු හැදෙනවා . . ." (ඉබේ ම පිටවූ වචන . . )

"පුහ් . . මාරයිනේ . . . මෙයාගේ සායේ දිග . . . "

සුපුරුදු පරිදු මගේ වාචාල කට, දිව මා සිතන්නත් කලින් වචන එලියට විසි කරලා . .

ඒ වචන ඇසුනු සැනින් ඒ කන්තිය විහිදුනු දෑසින් ඊලඟට පිට වෙන්න ගත්තේ ගිනි දලු වැනි බැල්මක් . . .

"ඇයි මොකෝ . . . තමුසෙට අමාරුද . . . තමුසේ අරන්දීලද . . . තමුසෙගේ අප්පච්චි අරන් දීලාද . . "

වෙනදට කෙල්ලෙක් එකක් කීවොත් එකට හතරේ අනුපාතයෙන් පිලිතුරු දෙන මට මේ මොකද වුනේ . . .??

"කියපං මොනා හරි කියපං මොනා හරි . . " උඩු හිත කෑ ගසනවා

"මොනා කියන්නද . . . ?" මුලින්ම දුටු ඒ දෙනෙතේ කාන්තියෙන් වශීවූ යටි සිත පිලිතුරු දෙනු ලබනවා . . .

ඉක්මනින් වතුර බිව් ඈ මට රවාගෙන කරාමය ලඟින් පිට වුනා . . .

හූ හඩවල්, උපහාස කතා කිසිවක් නෑ . . .

මා උන් තැනම ගල්වී ඇතියි මට සිතුනා . . .

වට පිට බැලූ මා දුටුවේ මා පමනක් නොව මගේ මිතුරෝත්, xxx බාලිකාවෝත් ගල් ගැසී ඇති බවයි . . .

"ඉමාෂා . . උඹට පිස්සුද . . ?"

"පොඩි විහිළුවකට උඹ ඔච්චර තරහ ගන්න ඕනද. . ?"

"කොයි කොල්ලට බැන්නත් නිනේශ්ට බනිනවද. . "

ඌ විතරයි අපිත් එක්ක හොඳින් කතාකරන්නේ . . "

"ඌට කියලා දැං අපි මැසේජ් එකක් වත් පාස් කර ගන්නේ කොහොමද . . ?"

xxx බාලිකාවන්ගේ ශබ්දය ටිකෙන් ටික අඩු වෙමින් ගියා . . .

නමුත් මගේ කකුල් ? ?

කවුද මගේ කකුල් මැදි කරලා වටේට කොන්ක්‍රීට් දැම්මේ . . ? ?

"ඇයි මේ මගේ ඔලුව හිරි වැටිලා . . "

"මේ ලඟ තියෙන බෙලි ගහේ ගෙඩියක් වත් මග ඔලුවට වැටුනාද . . ?

මට හිතා ගන්න බැරි උනා . . . ! ! !

Wednesday, October 14, 2009

සත්‍යක්‍රියාවෙන් හෙලිවූ කටුක අමිහිරි සත්‍ය . . . . !


මගේ ගෙදර වැරැන්ඩාවෙ ඉඳගෙන ඉන්නකොට දැනෙන . . . ගේ ඉදිරිපසින් තියෙන වෙල් යායෙන් කුඹුරු මඩ කරන කාලෙට වෙල්යාය හරහා හමා එන සුලඟේ දැවටී එන ගඳක් දැයි සුවඳක් දැයි එක් වරම වටහා ගත නොහුනු . . . පිලී ගඳක් හෝ මඩ ගඳක් මෙන් (නිලට නිලේ දිදුලන වෙල් යායට ආසා කරන්නෙකුට සුවඳක් කියා සිතිය හැකි . . . වෙල මඩ නොකර නිල්ල කෙසේ දකින්නද . . ?) මිහිරි ද අමිහිරිද කියා එක් වරම වටහා ගත නොහැකි වූ . . . මා කලකට පෙර කියවූ පොතක තිබූ යමක් . . . මතක සුලං රැල්ලක් මෙන් මා වටා හමා ගියා (කියවූ පොතක් ගැන සිහිවූ නියාවෙන් මිහිරි වූද . . . එහි තිබුනේ කටුක සත්‍යක් බව හැඟීමෙන් අමිහිරි බවක් දැනුනි . .) . . . ඒ මතක සුලං රැල්ල මෙසේ මේ බ්ලොග් සටහන තබන්නට මට සහන් එලි දැලවූවා . . . !

පොතේ නම "කෙලෙස් පර්වත" ඒ පොත ගැන වෙනමම බ්ලොග් එකකින් පසුව ලියන්නම් . .

එහි එක් කොටසක ඒ කතා නායකයා ඔහු පදිංචිවී සිටින නිවසේ ගෙහිමි මහළු කාන්තාව එක්තරා බන පොතක් කියවනු අසා සිටිනවා . . . මගේ මතකයේ රැඳුනු ලෙසට ඒ කතාව මෙසේයි . . .

එක්තරා ගමක පවුලක ඔවුන්ගේ එකම පුතනුවන් සර්පයෙක් දෂ්ඨ කිරීමෙන් සිහි මූර්ජා වෙනවා . . . වෙදුන් ලඟට ගියත් ඔවුන් පවසන්නේ කල හකි යමක් නැති බවයි . . අවසන ගෙහිමි පුරුෂයා හෙවත් සැමියා මෙසේ පවසනවා . ..

"සොඳුර තවදුරටත් අපට කිරීමට ඉතිරිව ඇත්තේ මේ ගමේ වෙසෙන සිල්වත් ස්වාමීන් වහන්සේ හමුවට ගොස් ඔහුගේ පිහිට පැතීම පමනයි . . "

මෙසේ ඔවුන් එම ස්වාමීන් වහන්සේ හමුවේ කරුනු පවසා සිටියත්

"මා ඔවැනි වෙද හෙද කම් කිසි වක් දන්නා අයෙකු නොවේ " කියා එම සිල්වතා පවසනු ලබනවා . . .

"ඔබවැනි අයට සත්‍ය ක්‍රියා කිරීමෙන් හෝ යම් කිසිවක් කල නොහැකි ද?" යි සැමියා පැවසූ විට . . එම සිල්වතානෝ සත්‍යක්‍රියාවක් සිදු කරනු ලබනවා . .

"මා මේ මහන කමට අවංකව සිටියේ මුල් කලයේ පමනයි, ඒ සත්‍යයේ බලයෙන් මේ දරුවා සුවපත් වේවා . . "

මෙසේ එතුමාගේ සත්‍යක්‍රියාවෙන් පසු දරුවාගේ පපුව දක්වා විස බැස ගොස් දරුවා ඇස් හැර බලනු ලබනවා . .

"මීට වඩා මට කල හකි යමක් නොවේ ඔබලාත් සත්‍යක්‍රියා කර බලන්න " කියා එතුමෝ සැමියාටත් බිරිඳටත් පවසනු ලබනවා . .

සැමියාද සත්‍යක්‍රියාවක් සිදු කරනු ලබනවා . . .

"මා මේ සිල්වත් ස්වාමීන් වහන්සේලා මගේ නිවසට වඩිනවාට ත් අකමැතියි . . . නමුත් ඒ බවක් නොපෙන්වා නියම සැඳැහැවතෙක් මෙන් දාන මානාදිය කරමි . . ඒ සත්‍යයේ බලයෙන් මේ දරුවා සුවපත් වේවා . . . !"

ඔහුගේ සත්‍ය ක්‍රියාවෙන් පසු දරුවාගේ ශරීරයේ තිබූ විස දණහිස තෙක් බැස ගොස් ඔහු ඉඳගනු ලබනවා. . .

"දැන් නුඹත් සත්‍යක්‍රියාවක් සිදුකොට මේ දරුවා සුවපත් කරන්න" යි සැමියා විසින් බිරිඳගෙන් ඉල්ලා සිටිනවා . .

"මට සත්‍යක්‍රියා කල නොහැකියි . . ඔබ ඉදිරියේ කල නොහැකියි" කියා බිරිඳ පවසනවා . . . .

"කුමක් වුවත් කම් නැත . . . අපට අවැසි දරුවා සුවපත් කර ගැනීම නොවේද" යි සැමියා බිරිඳට බල කරනු ලබනවා . . .

අවසන බිරිඳද සත්‍යක්‍රියාවක් සිදු කරනු ලබනවා . .

"පුත . . නුඹට දෂ්ඨ කල සර්පයා මට කෙතරම් පිළිකුල්ද . . . ඔබේ පියාණෝත් මට එතරම්ම පිළිකුල්ය . . නමුදු මා කිසි විටෙකත් ඒ බවක් නොඅඟවා . . . ඔහුට ආදර ප්‍රිය බිරිඳක් ලෙසින් මෙපමන කලක් ඔහු සමඟ දිවි ගෙව්වෙමි . .. " ඒ සත්‍යයේ බලයෙන් ඔබ සුවපත් වේවා . . . . ! ! !

දරුවාගේ සියලුම විස බැස ගොස් යලි ඔහු ක්‍රීඩා කිරීමට දිව ගියේලු . . .

. . . . . . . . . . . . . . . . . . . . . . . .

ඒ පොතේ මේ කොටස කියවූ මට එය කෙතරම් කටුක සත්‍යක් දැයි වහා වැටහී ගියා . . . මෙය කියවන ඔබ විවාහකයෙක් නම් . . . අදහස් පල කිරීම අවැසි නැත . . . ඔබේ හදවතට පොඩි තට්ටුවක් දමා අසා බලන්න . . තමා හෝ තමාගේ පවුල් දිවිය සම්බන්ධයෙන් මේ කටුක සත්‍ය කෙතරම් දුරකට පෑහෙනවාද කියා . .. ! !

මා සිතනා පරිදි බොහෝ විවාහ වූවන් කල් යවන්නේ

"බැඳ ගත්තු බෙරේ ගහන්න එපැයි . . "

"ළමයි අනාථවෙනවාට වඩා හොඳයි ජීවිතේ මේ ඉතුරු කාලෙත් ළමයි වෙනුවෙන් හරි කියලා හිත හදාගෙන ජීවත් වෙන එක . . "

"කසාදේ අතහැරලා ගෙදර ගිහින් ගමට මූන දෙන්නේ කොහොමද . . ඊට වඩා හොඳයි මේ ඉන්න විදිහට ඉන්න එක . . "

ඔය වැනි බොහෝ හේතු තමන් විසින්ම ඇති කරගෙන . . අසංතෝශෙන් . . . සමහර විට බොරුව සතුටින් ඉන්නා බව පෙන්වමින් ජීවත් වීම තමයි වැඩි දෙනෙක් කරන්නේ . ..

මගේ හැඟීම එසේ නොවිය යුතුයි කියායි . . .

තනිවම ජීවත් වූ දෙදෙනෙක් විවාහ වෙන්නේ . .

"තනිකඩ ජීවිතේ දැං හිටියා ඇති . . "

"ජීවිතේට නව අරුතක් තිබිය යුතුයි . . "

"යහපත් දරුවෝ බිහිකරලා ඔවුන් හොඳ පුරවැසියන් කල යුතුයි . . "

"ගෙයක් දොරක් හදාගෙන ජීවිතයේ ස්ථාවර භාවයක් ගැන සිතිය යුතුයි . . "

මේ ආකාරයෙන් තමන් විසින් ම විවාහ දිවියක් සඳහා ඉත සිතින් කැප වෙන අයත් . . . දෙමාපියන් ගෙන් හෝ පවුලේ අයගෙන් එල්ලවන බලපෑමෙන් විවාහ දිවියට ඇතුල වන අයත් ලෙස වෙන් කල හැකියි කියා මට සිතෙනවා . . . කෙසේ නමුත් දෙමාපියන් හෝ පවුලේ බලපෑමට විවාහ වන අයත් එසේ කිරීමට එකඟ වෙන්නේ තමන් විසිනුත් "ඕන දෙකට මූන දෙනවා . . " කියා අධිෂ්ඨානයක් ඇති කර ගත් පසුව විය යුතුයි . . . කිසිවෙකුට කිසිවෙකුව බලෙන් කර කාර බන්දන්න හැකියාවක් නෑ නොවේද . . ?

අහිතකර ම දේ බොහෝ විට සැමියා . . බිරිඳ කෙරෙහි ඇති අකමැත්ත පිට වන්නේ දරුවන් මතින් වීමයි . . .

මා මෙය පවසන්නේ අත්දැකීමෙන් . . . මගේ කුඩා කල මවත් පියාත් දබර වූ අවස්තාවල් වල තාත්තා යකෙක් වගේ කියා මට සිතී තිබෙනවා . . . ඒ වෙලාවට වැරදීමෙන් හෝ අපි යමක් ඇහුවොත් ලැබෙන පිළිතුර බැනුමක් පමනයි . . .

තවදුරත් මා දැක තිබෙනවා . . සැමියා බිරිඳ දබර වූ අවස්ථාවල් වල කුඩා දරුවෙක් මවගේ ඇඟේ එල්ලුනොත් "මොන වදයක්ද මුන් ටිකත් හදන්නේ මාවම මරාගෙන කන්න " කියා දරුවන්ගේ ඇඟට කඩා පනින මව්වරුන් මා මගේ දෑසින් දැක තිබෙනවා ,ඒ කී කතා මගේ කනට ඇසී තිබෙනවා . .

එසේ දුටු මට . . ඇසූ මට . . විඳි මට . . මේ ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇතැයි මා සිතනවා . . .

බොහෝ විට එකිනෙකා කෙරෙහි නොරිස්සුම හට ගන්නේ සැමියා බිරිඳ අතර යහපත් සන්නිවේදනයක් නොමැති කමින් . . .

අප හැම දෙනාම සිතා සිටිනවා අපේ හිතේ තිබෙන දේ සහකරුවාට හෝ සහකාරියට දැනිය යුතුයි . . . හැඟිය යුතුයි කියා . . පරචිත්ත විඥානය නොමැති පෘතග්ජන මිනිසුන් වූ අපට කෙසේද අන් අයගේ සිත් කියවිය හැක්කේ . . ?

තවත් සමහර අය අන් අය ගැන වරදි උප කල්පනයන් කොට . . . තමා විසින්ම ඒකපාර්ශවිකව . . නැතහොත් තමාගේ මව හෝ පවුලේ අයෙක් ගෙන් පමනක් සාක්ෂි විමසා (බොහෝ විට විත්තිකරු සීනෙන් වත් සිතා නෑ ඔහුට විරුද්ධව පැමිනිල්ලක් ඇති බව වත් . .) විත්තිකරු වැරදිකරු ලෙස ඒකපාර්ශවික ජූරියේ තීරනය ලබාදී එතැන් සිට වැරදිකරුට දඩුවම් පමුනුවන්න පටන් ගනු ලබනවා . . . බොහෝ විට දඬුවම් විඳින්නා හාන්කවිසියක් වත් දන්නේ නැති වෙන්න පුලුවන් තමා මේ කුමන වරදකටද දඬුවම් විඳින්නේ කියා වත්. . .

උදාහරනයක් ලෙස සමහර අය අන් අය ගැන වරදි උප කල්පනයන් කොට . . . සහකරුට හෝ සහකාරියට ඉතා තදින් වෛර කරනු ලබනවා . . .

"ඔහු මට සලකන්නේ නෑ . . . "

"මට වඩා යාලුවෝ තමයි ලොකු . .. "

"එයා තාම පරන බෝයිෆ්‍රන්ඩ්ට තමයි ආදරේ . . මාව දැක්ක ගමන් මූන දෙක කර ගන්නවා .. . "

"එයාට වෙන ගෑනු ඉන්නවා ද කොහෙද . . "

"අම්මලගේ ගෙදර ගියොත් ඉවරයි, අම්මා විස පොවලා තමයි එවන්නේ මිනිහව යටත් කර ගනින් කියලා . . "

"කොච්චර එපා කිව්වත් ඒ මිනිස්සු එක්ක කතා කරන්න එපා කියලා මම කියන දේ අහන්නේ නෑ නේ . . "

"එයාගේ ගෙදර අය කිසි කෙනෙක් මට කැමති නෑ . . ඒක නිසා මට උන් කිසි කෙනෙක් එපා මූත් / මේකිත් එපා "

ඔය උදාහරන කීපයක් පමනක් විය හැකියි . .

විවාහ දිවියක තිබිය යුතු මූලික ම ගුනාංගය විශ්වාසය . . .

මගේ ආයාචනය නම් . . . මේ බ්ලොග් සටහන බලන ඔබ විවාහකයෙක් නම් ඔබ ඔබේ සහකරු / සහකාරියට වෛර කරමින් සිටින්නෙක් නම් . . . අදින් පසුව වත් ඒ හැඟීම ඉවතලා . . . ඔහුගේ / ඇයගේ ඔබ ඇකමැති දේවල් ඔහුට / ඇයට පවසන්න . . . (අසාධාරන ඉල්ලීමක් නොවේ කියා හැඟේ නම් ) ඒ ඔබ අකමැති දේවල් වලින් ඔහුට / ඇයට ඉවත් වී වෙනස් වන්න කාලයාට ඉඩදී ඉවසිලිමත් වන්න . . තමා ඔහුගෙන් / අයගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි වටහා දෙන්න . . . එකිනෙකාට වෛර කරමින් නොසිට ආදරෙන් . . මෛත්‍රීයන් සිටිමින් . . යහපත් දරුවන් සමාජයට දායාද කරන්න උත්සාහ ගන්න . . . !

Thursday, October 8, 2009

අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ . . . ! !


පුද්ගලික ජීවිතේ එක්තරා සිදුවීමක් නිසා පියවරු ගැන ලිපියක් ලියන්න ඕන කියල මගේ හිත කෑ ගසා ඉල්ලා සිටියා. . .

මම කලින් ලිපියක ප්‍රතිචාරයකට පිලිතුරක් ලෙස තබපු සටහනකිනුත් මම කිව්වා අපේ සමාජය නාමිකව පීතෘමූලික උනාට . . . ප්‍රායෝගිකව නැතිනම් තත්වාකාරයෙන් . . . මාතෘ මූලික යි කියලා . . .

මේ වටහා ගැනීම එසේත් නොමැති නම් ඒ අදහස මුල්බැස ගැනීම තුල පියවරුත් බොහෝ විට උත්සාහ කරන්නේ දරුවන් කෙරෙහි තමාගේ ආදරේත් මව හරහාම දරුවාට පෙන්වන්න . . .

දරුවෙක් "තාත්තේ මට මේ පාර අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගොඩා. .අ . ක් අරන් දෙන්න හොඳේ . . " වගේ ඉල්ලීම් ඉදිරිපත් කරන ආකාරයට හෝ නැතිනම් . . . "අප්පච්චී මේ, මට අලුත් බෑග් එකක් අරන් දුන්නේ නැතිනම් ලබන සඳුදා ඉදන් මම ඉස්කෝලේ යන්නේ නෑ හරිද . . ?" ආකාරයට නියෝගයක් ලෙසට හෝ තමන්ගේ අවශ්‍යතා පියාණන්ට ඉදිරිපත් කිරීමේදී . . පියාත් (බොහෝ පවුල්වල මුදල් උපයන්නා පියා බැවින් . .) මුදල් උපයන්නා ඔහු වුවත් "මං දන්නේ නෑ . . අම්මගේන් අහල බලන්න . . " කියා දරුවාගේ අවශ්‍යතා ඉටුකරන නියම පුද්ගලයා තමා වුවත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර දී ඒ වෙනුවෙන් දරුවාගේ සෙනෙහස, ආදරය නම්වූ ප්‍රතිලාභ ලබා ගැනීමට මවට ඉඩ කඩ සලසා දෙනවා . . .

දරුවාගේ හිතේ ඇතිවන්නේ "අපෝ අරූගෙන් ඉල්ලුවට මෙලෝ මගුලක් හම්බු වෙන්නෙ නෑ . . අම්මගෙන්ම ඉල්ලන්න ඕන . . " කියන හැඟීම නොවේද . . ? පියාගේ ගැඹුරු නිහඬ සෙනෙහසට වන්දි ලෙස ලැබෙන්නේ දරුවාගේ හිතේ ඇති වුනු කහට පැල්ලම පමනක් නොවේද . . ?

මව්වරු කීයෙන් කීදෙනෙක් "පුතා මේ . . . මම ඕක අරගෙන දුන්නට සල්ලි දුන්නේ නම් අප්පච්චියි . . . එක නිසා අප්පච්චිට කිස් එකක් දෙන්න මේක ඔයාට අරන් දෙන්න සල්ලි දුන්නට . . " ලෙස පියාගෙන් ඉටුවූ සේවය දරුවන් ලවා අගය කර වන්නට හෝ දරුවන්ට නියම තත්වය පිලිබඳ වැටහීමක් ලබා දෙන්නට උත්සාහ දරා තිබෙනවාද . . . ?

කුඩා කල සිට තමා ජීවත් වූ, ජීවත් වෙන . . තමාගේ ගෙදර පරිසරයේ සිදුවීම් සමඟ නිකමට සංසංදනය කර බලන්න . . . අතේ ඇඟිලි වලින් ගැන බලන්න අවස්ථා ගනන ගැන . . .

මේ තත්වයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස සමාජයේ බොහෝ අය සිතන්න පෙලඹිලා “මව්වරු පමනයි දරුවන්ට ආදරේ . . පියවරු දරුවන්ට ආදරේ නෑ” කියලා . . .

මවුගුණ ගී තරමට පිය ගුණ ගී ලියවිලා තිබෙනවාද . . . ?? පාසැල් මෑණියෝ කියනවා මිසක් කවදාවත් ඇසී තිබෙනවාද පාසැල් පියාණෝ කියනවා . . . ලංකා මාතා කියනවා මිසක් . . ලංකා පිතා කියනවද . . . මගේ මවු බස, මවු රට කියනවා මිසක පිය රට, පිය බස වගේ වචන අසා තිබෙනවාද . . . ?

දරුවෙක් ව දසමාසයක් කුසේ දරාගෙන නොසිටියාට . . . තමන්ගේ තනෙන් කිරි නොදුන්නාට . . . පිය සෙනෙහසට මව් සෙනෙහසට වැඩිය අඩු වටිනාකමක් . . අඩු තක්සේරුවක් ලබා දෙන්න . . . සමාජයේ අය පෙළඹිලා තියෙන්නේ . . . පියවරුන්ගේ අවාසනාවටම වෙන්න ඇති . . .

පියවරු ගැන පිය සෙනෙහස ගැන මගේ හිත සසලකල මේ අදහස් හා ලෝකයේ සියලුම පියවරු ගැන සිතේ ඇතිවුන වේදනාව සමනය කර ගනුවස් . . . පිය සෙනෙහේ ගැන ලියවුනු ගීත කිහිපයක පදමාලාත් මේ ඉහත කෙටි සටහනත් ලියා තැබීමට මා සිතුවා . . .



. . . . . . . . . . . . .. . . .

මුලු ලෝකයටම මා එපා වූවත් . . . නුඹට මා එපා නොවන බව මා දනිමි . . . ලෝකයේ කුරිරු කම් වලින් හිත රිදුනු මොහොතට . . . රිදුනු හිත සුවපත් කල හැකි ඔසු ඇත්තේ ඔබේ උනුසුම පිරුනු කැදැල්ලේ පමනක් කියත් මා දනිමි . . . ඔබට කිරුලු දරන්නට නොහැකි වූ ලොවේ ඔබේ මනසින් කිරුලු දැරුවේ දුක් මහන්සි වී ඔබ සරි කල මුදලින් මා ශිල්ප සතර හදාරා ඉහලට නගිනු බල බව ද මා දනිමි . . . එවන් වූ ඔබ මේ සංසාර සාගරේ මතු උපදින උපදින භවයක් පුරා මගේ ම පියාණෝ වේවා . . . ! !

මහා සාගරය තරම් වූ පිය සෙනෙහස පුතෙකු විසින් නිවරදිව හඳුනා ගත් එක් දුර්ලභ අවස්ථාවක් . . . ගීතය ගායනා කරන්නේ
අබේවර්ධන බාලසූරිය මහතා . .

පියාණනී මා නැවත උපන්නොත්

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ . . .
ඔබේ ම පුතු වේවා . . .
ඔබේ ම පුතු වේවා . . .

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා . . . //
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ . . . .

පියාණනී මා . . .

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොවම එරෙහි වී තනිවුනු මොහොතේ . . . //
ඔබේ පැලේ නැත දොරගුලු ලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියලෙන්නේ . . .

පියාණනී මා . . .

. . . . . . . . . . . .. . . . . . . . . . . ..

මව් ගුණ වෙනුවෙන් මවගේ දෙවුරින් දෑතින් අල්ලා මවගේ දෙපා නැමැද මුහුන සිඹ දොරින් නික්මෙන පුත . . . කුඩා කල මා ආදරයෙන් සිඹි එදා කිරි සුවඳ පිරුනු මුවින් හාදුවක් ඉල්ලා මගේ කම්මුල් කෑගසන හඬ නුඹට අසුනා නම් . . . මා දහදුක් විඳ සරි කල මුදලින් වැඩුනු නුඹගේ ශක්තිමත් දෑතේ පහස ලබන්නට මගේ උරහිස් කෑගසා කරන ඉල්ලීම නුඹට ඇසුනානම් . . . අනේ ඒ වාසනාව නොලැබීමට මා කල පව කිම . .. මූනිච්චාවට මගේ ලඟ දෙකට නොනැමී ආදරෙන් නුඹ මගේ පිට ටිකකට අතගා වත් පලයන් මා රත්තරං පුත . . ඒ ඇති මට . . . !

ගීතය ගයන්නේ ටී. එම්. ජයරත්න මහතා . . .

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් ඔබේ ලෝකය එලිය වුනී
රැකුමට පූතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලිය වුනා මදී

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ . .
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ . . .

මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ . . .

අම්මා සඳකි . . . .

. . . . . . . . . . . . . . . .

රෝස පෙත්තක් උඩ වහපු සමනල් පැටියෙක් වගේ අප්පච්චිගේ අතේ අපි සුරතල් වුනු කාලය අනේ අක්කන්ඩියේ මට නම් සිහිනෙන් දිව ගෑ සීනයක් වගේ . . . අම්මා අපට වැරදි වලට කෝටු පාර දුන්නත් . . . අප්පච්චිගේ සාගරයක් තරම් ආදරේ පිරුනු හිතට බෑ අපිට පොඩ්ඩක් වත් රිද්දවන්න . . අනේ එහෙව් අප්පච්චියි අම්මයි ලග තියාගෙන තේ වතුර උගුරක් පොවන්න අපිට වාසනාවක් නැතුව ගියානේ . . . ! අනේ ඇයි අපි හෙට වෙනකම් බලා හිටියේ ඔවුන් ගැන බලන්න . . . ඊයේ දවසේ අපිට යමක් කරන්න තිබුනානම් මේ හද රිදුම් දෙන වේදනාව නොලබන්න ඉඩ තිබුනා නොවේද . . ?

ගායනය මාලනී බුලත්සිංහල මහත්මිය . .

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ

ආ . . ආ . . ආ . . ආ . .

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහඩිය හෙලා මහ සාගරේ වගේ
ඔවදන් දෙවා අගන මුතු මැණික් වගේ
ඇති දැඩි කල අප සමනල පැටවු වගේ . .

ආ . . ආ . . ආ . . ආ . .

අක්කන්ඩියේ . . පොඩි කාලේ . . පොඩි කමට .. . //
කල වරදකට වත් තැලුවේ නැත අපට . .. //
සෙනෙහස තිබුනි උතුරා මහ මෙර උසට . . .
පියෙකුගෙ කඳුලු මුතු ඇට වුනු දරු පෙමට . .

ආ . . ආ . . ආ . . ආ . .

පියවරු සිටින දරුවන් හට තනි නැතුවා
මවුවරු සිටින දරුවන් හට තනි නැතුවා
මවුපිය වරුන් ඉර හඳ මෙන් ලඟ හිඳුවා
දරුවන් පාන හසරැලි අප හට නැතුවා

සෙනෙහස පුදා . . .

. . . . . . . . . . . . . . .

ඔහුගේ මුලු ජීවිතයම අපි යැයි සිතූ අප්පච්චී . . . ජීවිත කාලයම අපිට ඉහල නගින්න ඉනිමං තනා දී අපි ඉහලට නගිද්දී බිම සිට අපිට නොවැටෙන්න හයියෙන් ඒ ඉනිමඟ අල්ලා සිටි අප්පච්චී . . . ඉහලට නැගුනු පසු ඒ ඉනිමඟ දිගේ ඔබට උඩට එන්න අත දීම කෙසේ වෙතත්. . ඉනිමඟට පයින් ගසා අප බිම දැමුවත් . . . බිම සිට ම ඉහල සිටින අප දෙස නොත් නොපියා . . . ඔබේ උදව් අවැසි වෙන තෙක් බලා සිටින අප්පච්චී . . . අනේ ඔබ මියෑදෙන්න කලින් මේ දොලේ ගලා යන්නේ ඔබයි . . කෙතේ නිලට නිලේ දිදුලන නිල් ගොයමත් ඔබයි . . . මේ ගහ කොලින් හමා එන සුවදත් ඔබයි . . එහි පිපුනු මලුත් ගෙඩිත් ඔබයි . . කියා මට සිතුනේ . . . මගේ පෙර පිනකට නොවේද . . .??

ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහතා

අන්දර යායේ වැව් තාවල්ලේ

අන්දර යායේ වැව් තාවල්ලේ . .
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට . . කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට . . අප්පච්චී

වලාකුලේ දා බිඳු තවරා
මහ පොලොවට මහ වැසි ගෙනෙනා . . //
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පිතු සෙනෙහේ කඳුලැලි හලනා

අන්දර යායේ . .

තුරු හිස මුදුනේ මල් පලඳා
කැකුලු මුවට පල වල නෙලුවා . . . //
ඒදඬු මං බැද සත්කුලු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා

අන්දර යායේ . .

. . . . .

සුමුදු නානායක්කාරගේ කමෙන්ට් එක නිසා මතකය අළුත් වූ මේ ගීතයත් මෙතනටම එකතු කරමි.

"මට හමුවූ,පිය සෙනෙහස ගැන කියැවුනු අග්ර ඵලය වන් "පුජා"චිත්රծපටියෙ තේමා ගීතය මේ" සුමුදු නානායක්කාර

දරු දුක උහුලා

දරු දුක උහුලා........
තනිව වැලපෙනා.......
බුදු බව ලබනා.... පියවරු වෙසෙනා....
පු...ජා.... පුජා වෙවා.......

මහමෙර වැනි බර සිතින් උහුලනා......
කදුලැලි සමුදුර නෙතින් සන්ගවනා......
දරු දුක උහුලා තනිව වැලපෙනා......
බුදු බව ලබනා.... පියවරු වෙසෙනා....
පු...ජ.... පුජා වෙවා........

මව් ඇති දාටත් සෙනෙහස පුදනා.....
මව් නැති දාටත් තුරුලේ රකිනා.....
බුදු බව ලබනා පිය වරු වෙසෙනා.....
පු...ජා... පුජා වෙවා.....!!

Wednesday, October 7, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (දෙවන කොටස)


පළමු කොටස . . .

ගල් පොත්තේ සිට මීටර් දෙසීයක පමන දුරින් තවත් පොකුණක් . . . ඒ පොකුණ දුටු මට අපේ පොඩි මාමා නිතර කියන උපහාස කතාවක් සිහියට නැගුනා . . .

“කොල්ලෝ උඹ දන්නවාද ඇයි මේ අපේ ගමේ මෙච්චර පොකුණු තියෙන්නේ කියලා . . . “

අම්මගේ මහ ගෙදර හෙවත් ආච්චිලගේ ගෙදර ගිය විටෙක පොඩි මාමාත්, රීටා නැන්දාත් ඔවුන්ගේ දරුවනුත් සමඟ එලියේ ලොවි බංකුවේ වාඩිවී හවස තේ බොන වෙලාවක පොඩි මාමා මගෙන් ඇහුවේ ආච්චී කොහෙද කියා බලන්න ගේ ඇතුලට එබී බලන ගමන් . . .

“නැනේ . . .” මම සැකයෙන් වගේ කිව්වේ රීටා නැන්දගේ මූනේ තිබුනු අමුතු හිනාව දිහා බලාගෙන . . .

“ඔය ඩ්‍රැයිවර් මාමලගේ ගෙට එහා ගෙදර ජේමිස් සීයා දන්නවා නේද . . . ?”

“ඔ . .. ව්. . . “

“ඔන්න දවසක් ජේමිස් සීයා ගියාලු ගමේ මන්ත්‍රී තුමා, ස්ටැන්ලි තිලකරත්න මහත්තයා මුන ගැහෙන්න . . .”

“ඉතිං . . .”

“ඔය ජේමිස් කාරයා බං ලොකු පිට්ටනියක් මැද්දෙදි හරි කුඹුරක් මැද්දෙදි හරි වැස්සකට අහුවෙලා වගේ තෙමුනොත් මිසක් හත් අවුරුද්දකින් නාන්නේ නැති මනුස්සයනේ . . .” පොඩි මාමා සද්දේ බාල කරලා කිව්වේ ආච්චීට ඇහුනොත් අනුන්ට අපහාස කරනවා කියා බැනුම් අහන්න වෙන නිසාවෙන්මයි . . .

“ගිහින් තියෙන්නේ ගමට පොකුණක් හදල දෙන්න කියලා මන්ත්‍රී තුමාගෙන් ඉල්ලීමක් කරන්න . . .”

“අහ් මට ඉතුරු ටික හිතා ගන්න පුලුවන් . .. “

“ඉතිං ඔය මනුස්සයගේ නොනෑමට පින් සිද්ධ වෙන්න එක පොකුණට පොකුණු හතරක්ම මන්ත්‍රී තුමා හදෝලා දීලා . . .”

. . . .

ගල් පොත්ත දෙපසින් ගලා යන ඇලට බැස මාළු අල්ලමින් සිටි කුඩා වුන් කීප දෙනෙකු විසින් . . . මහ නියර දිගේ පිය නැඟූ මගේ ගමන මොහොතකට නතර කරනු ලැබ, මගේ සිත එක්වරම අතීත මතක චාරිකාවක රැගෙන යනු ලැබුවා . . . .

මගේ අක්කාත්, අපේ අසල්වැසි ඇගේ වයසේ තවත් මිතුරියන් කිහිප දෙනෙකුත් සමහර නිවාඩු දිනවලට කිළුටු රෙදි රාශියකුත් රැගෙන ඒවා සෝදන්නත් කුඩා නංගිලා මල්ලිලාව රැගෙන ඔවුන්ව නාවන්නත් මේ පොකුණට රැගෙන එන්නේ ඒ සියලුම වැඩ සඳහා ළිං හැම ගෙදරකම තිබියදී . . .

තනියෙම ළිඳ ලඟට වී ඒ වැඩ කරනවාට වඩා කට්ටිය එකතු වී ඕපා දූප කතාවෙන් , විහිළු තහලු කරමින් ඒ වැඩකටයුතු කර ගැනීම ඔවුන්ට අමතර විනෝදයක් වූවාට කිසිදු සැකයක් නෑ . .

පොකුනට හැරෙන කුඩා දෙවට අසල නිවසේ අක්කාගේ මිතුරියන් දෙදෙනාවූ මිරිස් ගෙදර අචලා - චමිලා අක්කලාට (ඔවුන්ගේ පියා මිරිස් වැවිලි කරුවෙක් හෙවත් මිරිස් ව්‍යාපාරිකයෙක් නිසාවෙන් ඔවුන්ගේ නිවස මිරිස් ගෙදර යනුවෙන් ගම්වාසීන් හඳුන්වනු ලබනවා . . ) අත වනනවා දකින නඩයේ එකියක් . . .

"උඹ නම් මධු ඔය නැට්ටිච්චියන් දෙන්නා හින්දා දවසක හොඳ පාඩමක් ඉගෙන ගන්නවා . . ." යි කියන්නේ ඔවුන් කෙරෙහි අමනාපයෙන් මෙන් . . .

"අනේ උන් දෙන්නා මගේ යාළුවෝනේ . . " යි අක්කා පවසන්නේ ඔවුන් ගැන උපන් කනගාටුවෙන් . . .

"මහ ලොකු යාළුවෝ . . උන් උඹ එක්ක දවස් කීයක් පෝයට පන්සල් ගිහින් තියෙනවාද .. ? තව එකියක් අසන්නේ "මගේ ලඟ රහසක් තියෙනවා . ." වැනි නටන ඇස් දෙක කරකවමින් . . .

"එයාලා හැම පෝයටම මාමලගේ ගෙදර යනවනේ නුවර . . !"

"අනේ පලයන් බං යන්න . . . බම්බු නුවර නෙමේ උන් උඹව හලලා නාග විහාරේ පන්සලට යනවා . . . "

"අනේ පලයන් බොරු කියන්නේ නැතුව . . "අක්කා කියන්නේ මේ කතා විශ්වාස කරම්දෝ නොකරම්දෝ දෙගිඩියාවකින් . . .

ඇය පත්වූ අපහසුව දකින ඇස් නටවමින් කතාකල එකිය "නෑ බං උඹවත් එක්කගෙන පන්සල් ගියාම උන්ගේ දිහා එක කොල්ලෙක් වත් බලන්නේ නෑ කියලා අචලා කිව්ව කියලා මට අපේ නංගි කිව්ව බං . . ."

ඔවැනි නොවැදගත් ඕපා දූප කතාකරමින් පැමිනෙන කෙල්ලෝ කන්ඩායම පොකුණට කිට්ටු වෙද්දීම ඔවුන්ගේ මාතෘකාව වෙනස් කරන්නේ . . .

"මේ උඹ දන්නවාද මේ ලඟදිත් අර ගල් පොත්ත උඩ මිනිහෙක් මරල දාලා තිබුනාලු"

"ඔව් බං . . අපේ සීයා කිව්වා එතන මහ දවල්ටත් හොල්මං තියෙනවා කියලා . .. "

“දැන් නිපුල් අයියලාත් ඔතනට සරුංගල් අරින්න වත් යන්නෑ කියල මට නිලංකාත් කිව්වා . ..

වැනි දේවල් අපටත් ඇසෙන සේ ටිකක් උස් ස්වරයෙන් ඔවුනොවුන්ට ඉඟි කරමින් පවසන්නේ පුංචි අප ගල් පොත්ත ලඟට ගොස් මාළු ඇල්ලීම වලක්වන්න බව අපට පසක් වුනේ අප විසින් කුඩා කල පමනක් නොව යෞවන වියද පසු කරද්දී . . .

වෙලට බසින තුරු ඒ හොල්මං කථා අපේ හිත් වල දෝංකාර දුන්නත් . . කුඩා වුන් කන්ඩායම ම වෙලට බැසීමෙන් පසු ඒ කිසිවක් මතකයේ නොරැඳී සෙල්ලම් කිරීම පමනක් හෝ මාළු ඇල්ලීම පමනක් කෙරෙහි ඇලී ගල්පොත්ත අසලටම ගොස් මාළු අල්ලන බව අක්කලාටත් ඔවුන්ගේ කතා ලෝකයේ කිරුලු දැරූ පසු අමතකව යාම අපගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට මඟ සැලසුවා . . .

"අයියේ ඔන්න ඔන්න ලොකු මාලුවෙක් . . ." කියා කෑගැසූ කුඩා ජංගියකින් යටි කය පමනක් වැසූ . . . පුංචි කොන්ඩ කෙටිය විහිදා හල පුවක් මල් දෙකක් ලෙසින් හිස්මුදුනට කර රබර් පටි දෙකකින් ගැට ගසා තිබුනු විශාල රවුම් ඇස් දෙකක් තිබූ ලස්සන කෙලි පොඩිත්තියක් නැගූ ශබ්දය මගේ සිහින ලෝකය එක්වරම බිඳ දමනු ලැබුවා . . .

පහත් වී ඩෙනිම් කලිසමේ කකුල් දෙක නමා ගෙන දන හිසෙන් ඉහලට වෙන්නට ඇදගත් මා . . . සෙරෙප්පු දෙක එක් අතකිනුත් . . පොත් ටික අනෙක් අතිනුත් රැගෙන කුඩා දිය පහරට බැස ගෙනම එය හරහා ගොස් ගල් පොත්තට ගොඩවුනේ මගෙ පා තැබූ තැන් වල බොර පැහැයට හැරුනු කලින් පෑදී තිබුනු ජල පහර ගැන කම්පාවකින් මෙන් බලමින් . . . . .

සෙරෙප්පු දෙක කාක බෝ ගස මුල තබා ඒ මත ඉඳගත් මා බෝ ගසට පිට හේත්තු කර පොත් ටික මා අසලින්ම බිමින් තැබුවේ ඇලේ වතුරින් වත් මුහුන ටිකක් සෝදා ගත්තානම් මේ දැඩි අපහසුවක් ලෙස දැනෙන වේදනාකාරී හැඟීමත් මුහුනේ වියැලුනු කඳුලුත් සොදා හරින්න තිබුනා නොවේදැයි හැඟීමෙන් . . . .

එසේ සිතුවත් ඉඳගෙන උන් තැනින් නැගිටින්නට වීරියක් නැති කමින් තමන්ගේ අත්පා තමන්ටම වලංගු නැති අංශභාග රෝගියෙකු මෙන් "අනේ මට මෙතනින් නැගිටින්නට බෑ . . " කියා සිතුනු සිතුවිල්ලට බිලිවී හිස බෝ ගසේ කඳේ අතුල්ලගෙනම ඉහලම අත්තක් දෙස බලා ගෙන යලිත් සිතුවිල්ලේ නිමග්න වූවා . . . .

බොහේ ඈත අතීතයේ නොව මීට වසර දෙකකට තුනකට පෙර වැඩිම වුනොත් වසර පහකට පෙර, කුඩා කොට කලිසමක් ඇඳගෙන මේ ගල්පොත්ත ම අසල වූ ගලා යන ඇලට බැස තවත් පුංචි උන් රෑනක් සමඟ මාළු අල්ලමින් ජෑම් බෝතල් වලට දැමූ පොඩි එකෙක් . . . . ;

නිපුල් අයියා ඔහුගේ විශාල සරුංගලය ත් රැගෙන වෙලට යෑමට අපේ ගේ ඉදිරිපසින් පිටත් වෙද්දී උඩට ටී ෂර්ට් එකක් වත් පයට රබර් සෙරෙප්පු දෙකක් වත් දමා ගන්න සුනංගු නොවී . . . සරුංගලේ පරිවාර සෙනගට එකතු වෙන්න සුසන්තිකා මීටර් සීය දුවනවාට වඩා වැඩි වේගයකින් දිව ගිය පුංචි එකෙක් . . . ;

අද ඒ හැම දේම අතහැර . . . ආදරයදැයි . . ?? . . ප්‍රේමයදැයි . . .??. . නොදන්නා යෞවන වියේ මායාකාරී සිතුවිල්ලකට රැවටී ඒ සියලු විනෝදාංශ ජීවිතයෙන් මෑත් කොට ගසකට හේත්තුවී දෙදන මත මුහුන හොවාගෙන වේදනාවෙන් කඳුලු සලන යෞවනයෙක් දෙස . . . ඔහුට ඉදිරියෙන් සිට ගෙන දුකෙන් දෑස් දල්වා බල සිටියා . .. .

"ඉමා . . ඔයට කවද හරි මාව එපා උනොත් " දවසක් බසයේ කෙලවරේම අසුනේ පෙම්බස් දොඩමින් උන් මා එක වරම මතෘකාව වෙනස් කරමින් කතාකරද්දී ඇගේ අතින් මගේ කට වැසූ ඉමාෂා . . .

"නෑ නිනේෂ් ඒක එහෙම වෙන්නෙ නෑ කවදාවත් . . ." කියා, කෙටි නිහඬතාවයකය පසු . . ..

"ඔයාට මාව එපා උනොත් මිසක . . . " කියා අගට තව කොටසක් එකතු කලා . . . !

අනාගතේ යම් කිසි දවසකින් ඈ වෙතට ගලා එන අද්භූත ජනක හඬකට දෑස දෙකන යොමාගෙන කීවක් මෙන් ඈ මේ ටික කීවේ බසයේ වේගයට සපේක්ශව පසු කරමින් යන ගස් කොලන් වලට එපිටින් වූ අහස් කුස දෙස බලාගෙන . . . ! !

“ඔයා හොඳට ඉගෙන ගෙන කැම්පස් යනවාලු . . . “

“මම ලබ්‍රි එකට යනවා කියලා ගෙදරට කියලා ඔයාව බලන්න 138 බස් එකේ නැගල කැම්පස් එක ලඟට එනවාලු . . . “

ඉමාෂා කියන්නේ මගේ අත ඇගේ උකුල උඩ තබාගෙන සාස්තරයක් කියන කලක මෙන් ඇගේ නියපොතු වලින් මගේ අල්ලේ ඉරි අඳිමින් . . .

“ඇයි ඉතිං ඔයා කැම්පස් යන්නේ නැත්තේ . . . . “ දඟකාර ලෙස එහෙ මෙහෙ දුවන ඇඟිලි දෑතින්ම හිර කර අල්ල ගත් මා අසන්නේ අගේ මුහුනට මගේ මුහුන ලංකර ඇගේ දෙනෙතේ බැල්ම වෙන දිහාකට වොමුවේ වී යැයි බියෙන් මෙන් මගේ බැල්මේ බලෙන්ම රඳවාගෙන . . . .

“එක්කෙනෙක් ගියාම මදිද අනේ . . . අනෙක ඔයාට ඉගෙන ගන්න සල්ලි ඕන උනාම කවුද දෙන්නේ . . .ඉතිං මම ජොබ් එකක් කරනවා . ..”

අවුරුදු 15ක 16ක කුඩා එකියක් වූවත් ඇගේ පරාර්ථකාමී හිතේ විශාලත්වය ගැන මට වැටහීමක් ලබා ගන්න පුලුවන් උනේ ඉන් බොහෝ කාලයකට පසුවයි . . .

එසේ අතීතයේ ආදරයේ මිහිරි මතකයන් ගෙන් හද පුරවාගෙන සිටි යෞවනයාත් . . . මේ දැන් මෙතැන දෙදන මත හිස තබාන වේදනා විඳින යෞවනයාත් දෙදෙනෙකු නොව එක අයෙක් මැයි පසක් වූ සැනින් . . . දහවලෙහි කඳුලු සැලීමෙන් රතුවී තිබුනු දෙනෙත් යලිත් වරක් තෙත් කරමින් කඳුලු වැල් ගලා ගියේ ඒ මිහිරි මතකයන් කිනිස්සක් සේ මේ වැලපෙන යෞවනයාගේ හදවතේ ඇනී එය ගැලවූවෝතින් . . නොනවත්වා ලේ ගලා යාමෙන් මරණයට පත් වේවී යැයි බියෙන් ඒ මිහිරි මතකයන් නම් වූ පපුවේ ඇනුනු කිනිස්ස අතගාමින් තව තවත් වේදනා විඳිනව නොවේදැයි අසා ගනිමින් . . .

“ඇත්තෙන්ම ඇයි මේ මෙච්චර ලස්සන කොල්ලෝ . . . සල්ලි කාරයෝ කියල හිතන්න පුලුවන් කොල්ලෝ ඉන්නැද්දී ඔයා මට කැමති වුනේ . . . “ මම අහුවේ කාලයක් අහන්න ඕන කියල හිතේ තද කරගෙන උන්නු ප්‍රශ්නයක් . . .

“ඔයා පුංචියට හිටියට ඉස්සරහ පේලිවල කෙල්ලෝ ඔක්කොමල්ලාව කටින් බය කරගෙන ඉන්නවා දැක්කාම මට ඔයාව කොහොමටවත් පුංචියට පෙනුනේ නෑ . . .”

“එහෙව් චන්ඩියා එදා මම බැනපු වෙලාවේ මොකුත් නොකියා බ්‍රාන්ත වෙලා හිටපු හැටි මතක් වෙන හැම මොහොතකම මට දැනුනේ මම මහා ලොකු මෝඩකමක් කලා කියලයි . . . මම අවස්තාවක් බල බල හිටියේ ඔයා එක්ක සාමදාන වෙන්න යි . . ඒත් කරුමෙකට මගේ කටින් පිට වුනේ සැර වචන . . . . එදා ඉඳන් මම ඔයා ලඟ ඕනම විදිහක ලැජ්ජාවකට පත් වෙන්න හිතුවා . . .”

“ඒකයි මම ඔයාගේ පස්සෙන් පන්න පන්න ඇවිත් බලෙන්ම වගේ මගේ ඔටෝ එක දුන්නේ . . . “

වෙන්වීමක් ගැන මීට මොහොතකට කලින් කතාකරපු වගක් වත් . . . ඒ කතාවෙන් දෙදෙනාගේ ම හිත් පෑරුනු වගක් වත් නැතුව . . . අපි දෙන්නාම එදා . . . අපි හරියටම මුනගැහුනු දවස ගැන එක වරම සිතන්න ගත්තේ මුහුනෙන් මැකී නොයන සිනාවකුත් රඳවාගෙනම . . . ! !

මතු සම්බන්ධයි . . .

Thursday, October 1, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (පළමු කොටස)


"ජබොක්. . ."

බෝක්කු බැම්ම උඩ තබා තිබුනු මගේ පොත් ගොඩේ උඩින්ම තිබුනු රබර් මකන කැබැල්ල බෝක්කු බැම උඩ සිට අඩි පහක් හෝ හයක් පහලින් ගලා යන ඇලට වැටුනු ශබ්දයෙන් මම සිහින ලොවින් පියවි ලොවට ආවා වගේ මට දැනුනා . . . උපකාරක පංතිය නිමාවී ඉමාෂාට සමුදී එතැනින් පිටත් වූ මොහොතේ පටන් බෝක්කු බැම්ම උඩ වාඩිවී සිටින මේ මොහොත දක්වා ගතවූ කාලය කෙසේ ගතවූවාදැයි වෑයමින් සිතුවත් මතකයට නගා ගැනෙම අපහසු බව මට සිතුනා . . . එය හරියට ජීවිතයේ එක්තරා රික්ත කාල පරාසයක් මෙන් කියා මොහොතකට සිතුනා . . .

අත් ඔරලෝසුවක් නැති කමින් වේලාව ගැන වැටහීමක් ලබා ගන්න නොහැකි බව දැනුනු මා වට පිට බැලුවේ . . පරිසරයේ වෙනස්කම් වලින් වත් අනුමාන වශයෙන් වෙලාව දැන ගන්නා අදහසින් . . .

මේ සරුංගල් වාරය නිසා අහසේ ලෙළ දුන් ලොකු කුඩා සරුංගල් ලෝලීන්ගේ වෛවර්න සරුංගල් තවම බිමට පහත් කර නොමැති කමිනුත් . . . සවස් කාලය ලං වූ විට රෑන් ගැසී කූඩු කරා පියඹන පක්ශීන් තවමත් නිදහසේ ඉහල අහසේ සැරිසරනවාත් දුටු මා තවම බොහෝ සවස් වී නැති බව පසක් කරමින් කඳුලු පිරී බොඳවූ දෑසින්ම සතුටින් නිදහසේ සරුංගල් අරින්නන් දෙස බලා සිටියේ කියා ගත නොහුනු විශාල පාලුවක් වැනි හැඟීමකින් . . .

ඉහල අහසේ ළෙල දුන් විශාල සරුංගලයක් දෙස නෙත් යොමා සිටි මා මගේ බැල්ම සරුංගලයේ සිට සීරුවෙන් එහි නූල දිගේ පහලට විත් එය හසුරවන්නා හා ඔහු අසල සිටි පරිවාර පිරිස දෙස නොත් යොමාගෙන සරුංගලයේ නූල දිගේ මගේ මතකය බොහෝ ඈත නොවූ ඉසව්වකට රැගෙන ගියා . . .

සරුංගල් වාරෙට මොණරා සරුංගලය හෝ මාළුවා සරුංගලය, ඉබ්බා, ගෙම්බා, ආදී අප විසින් හඳුන්වා ගන්නා සරුංගල් අතුරින් විශාලම සරුංගලය නීපදවන ගමේ තරුණයන් කිහිප දෙනා අතුරින්, අප පදිංචි නිවසට පිටුපස එකම පවුලේ සොයුරු සොයුරියන් රැසකගේ ලොකු කුඩා ගෙවල් රැසකින් සමන්විත විශාල වත්තේ විසූ වැඩිමහල් පුද්ගලයා වූ රූබන් මාමාගේ පුතා වූ නිපුල් අයියා නිපදවන විශාල සරුංගලයත්, අපේ නිවසේ සිට මීටර් පන්සීයක් පමන දුරකින් විසූ ගමේ හැමෝගෙම ප්‍රියතම පවුලක් වූ සුරූපී ඈන් අක්කා ගේ පවුල හෙවත් ගමේ ජීවත් වූ බර්ගර් පවුල් කීපයෙන් එකක බඩ පිස්සා වූ ඩෙක්ස්ටර් අයියා නිපදවන ඔහුටම සුවිශේශී වූ එක් එක් වසර වල එක් එක් රටවල ජාතික කොඩියේ හැඩයට පාට කොල අලවන විශාල පෙට්ටි සරුංගලත් . . . . ගමේ යෞවනයන්, ළමුන්, තරුනයන් අතර නිහඬ පිල් බෙදීමක් ඇති කලා කීවොත් නිවාදියි . . .

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාටම ඔවුන්ගේ සරුංගල් උඩ යැවීමට මා මේ දැන් සිටන බෝක්කුව අසල පිහිටි වෙල් යායට පැමිනිය යුතු වුනා . . . ඔවුන් එසේ පැමිනෙන විට ඔවුන් පසුපසින් පරිවාර ළමෝ රෑනක් ගමන් කිරීම ගමේ අයට සරුංගල් වාරයේදී දකින්නට ලැබෙන සුලභ දසුනක්ම වූවා . . .

මේ වේදනාකාරී ප්‍රේම සිතුවිලි වලින් හිස අවුල් කර ගන්නට ප්‍රථම කලකට පෙර බුහුටි පැංචෙක් වූ මාත් මේ පරිවාර සේනාවේම අයෙක් බව මට පසක් වී . . . නිපුල් අයියා වටේ එකතු වී . .

"නිපුලයියා දෙන්න මම පන්දුව ඔතන්නම් . . ."

"නිපුලයියා ඔන්න ඔන්න බලාගෙන අර ශාලාව පාර පැත්තෙන් පොඩි කොම්බුවෙක් එනවා වගේ මාට්ටුවක් දාන්න . . "

"අනේ නිපුලයියා පොඩ්ඩක් දෙන්නකෝ . . . මටත් ආසයි ටිකක් වෙලා අල්ලගෙන ඉඳලා නිච්චියක් ගහල බලන්න . . ."

ආදී වශයෙන් නොයෙක් ඉල්ලීම් ඉදිරිපත් කරමින්ද . . . නොයෙක් උපදෙස් ලබා දෙමින්ද . . . නොයෙක් උපකාර කරමින්ද . . . ඉන්නා පරිවාර රැලේ මේ දැන් සිටිනා ළමෝ අතරින් මා කොහේදයි සෙවීමට මෙන් එහි සිටි ළමෝ පිරිස සිතින් ගනිමින් එකික් එක මුහුන කරා මගේ නෙත් ගමන් කලේ මා නොවේ නමේ මේ කාගේ කවුදැයි හඳුනා ගන්නට උත්සාහයක්ද දරමින් . . . . .

ටික වේලාවක් ඒ සිතුවිල්ලේ උන් මා එය වෙහෙසකර කටයුත්තක් සේ හැඟී ගියෙන් ඉඳගෙන සිටි බෝක්කු බැම්ම උඩින් පොත් කීපය තබා පැන්සලත් පෑනත් වතුරට නොවැටෙන්න වගබලා ගැනීමට පොතක් ඇතුලට දමා බෝක්කුව උඩින් නැගිට පාරේ මැදක් වන්නට ගොස් සිට ගෙන මෙපමන කලක් නිතර දුටු නමුත් මේ දැන් දුටුවාක් මෙන් අලුතින් . . අලුත් ඇසකින් . . වෙල් යාය දෙසත් , බෝක්කුව දෙසත් . . . මාරුවෙන් මාරුවට බලන්න පටන් ගත්තා . . .

වෙල් යායට වතුර බෙදන අඩි හයක් හෝ අටක් පමන පළල් ඇල හරහා අඩි පලොවක් පමන පළල් මාවත ගමන් කරන තැනේදී පාලමක් ලෙස නොවුනත් විශාල බෝක්කුවක් ලෙස සකස් කර තිබුනේ අවශ්‍යනම් එක් පැත්තක බෝක්කු බැම්ම උඩ එකවර හතර පස් දෙනෙකුට වත් ඉඳ ගන්න ඉඩ සලස්වන්න මෙන් . . .

බෝක්කුවේ වම් පැත්තටත් දකුනු පැත්තටත් දිගටම විහිදී යන වෙල් යාය . . . මාවතේ එක් පැත්තකින් කනත්ත පසුකොට එහි අවසානය වූ මිරිහාන මාර්ගය දෙසටත් අනෙක් පැත්ත මාවත පටන් ගන්නා පෙදෙස වූ පිටකෝට්ටේ සිට ගම්මන්ඩිය දෙසටත් යාවෙන මාර්ගයට එක්වීමෙන් එහි ආරම්භය සිදු වෙනවා . . . වැඩිපුර වාහන ගමනා ගමනයක් නොවූ මාවතේ මේ බෝක්කුව උඩ සිට ගෙන අංශක 360ක් කැරකුනහොත් ඇසට අසුවන දර්ශනය ඉතාම සුන්දරයි . . .

මාවත කනත්ත පැත්තට දිවෙන හරියෙදි . . වෙල්යාය බෝක්කුවේ සිට මීටර් සීයක් පමන ගොස් සීමාවී එතැන් සිට කන්දක් ලෙස ඉහලට යන්නට පටන් ගන්නේ සීග්‍ර නැග්මක් ලෙසටයි . . .නැග්මේ පාමුල දකුනු පැත්තට වන්නට තැනූ ලොකු කුඩා ගෙවල් සමූහයත් වෙල්යායත් වෙන් වන්නේ නිවාස සමූහයේ නිවැසියන්ගේ රෙදි සේදීම, නෑම වැනි පානීය නොවන ජල පහසුකම් සපුරාලීමට රජයෙන් ඉදිකර දී ඇති පොදු නාන ළිඳ නොහොත් අප හඳුන්වන ලෙසට පොකුණකින් . . .වම් පැත්තට වෙනනට ඇත්තේ වෙල මායිමට පොල්, කොස්, අඹ, රට දෙල් ගස් වවපු ගෙවතු ඇති ගෙවල් කීපයකින්. පොකුනේ සිට මීටර් විසිපහක් පමන දුරින් පේන්න තිබෙන්නේ ගමේ පොදු සුසාන භූමිය හෙවත් කනත්තයි . . .

"අනේ ලස්සන කනත්තක් . . . "

උපකාරක පංති නිමා වී පිටකෝට්ටේ මාමලගේ ගෙදර යනවා කියා බොරුවකුත් නොවන ඇත්තකුත් නොවන යමක් ඉමාෂා විසින් ගෙදරට කියා පැමින . . . යා යුතු ඉසව්වක් ගැන කල්පනා කිරීමේදී මේ ස්ථානය එක වරම සිහියට නැගී මෙතනට ආ දිනෙක . . . ඇඳ සිටි රැලි ගොඩාක් ඇල්ලූ ලිනන් රෙද්දෙන් මැසූ සුදු සායේ වාටියේ දෙපැත්තෙන් අල්ලා වටයක් කරකැවුනු ඉමාෂා එක්වරම පැවසුවා . . .

"අහ් . . . ඔයාත් එහෙනම් මෙතැනට ආසා වුනා . . " මට ඉබේටම කියවුනා . . .

"ඔව් අනේ බලන්න ඒක හරිම ලස්සනයි . . . අනෙක මේ ඉර බැහැගෙන යන වෙලාවේ තවත් ගොඩාක් ලස්සනට පේනවා . . . . " ඉමා සායේ වාටිය අත්නොහැරම . . . ගොඩ . . . ආ . . . ක් යන්න ටිකක් ඇදල කීවේ එහි බරක් මට දනවන්නට මෙන්. . .

ඇගේ ලඟින් අඩි පහක් පමන ඉදිරියට පා නැගූ මා . . . කහපාටකුත් . . තැඹිලි පාටකුත් . . රෝසපාටකුත් මුසුවුනු අහස් පසුමිබිමේ . . සුදු සායකුත් . . . ලා කහ පැහැති අත් කොට බ්ලව්සයකුත් ඇඳ සිටි තළෙලු යුවතියක් . . . අහසත් කනත්තත් පසුබිම් කරගෙන ඈත පියාඹන කුරුලු රෑනක් දෙස බලා සිටනවා වැනිව සිත්තම් කර තිබූ . . . අපූරු සිත්තමක් දෙස බලා සිටිනවා වැනි හැඟීමකින් ඈ දෙස නොත් නොපියා බලා සිටියා . . . . .

"හොඳයි ඔයාට වැඩියෙම ලස්ස්න මොකද්ද ඕකේ . . "

"ම් ම් ම් . . . . අර ඒ ඉඩමේ උඩ මායිමට වෙන්න හිටෝල තියෙන තේක්ක, කුඹුක්, කිතුල් ගස් පේලියත් . . . පහල මායිමේ තියෙන වැටමාර, ඇහැල, කොලපට හීන් උනබට ගස් ටිකත් මට හිතෙන්නේ හරිම ලස්සනක් එකතු කරලා තියෙන්නේ . . "

"නෑ මට නම් ඔය ඉඩමේ හරිමැද්දේ ඉඳන් පහලට වෙනකම් කපල තියෙන අඩි දහයක් විතර පලල දුඹුරු පාට ගුරුපාරත් ඒ පාර දෙපැත්තටම එක දිගට හිටවලා තියෙන මල් වලින් පිරිච්ච සුදු අරලියා ගස් ටිකත් තමයි වැඩියෙන්ම ලස්සන . . . "

"අර තැන් තැන් වල එලි පෙහෙලි කරලා ඉද්ද, වතු සුද්ද වගේ ගස් හිටෝල තියෙන්නේ ලඟදී වල දැමූ මිනියක් වෙන්න ඇති නේද . . " ඇගේ ප්‍රශ්නය ප්‍රකාශයක් ලෙස මිසක් ප්‍රශ්නයක් ලෙස මට නොදැනුනා තරම් . . .

කාලයකට පෙර අප දෙදෙනා එක්ව සිරි නැරඹූ වටපිටාවක් මැද අද මා තනිවී සිටිනවා නොවේදැයි සිහියට නැඟුනු මොහොතේ යලිත් වරක් මගේ දෙනෙක් අඳුරු මීදුම් පටලයකින් වැසී ගොස් නොදැනුවත්වම මගේ දෙනෙත් යලිත් වරක් කනත්ත දෙසට ම යොමු වුනා . . .

සවස් වරුවක බෝක්කුව උඩ ඉඳගෙන වෙල පැත්තට කකුල් දමාගෙන . . නැතිනම් ඇල කන්ඩියේ වාඩිවී ඇලේ සීතල දිය පහරට දෙකකුල දමා පද්දමින් . . ගොයම් පැසෙන කාලයක නම් . . ගොයම පිසගෙන එන සිහින් මඩ ගඳක් වැනි නමුත් අප්‍රසන්න නොවූ සුවඳක් එසේත් නැති නම් ගොයම් කැපූ කාලයක නම් ඉතිරි වූ ඉපනැලි වලින් හමන පිදුරු සුවඳත් විඳගෙන . . එක දිගට බලා සිටිය හැකි කනත්ත . . . කොතරම් වේලා බලා සිටියත් එපා නොවන, ජීවිතයේ අනිත්‍ය නොව අද්භූත වූ චමත්කාරජනක සුන්දරත්වයක් විඳින්නා වැනිවූ හැඟීමකින් දෑස් දල්වා එක දිගට බලා සිටිය හැකි කනත්ත, එය මේ ගම් පියසට අඳුරු භයංකාරයක් එක් කලා නොව අමුතුම සුන්දරත්වයක් එකතු කලා කීවොත් නිවරදියි කියායි අහම්බෙන් හෝ මේ පාරෙන් ගමනක් යන්න ඇවිත් . . යා යුතු ගමනද අමතක කර . . . බෝක්කුව උඩ සිට ගෙන . . . වටේට කැරකී කැරකී පරිසරයේ සුන්දරත්වය විඳි මා හැමදා සිතුවේ . . .

බෝක්කුවේ සිට කනත්ත දෙසට විරුද්ද දිසාව වූ ගම්මන්ඩිය දෙසට දිවෙන මාවතේ මීටර් දෙසීයක් පමන දුරින් වෙල් යාය දකුනු පැත්තට වන්න කපා ගත් ගොයම් එක් රැස් කිරීමට ඇති ඔවිටි වලිනුත් . . වම් පැත්ත ඒ පැත්තේ වූ මිනුසුන් වෙනුවෙන් ඉදිකල පොකුණකිනුත් සීමා වී එතැන් සිට පර්චස් විස්සේ, තිහේ ඉඩම් වලින් කොටුවූ ගම්මන්ඩිය ලෙස පැතිරී යනවා . . .

ඉඳගෙන සිටි ස්ථානයේ සිට වට පිට බැලූ විට කෙතරම් සුන්දර දසුන් නෙතට හසුවූවා වුවත් අද . . මේ මොහොතේ . . මා සිටින්නේ මේ කිසිදු පරිසරයේ සුන්දරත්වයක් විඳිය හැකි මානසිකත්වයකින් නොවන බව මට පසක් වූයේ . . කඩා ගත් අමු අඹ ගෙඩියක කිරි අතේ ගෑවුනු විටෙක ඇතිවුනු කහට ගතියක් මෙන් කහටක් මූනේ දැවටෙනවා වැනි හැඟීමක් දැනී ඇඟිලි තුඩු වලින් මුහුන ස්පර්ශ කරද්දී . . . ලේන්සුවක් නොතිබූනැයින් නිදහසේ කම්මුල් දිගේ ගලා ගිය කඳුලු වැල් මූනේම වියලීමෙන් ඇතිවූ කහට ගතියක් නිසා බව ඇඟිලි තුඩු වලට දැනුනු පසුවයි . . .

මේ කඳුලුත් . . කඳුලු සැලීමට හේතුවත් . . . මකන කැබැල්ල වතුරට වැටෙන හඩින් පියවි සිහිය ලත් මට යලිදු විදුලියක් කෙටුවා වැනිව මතකය ආක්‍රමනය කරන්න පටන් ගත්තා . . . මෙසේ වේදනාවෙන් කඳුලු සැලූ මා මේ මොහොතේ සිටින්නේ පරිසරයේ සුන්දරත්වක් විඳින්න හැකි ලෙස නොව . . . තවදුරටත් මේ වේදනාවෙම ඇලී ගැලී සිටින්න නොවේද කියා සිතා වට පිට බලන්නට වූයේ . . .

"ඉතිං ඊට පස්සේ මොකද කරන්නේ . . ." අසනු වැනිව . . . ! !

ජූලි මාසයේ අග භාගය වූ හෙයින් ගොයම් කපා නිමවුනු කුඹුරු යාය සරුංගල් අරින ලොකු කුඩා සියලුම දරුවන්ට තරුනයන්ට සින්නක්කරවම ලියා දී ඇති සැටියයි හැඟීමක් සිතට නැගුනත් . . . මෙතරම් ළමෝ සංඛ්‍යාවක් . . . මෙතරම් පිරිසක් එකවර නැඟූ හඬවල් කිසිවක් මකන කැබැල්ල දියට වැටෙන හඬින් යලි පියවි සිහිය ලබන තුරු මගේ දෙසවනට කෙසේ නෑසුනාදැයි සිතන්න මහන්සියක් නොගෙන . . . ටීක් බෝලයක් ලද දරුවෙක් එහි පළුදු ඇත්දැයි ඒ මේ අත හරවා බලනවා මෙන් . . . තවදුරටත් තනිවී . . . මේ විඳින වේදනාව විඳීමෙන්ම . . . වේදනාව පහවේවි . . . වේදනාව නිමා වේවි යැයි උපන් සිතුවිල්ලෙන් . . . බෝක්කුවට මීටර් පන්සීයක් පමන දුරින් වෙල් යායේ මැදකට වන්නට ඇති අතු පතර විහිදී ගිය කාක බෝ ගසකින් සෙවන වූ ගල් පොත්ත යනුවෙන් අපි හඳුන්වන ගල්තලාව වෙත යාමට . . පොත් ටිකත් . . පෑනත් . . . පැන්සලත් අතට අරගෙන මම මහ නියරට ගොඩ වැදුනේ කිසිදු හැඟීමක් දැනීමක් නැති සීතල මල මිනියක් වන් . . . හැඟීම් විරහිත බවකින් . . . .

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails