Tuesday, September 29, 2009

ප්‍රේමෙතෝ ජායතී සෝකෝ . . . ප්‍රේමෙතෝ ජායෙතී භයං . . . !



මේ දිනවල දුකා සුනේත්‍රා රාජකරුනායක මහත්මියගේ "මතක පොත" දෙවෙනි කොටස එක හුස්මට නොව ඉඩක් ලද ලද පරිදි රස ආහරක් බිඳෙන් බිඳ . . කාල වේලා රැගෙන රසවිඳිනවා මෙන් ඉසිඹුවක් ලැබෙන නිමේශයක් අපතේ නොයවා කියවාගෙන යන හෙයින් . . . දුකාගේ මතක පොතේ අඳුරු අහු මුළු වල ලැගුම් ගෙන සිටි රසදැයි . . නීරසදැයි එක වරම වටහා ගත නොහුනු මතකයන් අකීකරු දෑත්වලින් පරිඝනක තීරයේ අකුරු වන්නට පටන් ගෙන . . .

අනෝනිමස් කමෙන්ට් වලින් පමනක් සැලී නොව ළබැඳි මිතුරන්ගේ උපදෙසුත් දුකාගේම හෘද සාක්ශියේ සදාචාරත්මක නිම්වළලු කෙරෙහි ඔහුගේම හෘදය නැඟූ චෝදනාවලිනුත් නිවරදිකාරයෙක් වීමට . . . දෙවරක් නොසිතාම ලියූ යමක් ඉවත් කිරීමටත් දුකා මොහොතක් වත් පමා වූයේ නෑ . ..

මතක පොතේ අඳුරු අහුමුළු වල සැඟවී හුන් මතකයන් ගැන අමතක වූ මතකයන් අවදි වන්නට වූ මොහොතේදී කුඩා කල දුකාගේ මනෝ රාජ්‍ය අරක්ගෙන සිටි . . . වාසනාවකට හෝ අවාසනාවකට අකාලයේ පිපී අකාලයේ පරවූ කුසුමක් මෙන් උපන්ගෙයිම මියෑදුනු නැටුම් ගුරුවරයෙකුවීමේ සිහිනයේ . . . බිඳී වැටුනු සිහිනයේ නටඹුන් අතර වූ තවදුරටත් මතක වස්තුවක් ලෙස සුරැකිය හැකි යම් කිසිවක් මතක පොතේ පිටු අතරේ එහි පිටු එහාට මෙහාට පෙරලමින් සිහින් වලා රොදක් මෙන් හමා ගියා . .

තොරතුරු තාක්ෂණයේ බලමහිමයෙන් ලෝකය විශ්ව ගම්මානයක් වී ඇති වර්ථමානයේ . . . මගේ රට . . .මගේ ජාතිය . . . මගේ ආගම. . . මා හැදී වැඩුනු සංස්කෘතික වටපිටාව . . . යනාදී යෙදුම් ආදී කාලීන ගෝත්‍රික මානසිකත්වය නම් කැටපත් පවුරේ . . . 21 වෙනි සියවස නම් වූ දූලි වලාවෙන් වැසී යන අක්ශරයන් යැයි කෙනෙකුට තර්ක කල හැකි වුවත් . . . දුකා . . .තවමත් ඒ ගොත්‍රික මානසිකත්වයෙන් පෙලෙන . . . දුකා තුල ජීවත් වන ඒ ආදී කාලීන සත්වයාට ප්‍රේම කරනු ලබනවා . . . ! !

"ප්‍රේමෙතෝ ජායතී සෝකෝ ප්‍රේමෙතෝ ජායෙතී භයං ". . . ප්‍රේමය නිසා සෝකය උපදී ප්‍රේමය නිසා භය උපදී . . . කියා ඒ ආදී කාලීන සත්වයා යම් කිසි කලෙක ඇසූ අත්දුටු යමක් ඇසුරු කරගෙන ඒ ආදීකාලීන සත්වයා අදහන ගෝත්‍රික මානසිකත්ව කැටපත් පවුරේ අක්ශර, 21වෙනි සියවස නම්වූ දූලි වලාවන්ගෙන් සදහටම වියැකී යාදෝ යැයි හටගත් සෝකයකිනුත් . . . භයකිනුත් විලම්භීත වී . . . එසේ නොවීමට ඔහුගේ දායකත්වයෙන් කල හැකි යම් කිසිවක් ඇත්දෝයි කියා විපරම් කිරීමේදී . . . විශ්ව ගම්මාන සිහිනයේ කිරුලු පලන් රජවරුන්ගේ දෑත් වලින් විසිකරනු ලබන ගලුත් ගල්වලට හිස පාන්නට අවැසි ශක්තියත් . . . ඔහු මෙන්ම ගෝත්‍රික මානසිකත්වයෙන් පෙලෙන්නවුන්ගේ දෑත් වලින් පුදන්නා වූ මල්වලට දෝත පෑමට ඇති ජාගර සිතත්, ගිජු දෑතත් කෙරෙහි වූ ඇල්මෙන් . . . ඒ සඳහා මෙසේ යමක් අකුරු වලට පෙරලෙන්න්ට ඉඩදී බලා සිටී . .

සැතපුම් සිය ගනනක් වූ සියරට බටහිරින් වූ කේන්ද්‍රස්තානයේ සිට දකුනු දෙසට හෝ රටේ අභ්‍යන්තරයට ලඟ වීමට පැය 4 ක හෝ 5ක කාල පරාසයක් ගතවෙද්දී . . . . සැතපුම් දහස් ගනනක් දුර ඈත වෙනත් රටකට / පෙදෙසකට ලඟා වීමට ගතවෙන්නේ සමහර විට ඊට වඩා අඩු කාලයක් . . . මෙසේ විශ්ව ගම්මානයේ වෙනස් පෙදෙසකට අහම්බෙන් හෝ සපැමිනි (දුකාගේ ගම්වාසී) අයෙකුගෙන් එගම වැසියන් හෝ වෙනස් පෙදෙසකින් එහි පැමින නවාතැන් ගත්තවුන් එකිනෙකා හඳුනාගැනීමේ ක්‍රියාවලියේදී . . .තමාගේ ගම් පියස ගැන හඳුන්වාදීමට . . දුකාගේ ගෝත්‍රිකවාදී මානසිකත්වයේ සංඝටකයන්ගේ පිහිට ලබා ගැනීමට නිතැතින්ම සිදු වනු ලබනවා . . . ඒ අතරින් . . . යටත්විජිතවාදීන් හඳුන්වාදුන් තේ, ක්‍රිකට් ක්‍රීඩාව . . . එසේත් නොමැතිනම් සීගිරිය හෝ උඩරට නැටුම් මූලිකත්වය ගනු ලබන බව දුකා අත්දැකීමෙන්ම දන්නා බවත් සටහන් කරන්නට කැමතියි . . . . . සමහරුන්ට උඩරට නැට්ටුවෙකුගේ ඡායාරූපයකින් පමනක් ම වුවත් විශ්ව ගම්මානයේ අපගේ පියස හඳුනා ගත හැකි වෙනවා . .. එය එපමනටම අපටම පමනක් සුවිශේශී වූ අනන්‍යතාවයක් හිමිකරගෙන . . . ! !

කෙසේ වෙතත් අද මගේ වෑයම මේවා අතරින් සංස්කෘතික අංගෝපාංගයක් ලෙස මූලිකත්වයක් ගත් අපේ ලාංකික නැටුම් කලාවේ . . . උඩරට . . පහතරට . . . සබරගමු . . . යන මූලික නැටුම් වර්ග වලිනුත් ඉන්දියානු ආභාශයෙන් සැදුම් ලත් භරත නාට්‍යම්, කතකලි, කතක් මනිපුරි ආදී නැටුම් වලිනුත් . . .කුලු නැටුම්, ලී කෙලි, රබන් නැටුම් ආදී ජන ජීවිතයේ දෛනික ක්‍රියාවලියන් හා සම්බන්ධ නැටුම් වර්ගත් වලින් පෝශිත නැටුම් අතුරින් දුකාගේ මතක පොතේ අහු මුල්ලක සැඟවී ගත් නිශ්චිතවම මේ වර්ගයට අයත් යැයි දුකාගේ පරිකල්පනයේ සීමාවන්ගෙන් වටහ ගත නොහුනු නැටුමකට අදාල පදමාලාවක් සඳහන් කර තැබීමයි . . . පදමලාවේ අනුභූතියට අනුව නම් මෙය ප්‍රශස්ති නැටුමක් වියහැකි බවට අනුමානයක් දුකාට තිබේ . . . ඒ අතරම පදමාලාවේ නිවරදි භාවය ගැනත් සැක සංකා නැතුවමත් නොවේ . . කිසියම් අයෙක් . . . නැටුම් පිලිබඳ දැනුමතෙක් හෝ දැනුමතියෙක් දුකාව ඔහු වැරදී නම් නිවරදි කරාවී යැයි ඔහු උදක්ම බලාපොරොත්තු වනවා .. .

බලන්න ඔබටත් මේ පදමාලාව කිසියම් වූ දිනෙක . . කිසියම් වූ අවස්ථාවක . . . දෙසවනේ ගෑවී නොගෑවී හෝ ගොස් ඇත්දැයි කියා . . .අහම්බෙන් හෝ දෙනෙතේ පැටලී ඇත්දැයි කියා . . .

වරලසා . . . පිල් සේ නීල . . .
මල් දමින් ගොතා - සොබන
මෙදිගැසා . . .
සඳුන් තිලක . . . ළමින් නලලතා . . . .
ගෙල යසා . . . . රනින් මාල . .
කරේ දිලිසෙතා - ලෙළෙන
ඉඟ යසා . . . දුහුලින් එපට . . .
සේල පැලඳෙතා . ..

සඳුම් කොකුම් මොරසු ගාන . ..
මුදුන් කරල වරල බඳින . .
රජුන් සමඟ ඇමති සිටින . ..
ළඳුන් දුටුද රජ ගෙට යන . .. .

වරලසා . . . පිල් සේ නීල . . .
මල් දමින් ගොතා - සොබන
මෙදිගැසා . . .
සඳුන් තිලක . . . ළමින් නලලතා . . . .
ගෙල යසා . . . . රනින් මාල . .
කරේ දිලිසෙතා - ලෙළෙන
ඉඟ යසා . . . දුහුලින් එපට . . .
සේල පැලඳෙතා . ..

කර තල සපු මල ලෙසින්ද . .
උර තල සල ඔඩිය ලෙන්ද . .
දුර දුර ඉසි ගෝමරින්ද . .
ළඳ නුඹ හැර වෙන කොයින්ද . ..

වරලසා . . . පිල් සේ නීල . . .
මල් දමින් ගොතා - සොබන
මෙදිගැසා . . .
සඳුන් තිලක . . . ළමින් නලලතා . . . .
ගෙල යසා . . . . රනින් මාල . .
කරේ දිලිසෙතා - ලෙළෙන
ඉඟ යසා . . . දුහුලින් එපට . . .
සේල පැලඳෙතා . ..

Sunday, September 20, 2009

කරදරකාර නංගී හෙවත් දෙවියන් දුන් තෑග්ග!


"අම්මේ මම කොහෙද දැන් නිදා ගන්නේ. . . "

මට වඩා අවුරුදු 3ක් බාල නංගී ව රෝහලේ සිට ගෙදර ගෙනාපු ගමන් ඒ වෙනතුරු . . .. අම්මගෙන් කිරිබීල . . . අම්මගෙයි තත්තාගෙයි මැද්දට වෙලා දෙන්නගේ උනුසුමට මැදිවෙලා නිදන්න පුරුදුවෙලා හිටපු මගේ පලමු වෙනි ප්‍රශ්නය වුනාලු . . .

මගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස තාත්තා අම්මටයි නංගීටයි කාමරේ මහ ඇඳ දීලා මටයි තාත්තාටයි නිදන්න වෙනම ඇඳක් සවි කලාලු . . .

නංගී ගැන මුලින්ම මගේ හිතේ නෝක්කාඩුවක් . . තරහක් අතිවෙන්න ඇත්තේ මේ උනුසුමට නිදා ගැනීමේ ප්‍රශ්නයත් සමගම වෙන්න ඇති කියලා මට සමහර වෙලාවට හිතෙනවා. .. . ළමයි දෙන්නෙක් එක්ක පොඩි එකීගේ වැඩ කරගන්න අම්මට අපහසුවෙයි කියලා හිතලා, තාත්තගේ අම්මා හෙවත් ගමේ ආච්චී අක්කව ගමේ එක්ක ගිහින් පාසල් යැවූ නිසා . . . මගේ පාලුව තනිකකම තවදුරටත් වැඩිවී ඒ නෝක්කාඩුවට තව පොහොර වැටෙන්න ඇති . . . . .

පාසැල් නිවාඩුවට අක්ක ගෙදර එනකම් මම මඟ බලා ඉන්න ඇත්තේ පුංචි සිතේ උතුරා පිටාර ගලා යන නොසන්සුන්කමකින් වෙන්නත් ඇති . . . නිවාඩුව ඉවරවෙලා අක්කව අපසු ගමේ එක්කගෙන යන්න හදද්දි "අනේ මල්ලීව දාලා යන්න බෑ. . ." කියලා අක්ක හඬාවැටෙද්දී . . . "අනේ අක්කට යන්න දෙන්න බෑ . . "කියලා මම අක්කව බදාගෙන එකල මගේ කට අක්කගේ බුරිය ගාවට තරම් උසක් තිබූ මා අක්කගේ බුරිය තදින්ම හපන්න ඇත්තේ ඇගේ නික්මීමෙන් මට දැනෙන පාලුව තනිකම දරා ගන්න බැරි කම නිසාම වෙන්න ඇති . ..( ඒ සලකුන සෑහෙන කලක් තිබුනා කියලා ගෙදර අය කතාවෙනවා මට මතකයි . . )

කෙසේ වෙතත් ඒ රෝසපාට අත්පා තිබූ . . . කිරිසුදු හා පැටියෙක් වන් සුන්දර කුඩා ප්‍රානියාට මගේ විශාල ආදරයකුත් (මට මතක ඇති විදිහට ) ඒ අතරම තිබුනා . . .

අම්මා කුස්සියේ උයන කම් . . . වතුර ගෙනෙන්න වත්ත පහල ලිඳට ගොස් එනකම් ඇයව බලා ගැනීම . . . ආදී දේ මා ආදරෙන් කලබව අම්මා නිතරම සිහිපත් කරනවා. . . අම්මලගේ මහගේ කිට්ටුව ගේකට අපි මාරුවෙලා ආවාට පසු, අම්ම අක්කවත් අපි ලඟට ගෙන්න ගත්තාම මම කොයි තරම් සතුටකින් ඉපිලී යන්න ඇද්ද කියල මට හිතෙනවා. .

අක්කයි මමයි සාංගම් වෙලා නංගිට කෙනෙහිලි කම් කරන්න අම්මගෙයි තත්තාගෙයි මැද්දේ නිදා ගැනීමට වඩා හේතු අපිට තිබුනා . . .

1. එලිෆන්ට් හවුස් එකෙන් එකල මුලු ගමම ඒකාලෝක කරගෙන වටේට ටියුබ් ලයිට් හයිකරගෙන ආපු අයිස්ක්‍රීම් වෑන් එකෙන් අපිට පොප්සිකල් අරන් දෙද්දී නංගීට කෝන්ස් අරන්දීම (පස්සේ කාලෙක තමයි තේරුනේ කෝන් වලට වැඩිය රස පොප්සිකල් කියලා) . . . .
2. අම්මා විශේෂ කෑමක් හදනකොට අපි හදල ඉවරවෙනකම් ඉවසීමෙන් ඉන්න ඕන වුනත් නංගීට හදන අතරමගම කෑල්ලක් දීම . . .
3. තාත්තා පුවත් පතක් බලන මොහොතක ඔහුගේ සරමේ වාඩිවී සරොම් ඔංචිල්ලා පදින අවස්තාවල් අපට වඩා ඇයට ලබා දීම . ..
4.  පාසැල් අරිලා නංගීව එක්ක එනකොට පිටකෝට්ටේ හන්දියේ කූල් බාර් එකෙන් නංගීට හැමදාම කසඇටදාපු සරුවත් එකක් අරන්දීම . . . ("මේ හොර කෙල්ල එතනින් ආවෙම නෑ නේ සරුවත් අරන් දෙනකම්" කියා අම්මාගේ පාරම් බෑමෙන් තමයි අපි දැනගන්නේ ඒ විස්තර)

ඔවනි හේතු නිසා නංගීට ගේමක් දීමට තරවටු කිරීමට අපි හේතු සොයමින් සිටියා කීවොත් නිවරදියි . . . අනෙක් අතට ඇයට දඬුවම් දීමට හේතු ඇයම අපට සකස් කර දුන්නා . . .

රුපියල රුපියල කැටේකට දමා එකතු කර ගත් මුදලින් අපි දෙදෙනා මිලදී ගන්නා සිමෙන්ති මල් පෝච්චිවලත් . . . වත්තේ හැකි සැම තැනකමත් අපි දෙන්නා බොහෝ වෙහෙස මහන්සිවී වවන මල් ගස් වල සියගනන් පමන කොල තිබුනත්, ඈ එකක් හෝ කැඩුවොත් . . . ! එක මලක් හෝ අපේ අවසරය නැතුව කැඩුවොත් අපි දෙදෙනාම එකතුවී ඇයට පහර දෙන්නේ ඈ කෙරෙහි ඇති අපේ තරහව පිට කරගත්තා කියා හරිම ප්‍රීතියකින් . . (අම්මාගෙන් අපි දෙදෙනාට මේවාට වන්දි ලෙස හොඳවැයින් කෝටු පාරවල් ලැබී තිබෙනවා ඒ කාලයේ . . )

එකල රැකියාවක් කල අම්මා ගෙදර එන්න කලින් පොඩිඋන් දෙන්නා නාවා පිරිසිදු කර තැබීම තමාගේ යුතුකමක් ලෙස සැලකූ අක්කාට, චිත්‍රකතා පත්තරයක් පෙන්වා "මල්ලී එන්න පිටුවක් දෙන්න " කියා හෝ රේඩියෝ එකේ ලස්සන ගීතයක් වාදනය වන විට "මල්ලී මෙන්න ඔයාගේ ආසම සිංදුවක් යනවා" කියා හෝ මා අල්ලාගෙන නෑවීම කල හැකිවුවත් . . . අම්මා එනතුරුම ළමයින් සමඟ සෙල්ලම් කරන නංගීව අල්ලා ගැනීමට බොහෝ අපහසු වූවා . . . එවිට මා හොරෙන් ඇය පසුපස හඹාගොස් ඇය අල්ලා දෙන්නේ තරඟයකින් ජයගත් එකෙකුගේ මෙන් උද්දාමයකින් . . .

කෙසේ වෙතත් රාත්‍රියේ අපි තුන්දෙනාම කෑම මේසයට වාඩිවී පාසැලේ ගෙදරදී කරගෙන ඒමට දුන් වැඩ කිරීමට හෝ පොත් පත් වල වැඩ කරන කාලය අපි තුන් දෙනා ආදරයෙන් එකට ගතකල මොහොතක් වූවා . .. 

මෙලෙස වරෙක මිතුරු කමිනුත් . . වරෙක සතුරු කමිනුත් කල්ගෙවූ අපේ ලෝකය, අඩු වයසකින් විවාහවූ අක්කා අප අතහැර යාමෙන් පසුව, අප දෙදෙනාට අප දෙදෙනා එකට බැඳී සිටීම හැර වෙන විකල්පයක් නොමැති තැනකට අපව තල්ලු කලා කීවොත් නිවරදියි . . .

වැඩුනු දරුවන් වූ නමුත් අප නිවසේදී එකිනෙකා මාරුවෙන අවස්තාවේදී අඩු තරමින් ඇඟේ හැපීගෙන වත් නොගියොත් . . . ලඟ සිටින විටෙක ගුටි කෙලියක් වත් නොගියෝතින් . . . කිසියම් අඩුවක් ලෙස දැනෙන්නට ගත්තා . . .

එකිනෙකා කෙරෙහි තරහින් මෙලෙස කා කොටා ගත්තා කියා අප සිතුවත් එහි ඇත්තේ කිසියම් සහෝදරාත්මක බැඳීමක් යයි වටහා ගත් අම්මා පවා අපේ රන්ඩු බේරීමට ඉදිරිපත් නොවුනා.

එකල මගේ විනෝංශයක් වූ නිවසේ සාලයේත් මගේ කාමරයෙත් නොයෙක් තැන් වල කුඩා රාක්ක සාදා ඒ මත මැටි බඳුන් එකතු කිරීම අප අතර රන්ඩු ඇතිවූ අවස්තාවන් හිදී ඇයට මට දමා ගැසීමටම තබා තිබුනු ආයුධ වූවා . . . ඒ පහරවල් වලින් බේරීමට මා ගත් උත්සාහයන් යලි සිහිකැඳවූයේ මෙට්‍රික්ස් චිත්‍රපටයයි . . . පසුකාලීනව ඒ මතකයන් සුන්දර සිහිවටන පමනක්ම වූවා . . .

කොටින්ම කීවොත් නංගී ගැනත් මට එකල සිතුනේ මහාම මහා කරදර කාරියක් ලෙසට . . .

සෝදා මැද පිලිවෙලකට අල්මාරියේ තැන්පත් කර ඇති මගේ ලස්සන ටී ෂර්ට්ස් මම ගෙදර නැතිවෙලාවල් වලදී ඇගේ වගේ ඇදගෙන යන, මගේ පෙම් සබඳකම් වල විස්තර කෙසේ හෝ මගෙන්ම දැනගෙන තරහ වුනු වෙලාවල වලදී හැමෝටම ඇහෙන්න කෑ ගසා පවසන, කොල්ලෝ ආ ඔයා අහවලාගේ අයියා නේද කියා අසත්දී හිසට යක්ශයා ආරූඩ වන, පඩි දවසට බොරු ආදරක් පෙන්වා "අයියේ තියන්ගා එකට නියම වයිට් ෆ්‍රොක්ස් ටිකක් ඇවිත් තියෙනවා හලෝ කියා පඩියෙන් විශාල ප්‍රමානයක් හූරා ගන්නා . .. නංගී කරදරකාරියක්ම ලෙස වෙන කෙසේ ඇයව හන්දුන්වා දෙන්නද . .. ?

නිවසේදී මෙසේ වුවත් ගමන් බිමන් යාමේදී අප එකට ගමන් කලේ අතින් අල්ලාගෙන . . . එසේ අතින් අල්ලා සිටිද්දී ඈ නිතරම මගේ ඇඟිලි තුඩු ඇගේ ඇඟිලි තුඩු වලින් මිරිකීමට පුරුදුවී සිටියා . . . නිතරම අප අතර රන්ඩු සරුවල් ඇතිවූවා වුවත් මෙසේ ඇඟිලි තුඩු මිරිකමින් පාරේ ගමන් කරද්දී ඇගේ හදවතත් මගේ හදවතත් ඇතුලත වූ යම්කිසි දෙයක් විදුලියක් පරිපත තුලින් ගමන් කරනවා වැනිව ගමන් කලා කියා අපට මොහොතකටවත් සිතුනේ නැති තරම් . . .

"අයියේ . . . ."

ප්‍රතිචාරයක් නොමැත

"අයියේ . . කන් ඇහෙන්නෙ නැද්ද බං . . "

"ඇයි ඕයි . . "මා කියවමින් තිබූ පොතෙන් නෙත් මෑත් කර ගන්නේ මොන වදයක්ද මේ කියා හිතෙන් බැන වදිමින්

"දන්නවාද වැඩක්"

"ම්ම්හු . . . "

"තමුසෙටයි මටයි මේ ගමේ අය නමක් දාලානේ . . ." දෙවෙනියට අපේ ගම වූ පෙදෙසේදී දිනක් ඈ මගේ අවදානය බින්දා . . .

"නෑ . . . ඒ මොකද්ද ?" මම කුතුහලයෙන් ඇසුවා

"සමගි"

"හූ ඌ . . පිස්සු හැදෙනවා . . . !"

"ඔව් හලෝ මුන් දන්නවා නම් උඹෙයි මගෙයි සමගියේ තරම . . කටවල් කලුගල් වල අතුල්ල ගන්නවා . . . "

ඒ මතුපිට සත්‍ය වුවත් නියම සත්‍ය නොවෙයි . . .

අක්කා තරම්ම නොවුනත්, නංගීත් අඩු වයසකින් විවාහ වී ලෝකයේ නැගෙනහිර කොනේ වූ සුන්දර රටකට පිටවී යන දිනයේදීත් ඊට පසුදාත් මා පසුවූයේ කෑ ගසා හඬන්නට නොහැකි කමින් උගුරේ යමක් සිරවූවාක් මෙන් වූ කියාගත් නොහකි තරම් වූ වේදනාවකින් !

අඩු තරමින් ගුවන් තොටුපලටවත් යාමට මා එකඟ නොවූයේ ඈ මා තනිකර දමා යාම මට කෙසේවත් ඉවසා ගත් නොහැකි බව මා දැන සිටි නිසාවෙන්මයි . ..

ඉන් දින කිහිපයකට පසු අක්කාත් මාත් ඇගේ වියෝව පිලිබඳ අපේ දුක බෙදාගෙන අපේ ලෝකයටම පමනක් ඇසෙන සේ හදවතින් හඬා නොවැටුනානම් අයට එලෙස දඬුවම් දීමට අපට සාධාරන හේතු තිබුනා කියා පාපොච්චාරනය කර නොගත්තානම් . . . ඇයට අප දුන් දඩුවම් ගැන අපේ හදවත් තවමත් අපට දොස් පවරනවාට කිසිදු සැකයක් නෑ . . .

ඈ මා තනිකර දමා පිටත්වූ මුල්කාලයේ මා තනිවම මග තොට ගමන් කරද්දී . . .මගේ ඇඟිලි මිරිකීමට කෙනෙකු නොමතිකමින් මගේ ඇඟිලි තුඩු රිදුම් දෙනවා මෙන් මට හැඟුනු වාර බොහෝමයි . . . ඇඟිලි තුඩු දෙස බලාගෙන දෑසින් පිටවීමට ආ කඳුලු නවතා ගැනීමට කටේ දමා රිදෙන තුරු තදින් සැපීම හැර වෙන විකල්පයක් නොවූවා. . ..

අප අතර තිබූ බොහේ සුන්දර සිදුවීම් එපමනටම වේදනාකාරී වූවා. . ..

වසර 5ක් එකදිගට පිටරටක ගතකල ඈ, ලංකාවට යලි පැමිනෙන විට මා මවුබිමෙන් බැහරක රැකියාවකට ගොසින් . . .

ඇගේ ආගමනය පැවසූ මොහොතේම, ඇය දකින කම් සිහියක් නැතුව හිටි මා, දින 8කට පසු මා හදිසි නිවාඩු ලබා ගෙන ඈ බලන්න පිටත්වූවා . . .

ගුවන්තොටුපලේ පැමිනීමේ පර්යන්තයේ මා එනතුරු නොසන්සුන් ලෙසින් සැමියා සමඟ ඇය බලා සිටියා.

මා දුටු ගමන් සැමියා අතහැර දුවගෙන විත් මගේ ඇඟේ එල්ලී මා වැලඳ සිපගත්තේ අපේ සුපුරුදු සහෝදරත්වයේ සුවඳ දස අත විහිදුවමින් !

එතැන් සිට අද වනතුරු . . . මාස ගනනාවකට පසු යලි මව්බිමට පැමිනෙන මා මුලින්ම ඇගේ නිවසට ගොඩවැදීමටත් . . . ආපසු පිටවීමේදී ඇයගේ නිවසේ සිට පිට වීමට සිදුවීමත් එක්තරා හාස්කමක් මෙන් කියා සමහර විට මට සිතෙනවා . . .

එසේ මාස ගනන්කින් මා දකින ඈ මා පිලිගන්නේ කඳුලින් . . .

මා දුටු විටම ඇගේ සිතේ ඇතිවන සතුට ප්‍රකාශ වන්නේ කඳුලින් . . . .

මා පිට වෙද්දී ඇගේ දෑසේ ලියවී ඇති "අනේ අයියේ මාව දාලා යන්න එපා " යන්න වටහා නොගැනීමට මා අගේ කඳුලින් පිරීගිය දෙස නොබැලීමට දරන වෙහෙස දින ගනක් යනතුරු මා පීඩාවට පත්කරනු ලබන බව මා හැර වෙන කවුරු දනීද . . .

කුඩාකල මහා කරදර කාරියක් ලෙස අප සිතා සිටින නංගී, සැබැවින්ම කරදරකාරියක් නොව දෙවියන් විසින් දුන් අගනා වස්තුවක් බව, 

"කඳුලින්ම මුනගැසී . . . කඳුලින්ම සමුගන්නා" මගේ නංගී මා හට පසක් කර දුන්නා යැයි මට නිතරම හැඟේ . . ..

Saturday, September 19, 2009

ඊට පස්සේ මට පුලුවන් වෙයි නිශා මුළු ලෝකෙටම ආදරය කරන්න . . . . !







"ඔයාට පුළුවන් ද එල්ලුම් ගහට නියම වෙලා ඉන්න කෙනෙකුට ආදරය කරන්න සතී" ඔහු මුහුන ඇයගෙන් වසං වන පරිදි ඉවත බලාගෙන ඇසී ය.

"කූඩුවක ඉන්න මිනීමරුවෙක් පෙන්නලා අරයට ආදරය කරන්න පුළුවන් ද කියල කවුරුත් කිව්ව පළියට මම හිතන් නෑ පුළුවන් ද කියලා. එහෙම බැරි වෙතොත් ඒ එයා මිනීමරුවෙක් නිසාමත් නෙවි. මට ඒක හරියට කියන්න බෑ" යි කී ඈ සිය දුබලකම ආවරනය කරගන්නට මෙන් සිනාසෙන්නට තැත් කළාය ". . . . අර විනීතයි අසෝකයි එකතු වුනා වගේ - මම කියල ඇතිනේ ඔයාට ඒගොල්ල ගැන - ඒවගේ ආලය හරි වෙන දෙයක් හරි උඩ දෙන්නෙක්ට එක පාර බැඳීමක් ඇත්කරගන්න පුලුවන් කියල මම හිත්න්නෑ. කාමාසාව උඩ හැර . . . .. . ඒක වෙනම කතාවක්. අර මිනීමරුවා! ඒ කියන්නේ මරණයට කැප වෙලා අහවල් දවසෙ මැරෙනවා කියල දන්න කෙනෙක් එයත් දන්නවා මමත් දන්නවා ජීවිතය සීමිතයි කියලා. එයා ඉල්ලනව නම් ඒ ටිකට, එයාට වැඩක් වෙනවා නම් මගෙ ආදරයෙන් මම හිතන්නෑ ඇයි මට බැරි එයාට ආදරය කරන්න කියලා"

"ඒ පුද්ගලයා ටික දවසකින් මැරිලා යයි"

"මම ජීවත් වෙනවා. ඒ ආදරයත් හදවතට තුරුලු කරගෙන"

"සදහටම අඬ අඬා . . . . ? තේරුමක් තියෙනවාද සතී? අර්ථයක් තියෙනවාද?"

"ඇයි නැත්තේ? මේ ලෝකේ කිසි කෙනෙකුගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න බැරි - ආදරයක් ඉල්ලන්න අයිතියක් නැති - ඒ කියන්නේ එයා අපරාදකාරයෙක් නිසා නෙවී. ආපහු ආදරය කරන්න තරම් කාලයක් ජීවත් නොවන බව සහතික නිසා. ඒ වගෙ කෙනෙක්ට ආදරය කරල ඒ ටික දවසට හරි සහනයක් දීලා . . . . . . "

"ඊට පස්සේ සතී?"

"ඊට පස්සේ මට පුලුවන් වෙයි නිශා මුළු ලෝකෙටම ආදරය කරන්න. මුළු ලෝකෙටම කිව්වම සමාජ විරෝධින්ටත් එක්කල නෙවි. ඔයා වගෙ, මම වගෙ, එදා අපි දෙන්න කතාවුනු විදිහට මෙතැන ම ඉන්න අපේ ජාතියේ තවත් ළමයි වගෙ, බෝගහ වත්තෙ උදවිය වගෙ, හැම දෙනාටම ආදරය කරන්න තරම් ශක්තියක් ආපහු යමක් බලාපොරොත්තු නොවී අර එක පුද්ගලයෙකුට කරන ආදරයෙන් මට ලැබෙයි"

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ ඉහත කොටස් මම උපුටා ගත්තේ කරුණාසේන ජයලත් මහතාගේ "සතීගේ කතාව" නවකතා පොතෙන් . . . මේ සාහිත්‍ය මාසේ පොත් සල්පිලට යන්න සිතා සිටින . . . . ගොසින් පොත් මිලදීගන්න සිතා සිටින . . . . හැඟීම් බර පොත් පත් කියවීමට ලෝභීකමක් දක්වන . . . ඔබ සැම සියලුම දෙනා වෙනුවෙන් මගේ බත් එපා පොත් වර්ගීකරනට මේ පොත ගැන ලිවීමට මගෙ සිත මා පෙලඹවූවා . . .

මේ පොත ගැන ඔබට වැටහීමක් ලබා ගැනීමට වෙන වෙන අටුවාටීකා ලියනවාට වඩා මා ඉහත උපුටා දැක්වූ කොටස් කීපය පමනක් සෑහේවී යන්න මගේ කල්පනාවයි . . . .!

මිලදීගන්න . . . . රසවිඳින්න . . . . අනේ මටත් පවසන්න ඔබ කෙසේ ඒ දුක් කන්දරාව දරා ගත්තාද කියා . . . . !

සතීට මෙන් මුලු ලෝකයටමත් . . . සතා සීපාවටත් . . . ගහකොලටත් . . . මේ මුලු විශ්වයටමත් . . . ආදරය කිරීමට තරම් ආදරයක් ඔබේ සිතේ ඇති නොවූවාදයි මටත් පවසන්න . . . !

Wednesday, September 16, 2009

පන හයියම ආච්චී හෙවත් බොරුවට මැරුනු චරිත්ලගේ ආච්චී . . . !


පුංචි ළමයින්ගෙයි . . වයසක අයගෙයි විශාල සමානකම් තියෙන බව ඔබට කෙදිනක හෝ නිකමට මෙන් හැඟී තිබෙනවාද . . ?

පුංචි ළමයින් අන් අයගේ අවධානය . . . ආදරය තමන් වෙතට ලඟාකර ගැනීමට විවිධ උපක්‍රම යොදන බව ඔබ දැක ඇත්ද . . ? වයසක අයත් එලෙසමයි . . .

"අනේ පුතේ මට උඹව අඳුර ගන්න බැරි වුනා බං . . මගේ මේ ඇස් දෙක දැන් හරියට පේන්නේ නෑ කොල්ලෝ . . . "

"මගේ කොන්දේ කැක්කුමයි පුතේ "

"දැන් මට හරියට ඇවිද ගන්න බෑ පුතේ මගේ මේ කකුල් දෙකම රිදෙනවා ටිකක් හිටගෙන හිටියත් . . "

"උඹ කියපු එක අහුනෙ නෑ පුතේ . . මගේ කන් දෙක දැන් ඉස්සර තරම් හොඳට ඇහෙන්නේ නෑ . . "

කොන්දේ අමාරු . . . ඇස් නොපෙනීම . . . කන් නෑසීම . . . වාත අමාරු . . . ගැන ඔවුන් බොහෝවිට පවසන්නේ ඒවා ගැන ඔවුන් වේදනාවෙන් පසුවෙනවාට වඩා ඒවා ඔබට පැවසීමෙන් ඔබේ අවධානය ඔවුන් වෙත යොමුකරවා ගැනීමට කියායි මගේ නම් අදහස . . . !

බොහෝ කලකට පෙර . . . ආච්චී . . සීයා . . නැතිනම් අත්තම්මා . . ලොකු අත්තා . . යනු අපේ රටේ පවුල නම් සංකල්පයේ මහා පහන් ටැඹ දෙකක් මෙන් වූවා . . . දරුවන්ට ජන කතා . . . ජන ගායානා . . . සුරංගනා කතා . . . වීර කතා . . ඉතිහාස කතා . . බෞද්ධ ජාතක කතා . . ආදී දේවල් වලින් දරුවන්ගේ පුංචිලෝකය විචිත්‍රවත් කලේ මේ දෙපලයි . . . !

නන්නත්තාර වූ ආර්ථික රටාවක් තුල අද දවසේ ඉතාම කුඩා කැබලි වලට කැඩී බිඳී ගොස් ඇති එම පවුල නම් සංකල්පයේ ආච්චී සහ සීයා බොහේ විට මහ ගෙදර කාගේ හෝ හව්හරනක් නැතිව තනියෙම බලා ගත් අත බලා ගෙන ජීවිතය ගෙවන "අනේ ඇයි මම ඉක්මනට මැරිලා යන්නේ නැත්තේ" කියා තමන්ගෙන්ම අසාගන්නා මානසිකත්වයකින් පසුවන . . අසරන ජීවිත දෙකක් විය හැකියි . . .
නැතිනම් මහගෙදර අයිතිය හිමිකර දුන් දුවගේ . . පුතාගේ . . මුනුබුරු මිනිබිරියන්ගේ . . . (සමහර විට ඔබේ අම්මා . . තාත්තා . . නැන්දා . . මාමා . . ලොකු අම්මා . . ලොකු තත්තා . . විය හැකියි )ඇනුම් බැනුම් අසමින් දුකින් කල් ගෙවන දෙපලක් නැතිනම් අයෙක් විය හැකියි . .

පහත සඳහන් අපහාස . . අවලාද . . නෝක්කාඩු . . චෝදනා . . කෙදිනක හෝ ඔබේ කනට වැටී ඇත්දැයි නිකමට සිතා බලන්න . . . . ?

"මේ නාකි සමයම ගේ හැම තැනම ඇවිදිනවා එක තැනකට වෙලා ඉඳගෙන ඉන්නෙ නැතුව . . ."

"වයසට ගියා නම් වයසට ගිය විදිහට ඉන්නෙ නැතුව හැම එකටම හොට දාන්න එනවා . . ."

"අයියෝ හරිම කරදරේ . . මේ ගේත් එක්කම ලොකු කරුමෙකට තමයි මමත් කර ගැහුවේ . . ."

"ගමනක් බිමනක් යන්න නෑ මෙයාට මේ වෙලාවට කන්න බොන්න දෙන්න ඕන නිසා . . ."

"ලමයි රොත්තක් නම් ඉන්නවා ඒ උනාට මටම වද දෙන්න මෙහාට වෙලා ඉන්නවා. . ."

"අපෝ එයා නම් දැම්මම මැරෙන හෝන්තුවක් නෙමෙයි . . . "

"එයාල වයසට ගිහින් අපි එයාල හින්ද කරුම ගෙවනවා . . ."

"මේ නාකි හුරතල් බල බල ඉන්නේ නැතුව මෙයාලට කලින් මාව මැරිලා යනවානම් දෙයියනේ . . ."

මේ ටිකක් පමනයි . . . ඔබ නිකමට ටිකක් සිතා බලන්න ඔබ වයසට ගිය පසු ඔබට මෙවැනි දේ ඔබේ දරුවා හෝ මුනුබුරු මිනිබිරියන්ගේ මුවින් අසන්නට ලැබුනොත් . . . ඔබ කොතරම් කම්පාවට පත්වේදැයි කියා . . . ! ! !

ඔබේ හදවතට මොහොතක් තට්ටු කර අසා බලන්න ඔබේ ආදරේ අවැසි ඔබේ ආච්චීට . . . සීයාට . . . ඔබේ මුවින් ආදරනීය වචනයක් පිටකර හැරියේ කොතරම් කලකට පෙරදැයි කියා . . .

මහළු දිවියේ මතක සටහන් ගැන නන්දාමාලනී මහත්මිය ගැයූ (පද රචනය සුනිල් ආරියරත්න මහතාගේ විය යුතුයි ) පහත ගීය අසන අසන හැම වාරෙකම මගේ හද සසල කරනු ලබනවා අනාගතයේදී එලඹෙන මගේ මහළු දිවිය කෙතරම් සුන්දර හෝ අසුන්දර වේදෝ කියා සිතා . . .

සුදු හාමිනේ නුඹ කොතැනේ අද දවසේ . . .
සුදු හාමිනේ නුඹ කොතැනේ අද දවසේ . . .
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ . .
ලේලිය කැටුව මගේ පුතු වෙන්විය රහසේ . . .
මං විතරයි තනියෙම දැං මගේ නිවසේ . . .

නුඹලගේ තත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒදැයි පතාගෙන . .
වේවැල් කැඩුනු පුටුවේ වක ගසාගෙන. .
මම ඉන්නවා නෙත කඳුලැලි දරාගෙන. . .

දරුවන් ඇඳූ ඇඟැලුම් ගෙන සිඹින්නෙමී . . .
මනසින් එදා කෙලි සෙල්ලම් දකින්නෙමී . .
මරනයෙ දොරකඩට සපැමින හිඳින්නෙමී . . .
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී . . .

සුදු හාමිනේ නුඹ කොතැනේ අද දවසේ . . .
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ . .
ලේලිය කැටුව මගේ පුතු වෙන්විය රහසේ . . .
මං විතරයි තනියෙම දැං මගේ නිවසේ . . .

මේ පහත සිද්ධියෙන් පසුව මහළු අය අන් අයගේ අවධානය තමා කෙරෙහි යොමු කරවා ගැනීම ගැන මගේ මතය තහවුරු වූවා කීවොත් නිවරදියි . . .

මගේ යාලුවා චරිත් ගැන මම කලින් කිව්ව ඔයාලට මතක ඇතිනේ අර කිරිටොෆී පාර්සලේට තනියම වගකියපු එකා . . . .

දවසක් අපි කට්ටිය (චරිත් . . මම . . ශේන් . . අමරේ. .) සෙට් වුනු වෙලාවක ශේන් චරිත්ට වද කරා . . .

"අනේ මචං අර උඹලගේ ආච්චි මැරුනු විස්තරේ කියපන්කෝ කියලා . . ."
මෙතන ඉඳලා අපි චරිත් කියපු විදිහටම අහමු . . .

“ අපේ ආච්චී මචං හොඳටම අමාරුවෙලා නවරෝහලට ඇඩ්මිට් කලානේ . . . අනේ පව් බං ඩොක්ටර්ස්ලා කිව්වා මේ ලෙඩාගේ ජීවිතේ අද දවසේ කොයි වෙලාවෙද කියන්න බෑ . . . කැමති කෑමක් බීමක් එහෙම තියෙනවානම් ගෙනත් දෙන්න කියලා . . ."

"ඔව් බං . . . අපි ඉතිං කටියම ගෙදර ඇවිත් ගෙදර මකුළු දැල් කඩලා පින්තූර කනපිට හරවලා . . ලෑස්ති උනා හවසට ආච්චීගේ මිනිය ගේන්න වෙයි කියලා . . . හැබැයි අපිට පොඩි ජොලියක් වගේ දෙකුත් තිබුනා නෑදෑයෝ කට්ටියම කාලෙකට පස්සේ සෙට් වෙනවා නේද කියලා . . ."

"අපි හවස යන කොට මෙන්න උදේ මැරෙන්න වගේ හිටපු ආච්චී හොඳ සනීපෙට ඇඳේ වතට හේත්තුවෙලා . . . කකුල් දෙකත් හොල්ල හොල්ල ඉන්නවා . . ."

ෂා නියමයිනේ . . . ශේන් හොට දැම්මා . .

"ඊට අවුරුදු ගානකට පස්සේ ආයි ආච්චීට අමාරු වුනා . . . දුවල පුතාලා ඔක්කොම ඇඳ වටේට වෙලා දුකෙන් වගේ හිටියා . ."

"ආච්චී පන අදිනව වගේ ඉන්න ගමන් කියනවා මචං . . . අර කුස්සියේ වංගෙඩියයි මෝල්ගහයි . . . පොඩි එකීට දීපල්ලා . . . මගේ මේසේ . . ලොකු පුතාට ගන්න කියපන් . . . මිරිස් ගල ලොකු කෙලීට දීපන් . . . ආලේ පිත්තල පහනත් ලොකු කෙලීට ගන්න කියපන් . . . කියලා මරන මංචකේ ඉඳන් ආච්චීගේ බූදලේ බෙදනවා . . ."

අපිට නම් හිනා . . . නමුත් බලන්න ඇගේ දරු සෙනෙහස . . . !

"ඔන්න මචං හිටපු ගමන් දිග හුස්මක් අරන් අතහැරලා මලා වගේ ඉන්නවා . . . කවුද අඬන්නේ බලන්න . . . එක පාරක් ඔය විදිහට හිටපු වෙලාවක මාමල නැන්දලා ඉක්මනට අතපය හදන්න හැදුවා . . .ඉක්මනට මිනිය ගල් වෙන්න කලින් අතපය හදමු කියලා . . . ආච්චී ඇස් ඇරලා බනිනවා . . මොකේ බං මේ කරන්න හදන්නේ . . . මට නිදහසේ ඉන්න දීපල්ලකෝ . . . කියලා . . ."

පොඩි රැවටීමක් කලේ අන් අයගේ අවදානය දිනා ගැනීමටයි කියා අප සිතුවා . . .

"ආයෙත් ඔය වගේ හුස්ම නොගෙන ගොඩක් වෙලා ඉන්නකොට හැමෝම සාලේ ඉඳන් හිතුවා මැරිලා වෙන්න ඇති කියලා පස්සෙ ටික වෙලාවකින් චර චර ගාලා සද්දයක් එනවා ආච්චීගේ කාමරෙන් . . අපි දොර රෙද්ද මෑත්කරල බැලුවා . . ආච්චි කොට්ටෙ යටට අත දාලා ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කනවා . . ."

හෙන ජොලි ආච්චි කෙනෙක් වෙන්න ඇති . . . මට නම් එහෙම හිතුනා . . .

කොහොම කොහොම හරි දවස් ගානක් මේ වගේ දුවල පුතාලව බොරුවට මැරුනා වගේ රවටපු චරිත්ලගේ ආච්චී එක දවසක් ඇත්තටම මැරුනා කියලා ඌ කිව්වා . . .

මේ කතාව කෙසේ වෙතත් මගේ ලිපියේ අරමුන නම් ඔබට පහදා දෙන්න ඔබේ ආදරේට ඔවුන් කෙතරම් කැමැත්තක් දක්වනවාද යන්න ගැන . . . . ඒ අතරම මානව දයාව ගෑන් පොත් පත් කියව කියවා සිටිනවාට වඩා . . . පොත් ලියනනවාට වඩා . . . ලිප්ටන් වට රවුමේ පිකටින් කරනවාට වඩා . . . . දේශන පවත්වනවාට වඩා . . . අඩු තරමින් සතියකට වරක් වත් . . . නැතිනම් මාසෙකට වරක් . . . ලඟපාත නොවේ නම් ඔබ ඔවුන්ගේන් බෝහෝ දුරස් නම් අවුරුද්දකට වරක් වත් . . . ඔවුන් බලන්න ගොස් . . .පෙන්වන්න ඔබේ නියම මානව දයාව . . . බලා සතුටු වන්න ඔබේ අදරෙන් ඔවුන් කෙතරම් සතුටක් ලබනවාද කියා . . . !

Sunday, September 13, 2009

විවාහකයින් සියලුම දෙනාට එක වරක් හෝ දික්කසාද වීමට ඉඩ සලසා දිය යුතුයි . . . !




විවාහකයින් සියලුම දෙනාට එක වරක් හෝ දික්කසාද වී නැවත ටික කලෙකට පසු පරන සහකාරයා හෝ සහකාරිය සමඟ නැවත විවාහ වීමට ඉඩකඩ සලසා දිය යුතුයි කියන එක බොහෝ කාලයක් තිස්සේ මගේ සිතේ පැල පදියම් වී තිබෙන අදහසක් . . . . .

මගේ අම්මෝ . . මෙන්න හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් තියෙන වර්ගයේ බොරු සුචරිතවාදියෝ රෑනක් මගේ පස්සේ පන්නනවොඅ . . .මේ සමාජ ද්‍රෝහියාව එල්ලා මරව් කියලා ලිප්ටන් වටරවුමේ පිකටින් කරනවොඅ . . . දුටු තැන වෙඩි තියන්න කියලා ආඥාවකුත් නිකුත් කරලා . . . .

හෝව් හෝව් . . . මට කියල ඉවර කරන්න දුන්නේ නෑනේ . . . !

ටිකක් මගෙන් අහල බලන්නකෝ ඇයි මේ වගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරන්නේ කියලා . . .

මෙන්න මේකයි . . . දුකා කියන්නේ ටිකක් සමාජශීලී පුද්ගලයෙක් . . . සමහර අවස්ථාවල එක් එක් සමාජ ස්ථර වල මිනිසුන් ඇසුරු කරන්න ලැබෙනවා . . . ඒ වගේම තමාගේ පුද්ගලික සිදුවීමක් . . . රහසක් . . . ප්‍රශ්නයක් . . . සිත රිදවන කිසිවෙකුට පැවසිය නොහැකි යමක් අන් අයට තමාගේ පුද්ගලිකත්වය පළුදු වෙන ලෙස භාවිතා නොකරයි යන විශ්වාසයෙන් යුතුව පැවසිය හැකියි කියා කෙනෙකුට විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙක් . . . විසඳුමක් නොදුන්නත් . . . පන්සලකට පල්ලියකට ගිහින් පවු සමාකරගන්නවා වගේ බෝධි රාජයාට තමාගේ දුක් පවසනවා වැනිව සාවදානව තව කෙනෙකුගේ දුකක් . . . කරදරයක් . . . "අනේ මේ කෙනා එයාගේ දුක මට කියන එකෙන් එයාගේ සිත සුවපත්වෙනවානම් . . . මගේ වටිනා කාලය ගතවුනා වුනත් කම් නෑ . . " කියා සිතා අඩු තරමින් අසා සිටින්න වත් තරම් සාමාකාමී . . . හර්ද්‍යාංගම කෙනෙක් . . .

තමන්ට තමන්ම සුදු හුනු ගා ගන්නවා කියා චෝදනා එල්ල කරන්නෑ ඔන්න . . . හරිද . . . ?

ඔන්න එහෙව් දුකාට ගොඩක් අයගේ පවුල් ජීවිත වල ගැටුම් . . . අඬ දබර . . . සිත් රිදවීම් . . . අදහස් නොගැලපීම් . . . අභූත චෝදනා . . . බාහිර පුද්ගලයින්ගේ බලපෑමෙන් ඇතිවන ආරවුල් . . . නැන්දම්මගේ කෙනෙහිලි . . . නෑනලගේ රැවුම් ගෙරවුම් . . . ආදී මෙකී නොකී ප්‍රශ්න පත්තර දුකා ඉදිරියේ දිගහැරීම නිසා දුකාට යම් තරමකට වැටහීමක් තියෙනවා කුටුම්භ ඝට්ටන හෙවත් . . . පවුල් ආරවුල් ගැන . . .

ඉතිං මෙකී නොකී ආරවුල් වලදී දුකා විනිසුරුවරයෙක් ලෙසට නොව අසන්නෙක් ලෙසට සවන් දීමේදී දුකාගෙම හිතට එක් එක් ආකාරයේ අදහස් එනවා . . .
“මේ ප්‍රශ්නෙදිනම් මේ මනුස්සය තමයි ලොකු වැරැද්දක් කරල තියෙන්නේ . . . එයාට මේ විදිහට කරන්න තිබුනා . . . “
“ඔව් ඔව් මේ කියන විදිහට මේ මනුස්සයාගේ බිරිඳ ටිකක් මේ මනුස්සය ගැන සානුකම්පිතව හිතල බලන්න ඕන . . .”
"මොනා වුනත් මෙයා එයාට එහෙම කතා කරපු එක වැරදියි . . . "
"නෑ නෑ එයා කවුරු කොහොම කිව්වත් මේ මනුස්සයා එක්ක ජීවත් උනාට පස්සෙ වත් මෙයා කවුද කියල තේරුම් ගන්න බැරිනම් එයාගේ උගත්කමිනුත් වැඩක් නෑනේ . . . "

ඔය කොයි ආකාරයේ අදහස් දුකාගේ ගොං මොලේට ආවත් ගොඩාක් වෙලාවට දුකා නෙමෙයි කිසි උපදෙසක් දෙන්නේ . . . මොකද උපදෙස් දෙන්න ගිහින් ප්‍රශ්න තිබුනටත් වැඩිය අල වෙලා පවුල් අවුල් උනොත් ඒ පාපකර්මේ මේ ගොං බූරු මගේ උපදෙස් නිසා නොවේදෝ ඒ ආනිසංසෙන් මට අවීචි නරකාදියේ ලෝදිය ඩ්‍රින්ක් එක ටේස්ට් කරන්න වෙයිදෝ කියලා තියෙන බයෙන් උපදෙසක් නොදීම බැරි අවස්ථාවක හැර දුකා උපදෙස් දෙන්න යන්නේ නෑ . . .
"අපි හැමෝගෙම වැරදි තියෙනවා . . ."
"නෝබොඩි ඊස් පර්ෆෙක්ට් . . . "
"අපි හැමෝම පෘථග්ජන මිනිස්සුනේ . . . "
"හෙමිහිට තෙරුම් කරල දෙන්න බලන්න . . . . "
"තේරුම් ගන්න කාලයක් දෙන්න . . . "
"තීරන ගන්න හදිස්සි වෙන්න එපා . . . "
"එයාගේ පැත්තෙන් ප්‍රශ්නේ ගැන හිතන්න . . . "
ඔය වගේ කොමන් පිලිතුරු ටිකක් තමයි දුකා බොහේ විට උපදෙස් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන අයට ලබා දෙන්නේ . . . මොකේ දුකා කියන්නේ කවුන්සලින්ග් කරපු එකෙක්යැ . . . මහලොකු පොරක්යැ . . . හදවතේ ප්‍රතිබිම්භයවූ මූනේ ලස්සන හිනාවක් තියෙන නිකං සිම්පල් පොරක් විතරයිනෙ . . .

ඔය හැම ප්‍රශ්නයක්ම ඒ පැත්ත මේ පැත්ත හරවලා . . කපල කොටල . . අඹරල මිරිකල . . පුම්බල ඔබල බලල . . . විශ්ලේශනය කරල බැලුවාම තමයි මට ඔය ඉහලින් තියෙන මම කියපු බරපතල ප්‍රකාශය නිකුත් කරන්න හිතුනේ . . .

මිස්ටර් මහඹබා අන්කල් ගෑනුන්ට පිරිමි හොයල දෙනකොටයි . . . පිරිමින්ට ගෑනු හොයල දෙනකොටයි . . . හොඳට හොයල බලල තමයි සෙට් කරන්නේ කියල ගොඩාක් ජෝඩු දිහා බැලුවාම හිතෙනවා . . . උදාහරනයක් විදිහට . . . .
"නාස්තිකාර බෙබේ පොරවල් වලට විනීත අරපරිස්සම් ශ්‍රියාකාන්තාවෝ සෙට් කරල දීල තියෙන්නේ . . ."
"මාසෙකින්වත් නාන්න අකමැති හඩුගඳ ගහන අපිරිසිදු ගෑනුන්ට දිනපතා නාන පිරිසිදුකම ගැන මහාඉහලින් හිතන පිරිමි සෙට් කරල දීලා තියෙන්නේ . ."
"සින්ඳු කියල ට්‍රිප් ගිහිල්ලා ජොලි කරන්න කැමති පොරවල් වලට ඒ වගෙම ජොලියට බර පොරීල සෙට් කරල දීලා තියෙන්නේ . ."
"කන්න බොන්න වත් රුපියල් සීයක් වියදම් කරන්න අකමැති xxxත් (වසුරුත්) පුච්චගෙන කන්න හිතන වර්ගයේ ලෝභ කුනාලට ෆේශල් එකකටම රුපියල් 5000ක් විතර වියදම් කරන ජාතියේ නාස්තිකාර ගෑනු සෙට් කරල දීලා තියෙන්නේ . ."

ඔහොම ඔහොම හිතලා බැලුවාම හැම එකා / එකීටම ලැබිලා තියෙන්නේ නැතිනම් මහඹබා අන්කල් සෙට් කරලා දීලා තියෙන්නේ . . . තමන්ටම හරියන එකා / එකී තමයි කියලා හිතෙනවා . . . නමුත් කරුමෙකට වගේ හැම එකාම / එකීම හිතන්නේ . . . අනේ මට මූට වඩා හොඳ එකෙක් එක්ක යන්න තිබුනා . . . අනේ මට මේ මලහොන්තුව නැතුව හොඳ එකක් ගේන්න තිබුනා . . . වගේ කියලා තමයි මට නම් හිතෙන්නේ . . .

මිනිස්සු එහෙම හිතනවා කියලා කියන්න පොදු උදාහරන කීපයක් ලෙසට සුමිත්‍රා රාහුබද්ද මහත්මියගේ "අග පිපි මල්" නවකතාවත් . . . ඒ නවකතාව ඇසුරින් වසන්ති චතුරානි මහත්මිය නිපදවපු "අග පිපි මල්" ටෙලි නාට්‍යයත් . . . අචලා අලස්, රොජර් සෙනෙවිරත්න සහ ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපාපු "ඉඳිකඩ අස්න" ටෙලි නාට්‍යයත් නන්දා මාලනී මහත්මියගේ පහත ගීතයත් දක්වන්න පුලුවන් . . . . (මේවා සාර්ථක නිර්මාන . . . නිර්මානයක් සාර්ථක නිර්මානයක් වෙන්න නම් ඒවා තාත්වික (රියලස්ටික්) . . . අර්ථවත් එකක් විය යුතුයි කියලයි මට නම් හිතෙන්නේ . . .)

නෙලා ගන්න බැරි හින්දයි

නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන . . . .
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන . . .

සීන මවාගෙන දහසක් තනියෙන් රස විඳපු . . .
බිතු සිතුවම් රූ මෙන් හද තෙලිකඩ මත ඇඳපු . . .
ලොවට හොරා පැස පුරවා ගෙනවිත් හැඩ බලපු . . .
ලස්සන නැති හැටි මල් වල ඉස්සර මම නෙලපු . . .

මුහුන දෙමින් සැඩ පහරට අනංගයා විදපු . . .
නොදැක හිටපු දවස් වලදි ඉකි බිඳ බිඳ හඬපු . .
කාත් කවුරුවත් නැති තැන තුරුලු වෙලා දොඩපු . . .
පැහැය සුවඳ කොහි ගිහින්ද මල් වල මම නෙලපු . . .

ඕනෑම දෙයක නියම වටිනාකම දැනෙන්නේ එය අපෙන් ඈත්වුනාමයි කියලා කියනවානේ . . . (වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් . . . හැඬූ දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම් . . . කියලා සුනිල් එදිරිසිංහ මහත්තයත් කියල තියෙනවානේ )

ඒක නිසා ටික කාලයක් දෙන්නට දෙපසට වෙලා ඉන්න තියෙනවානම් දෙන්නට දෙන්නගේ අගේ තේරෙයි කියලා මට හිතෙනවා . . .
"අනේ එයා මට කිසි දේකින් අඩු පාඩු කලේ නෑ නේද . . . "
"පව් ඒ මනුස්සයා රෑ තිස්සේ ලමයින්ගේ වද විඳලා විඳලා හැමදාම පාන්දරින් නැගිටලා මට කෑම හදලා දෙනවා . . "
"එයා කොයි වෙලාවක වත් නෑ බෑ කියන්නෙ නැතුව එයාට ෂර්ට් එකක් වත් නොගෙන මට සාරියක් ඉල්ලුවාම ගෙනත් දෙනවා . . ."
"මට එයා උඹ නොදකින් කියලා නෑ . . . නිය පිටින් පාරක් ගහල නෑ . . . "
"පව් මම බැන්නහම මී හරකි වගේ අඬනව විතරයි . . ඒත් තේ එක වෙලාවට ගෙනත් දෙන්න අමතක කරන්නේ නෑ . . ."
"අනේ එයා වගේ තාත්තෙක් මේ ලමයින්ට කොහෙන්ද . . . කවදාවත් බත් කන්නේ නෑ ලමයි කාලද කියල හොයල බලන්නෙ නැතුව . . . "
"පව් ඒ මනුස්සය . . . උදේ ඉඳන් මැරිල මැරිල ගෙදර වැඩයි . . ළමයින්ගේ වැඩයි . . . . ඔක්කොම තියෙද්දිනේ මම ගොනා වගේ ඒ ගෑනිගේ අඟට කඩන් පනින්න්නේ හැමදාම බොරු වැරදි වලට . . . "

ඔය වගේ දේවල හිතලා තමන්ගේ සහකාරිය / සහකාරයා ගැන නියම වටිනාකමක් ලබා ගන්න අවස්ථාව ලබා දෙන්න තමයි මම කිව්වේ . . . .

"විවාහකයින් සියලුම දෙනාට එක වරක් හෝ දික්කසාද වී නැවත ටික කෙලෙකට පසු පරන සහකාරයා හෝ සහකාරිය සමඟ නැවත විවාහ වීමට ඉඩකඩ සලසා දිය යුතුයි" කියා

Thursday, September 10, 2009

වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !


වැලි කතර මරු කතරක් ලෙස . . .
දිටිමි එක් කලෙක . . .
ඇසූ සැටියෙන් කුඩා කල . . . .
ආගිය උන් කී දෑ අසාහිඳ . . .

මගට බට නොහී ගිනි ලන . . .
රුදුරු සැඩ හිරු රැසින . . .
නැවුම් හුස්මක් ගනු නොහී . . .
දූලි මුසු වැලි කුනාටුද . . .
දා බිඳු ගලයි ගත . . .
නිමාවක් නැති ලෙසින . . .

අහෝ එවන් රුදුරු වැලි කතර . . .
කිම යා ද රන් මසු සොයා . . .
නොකෑවත් බඩට . . .
නොඇන්දත් ගතට . . .
මේ පාරාදීසයක් වන් . . .
ආදරයම ජීවිතය කොටගත් . . . .
ජීවිතයම ආදරය කොට ගත් . . .
සොඳුරු බිම් කඩ හැර දමා . . .
නොයමි කිසිදාක නොරට . . .
වියරු වැලි කතරකට . . .
විඳවන්නට නොව දුකින් . . .
විඳින්නට ලද දිවිය . . .
සතුට දෝත දරා . . .
සිනා දෝර ගලා . . .
ජීවිතේ සුන්දරද මෙතරම් . . . !

නමුදු එක අකාල සන්ද්‍යාවක . . .
අනෝරා වස්සාන කාලෙක . . .
හෙන හඬින් ගිගුම් දුනි සොඳුරු දිවි මඟ . . .
බිඳ වැටී මනෝ මන්දිර සුනු විසුනු වී . . .
රිදී සිත . . . ඉකි බිඳී හදවත . . .
ගිලිහී රැහැන් පට දිවි මඟ බැඳී හුන් . . .

වින්දනයම විඳිල්ලක් වූ කල . . .
පාරාදීසය කතරකැයි හැඟුනු කල . . .
කතරත් පාරාදීසයකැයි නොහැඟේද . . . ?

කතර කතරක්ම නොවේ යැයි . . .
දැනේ කතරට වන් කල . . .
මසුරන් පොදිත් දැවටේ දෑඟිල නිතර . . .
අනාදර පිරි පාරාදීසයද . . .
මසුරන් සපිරි කතරක් නොවූ කතරද . . .
සිත දෙගිඩියාවක . . . !

Wednesday, September 9, 2009

ළමා නිවාසයේ අකුරු උගැන්වූ යුවතිය . . . !


රටක ළමා නිවාස ඇතිවීම සාමාජීය ප්‍රශ්නයක් . . . කුටුම්භ ඝට්ටන . . . අතෘප්තිකර විවාහ ජීවිත . . . නේකවිද රිය අණතුරු . . . ඉඩ-කඩම් හබ . . . අනියම් සබඳකම් . . . පිටරට රැකියා . . . නෑදෑ අසමඟිකම් . . . මෙවැනි ප්‍රශ්න බොහොමයක් . . රටක ළමා නිවාස ඇතිවීමේ සාධකයේ එක් පැතිකඩක් කියා මට සිතුනා . . . . ! ළමා නිවාස බිහිවන්නේ අනාථ වූ දරුවන් සිටින විටෙක . . . දරුවන් අනාථ වන්නේ ඉහත සඳහන් කල කරුනු හා වෙනත් බොහෝම කරුනු මූලික වීමෙන් . . . !

ළමා නිවාස ඇතිවීමේ කාලීන අවෂ්‍යතාවයකුත් ඇති බව හැඟෙනවා . . . "තම දිවියේ ඒකායන පරමාර්ථය තමාට හැකි පමනින් උදව් අවැසි අන් අයට පිහිට වීමයි" යන ආදර්ශපාඨය සහිත . . . සදෙව් ලොව පරසතු පුෂ්පයක් වන් ළතෙත් බවින් පිරිපුන් . . කාරුනික . . සුවඳ හමන ආත්මීය හදවත් ඇත්තන්ට . . . තම දිවියේ අමා පැන් පොදක් අසරන දරුවන් වෙනුවෙන් ඉසිමින් තම සිතැඟි සතපවාගෙන සුළඟේ පාවෙන වරා මලක් මෙන් වූ සහැල්ලු දිවි පෙවෙතක් ගෙවීමට . . .නොසේනම් . . . තමා බුදුන් දවස අසූකෙලක් රන් කහවනු වැයකොට ජේතවන විහාරය කරවූ අනාත පිණ්ඩිකස්ස සිටුතුමනෝ මෙන් දාන මානාදී පිංකම් කරවන මහ පිං කඳක් බව ලෝකයාට පෙන්වීමට රුපියල් 10,000ක් පමන වැයකොට දනක් දී . . . රුපියල් දශ ලක්ෂයක් පමන වැයකොට රූපවාහිණිය . . . ගුවන් විදුලිය ලව්වා තමාගේ ප්‍රශස්ති ගායනා කරගැනීමට අවැසි දේශපාලකයින්ට හෝ ප්‍රභූ දන්නට ඒ සඳහා ඉඩකඩ ලබා දීමට . . . ! එසේත් නොමැති නම් මේ අරමුනු දෙකම අඩු වැඩි වශයෙන් ඇති හුදී ජනයා වෙනුවෙන් . . මේ ළමා නිවාස පිහිටා තිබීම යෝග්‍ය යැයි හැඟුනු බැවිනි මා අදහස් කලේ ළමා නිවාස කාලීන අවශ්‍යතාවයක් ලෙස . . . !

කෙසේ නමුත් මගේ ලිපියේ අරමුණ ළමා නිවාස ඇතිවීමේ සාමාජීය ප්‍රශ්න ගැනවත් . . . ඒවායේ කාලීන අවශ්‍යතාවය ගැන වත් කතාබහ කිරීම නොව . . . පුංචි දනක් දෙන්නට ගොස් සිටියදී සිත සසළ කල සිදුවීමක් ගැන ලියා තැබීමක් පමනක් බව ඔබට මා මුලින්ම පැවසිය යුතුයි . . . !

අපේ පුංචි පුතාගේ පළමු උපන්දිනය දා විශාල මුදලක් වැයකොට මිතුරු මිතුරියන් 50ක් හෝ 60ක් පමන සහභාගී කරවාගෙන සිදුකල උපන්දින උත්සවයේ අවසන ඊට පසුදා අස්පස් කිරීම් කරන අතරතුර . . .

"අයේ නම් පුතාගේ උපන්දිනෙට පාර්ටි දාන්න ඕන නෑ . . . අපි ළමා නිවාසෙකට දානයක් දෙමු . . . "
බිරිඳ කීවේ “මොන වදයක්ද මේ” කියා ඇතිවූ කලකිරීම මුසු "ඔයා තමයි මේ ඔක්කොම කලේ " වැනි නෝක්කාඩුවක් සහිත ටිකක් තරහ ගිය හඬකින් . . .

“ඔව් අපි ලංකාවේ හිටියත් . . .නොහිටියත් . . එහෙම කරමු . . . !”
මමත් පිළිතුරු දුන්නේ . . . දින ගනනක් වෙහෙස වෙලා හෙම්බත් වෙලා හිටි නිසාම නොවුනත් . . . පුතාගේ උපන් දිනය වෙනුවෙන් මීට වඩා අර්ථවත් යමක් කරන්න තිබුනා කියා මගේ හිත නැඟූ චෝදනා වලිනුත් නිදහස් වීමට සිතාගෙන

ඉතිං දෙවෙනි උපන් දිනයට මාස දෙකතුනක් තියා අපි සොයාබැලුවා ළමා නිවාස ගැන . . .

"අපේ යෞවන සමිතියෙන් දාන දුන් අංගවිකල ළමා නිවාසක් තියෙනවා . . . එතනට දෙමුද . . ?"
මම බිරිඳගෙන් ඇසුවා . . .

"කොහේ හරි කමක් නෑ . . . වැඩිය ආධාර නොලැබෙන තැනක් වුනොත් හොඳයි නේද . . .?"
ඇයත් ප්‍රශ්නයකින්ම පිලිතුරු දුන්නා . .

"සමහර තැන් තියෙනවා දරුවෝ පෙන්නලා ආධාර අරගෙන ඒවා පාලනය කරන අය භුක්ති විඳින. . . ඒක නිසා ටිකක් හොයල බලල දෙමු . . "
ඇය තව කොටසක් එකතු කලා . .

"දේශපාලකයින්ට ලිංගික බිලිපූජා ලෙස ගැහැනු ළමයින් ලබාදෙන . . . විදේශිකයින්ට ළමා ගනිකාවන් ලෙස කුඩා ගැහැනු පිරිමි ළමයි ලබා දෙන ළමා නිවාසත් තියෙනවා කියල මමත් අහල තියෙනවා . . . "
මම පැවසුවේ අනේ මෙහෙමත් මිනිසුන් ඉන්නවානේදැයි උපන් සංවේගයෙන් . . . !

කොළඹට නුදුරු ජනප්‍රිය පාසැලක ගුරුවරයෙක් වූ මගේ හොඳම මිතුරෙකුට අපි භාර දුන්නා කුඩා දානයක් දිය හැකි ළමා නිවාසයක් සොයා පුතාගේ උපන්දිනයදා හෝ ඒ ලඟම දිනෙක දවල් දානයක් දීමට වෙන්කර ගන්නා ලෙස . . . !

"මචං උඹල දාන දුන්නු සුපුරුදු තැනට වැඩිය ඇත්තෙන්ම යමක් අවශ්‍ය තැනක් තියෙනවා . . ."
මගේ දුරකථන ඇමතුමට අමරෙ දුන් පිලිතුර මට සතුටක් ලඟාකලා. . . !

"අපේ ස්කෝලේ ළමයි ලඟදි පාසැල් ව්‍යාපෘතියක් ලෙසට එතනට දානයක් දුන්නා මචං . . . මමත් ගියා ළමයි එක්ක . . . පපුව හෝස්ගාලා ඇවිලිලා යනවා බං ඒ පුංචි උන් දැක්කාම . . . ."
ඔහුගේ දුක්බර හැන්දින්වීමම මට ඇති කියා සිතුනා ස්ථානය තෝරා ගැනීමට . . . !

"අපි ගියේ පාසැල් දවසක . . අනේ උන් ඔක්කොම පාසැල් යවනවා මචං . . . හාමුදුරු නමක් තමයි මුල්වෙලා ඒ ළමා නිවාසේ කරන්නේ . . . "
ඔහු තවත් යමක් එකතු කලා . . .

"මචං එහෙනම් සැප්. XX එතන බුක් කරපන් . . මම නිවාඩු ආව ගමන් අපි එතනට යමු . . ."
මම බොහෝම සතුටින් පැවසුවා . . .

නිවාඩු ගිහින් දෙවෙනි දවසෙම කලේ දානයට අවශ්‍ය මුදල් ගෙවීම් කරන්න අමරෙත් එක්කගෙන එතනට යාම තමයි . . .

හැම දේටම කලින් ළමා නිවාසේ නම සහ විස්තර කිව යුතුයි . . . !

ශ්‍රී ජිනානන්ද ළමා නිවාසය . . . (ළමා සංවර්ධන මධ්‍යස්ථානය )
ශ්‍රී සුගත විහාරය . . . අංක :1 . . . වැල්ලවත්ත . . . කොළඹ -06. . .
(සැවෝයි සිනමා ශාලාව ඉදිරිපිට)
දුරකථන අංකය : 0112-587534
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය : 11/1/4/2036/89


අපි ටිකකට කන්දුන්නා ළමා නිවාසයේ ස්වේච්ඡා සේවිකාවක් වූ පින් පාට . . . කරුනාව කඩාහැලෙන දෙනෙතක් ඇති . . . ළගන්නා සිනහවකින් මුවපුරවාගෙන සිටි . . . සුදු සාරියකින් සැරසී සිටි . . මැදිවියේ පාලිකාවට . . . !

"මෙතන ළමයි 67 දෙනෙක් ඉන්නවා. . . ."

"සමහර අයගේ දෙමව්පියෝ දෙන්නාම නෑ . . . "

"සමහර අයගේ තාත්තා ඉන්නවා . . අම්මා වෙන කෙනෙක් එක්ක පැනලා ගිහින් . . ."

"සමහර අයගේ අම්මා ඉන්නවා තත්තා දාලා ගිහින් . . "

"පිරිමි ළමයි විතරයි මෙතන ඉන්නේ . . . "

"එකම පවුලේ අයියයි මල්ලියි 25-30ක් විතර ඉන්නවා . . "

"වයස අවුරුදු 4 ඉඳලා උසස්පෙළ කරන වයසේ වෙනකම් දරුවෝ මෙතන ඉන්නවා . . "

"හැම දෙනෙක්වම අපි පාසැල් යවනවා. . . "

"සමහර අය ලඟ පාත පාසැල් වලට යවන්නේ . . ."

"එක් පුතෙක් කොළඹ උසස් පාසැලකටත් යවනවා . . "

"ගොඩක් අයව අපි ටියුශන් පංතිත් යවනවා . . . "

"විශ්ව විද්‍යාල සිසු-සිසුවියො දෙතුන් දෙනෙක්ම මෙතන ස්වේච්ඡාවෙනම උගන්වනවා . . . "

"මේ ළමයින්ගේ ටියුශන් ෆීස් වලට මාසෙකට රු.23,000/-ක් විතර යනවා . . . "

"අපිට ළමයින්ගේ කෑමට ලැබෙන සල්ලි වලින් තමයි කෑම බීම වියදම් ටිකක් එහාට මෙහාට කරල ළමයින්ගේ ටියුශන් ෆීස් වලට යන ගාන කවර් කරන්නේ . . . "

"ආධාර නොලැබෙන්නෙමත් නෑ . . නමුත් ගොඩාක් අඩුපාඩු තියෙනවා . . . හැම තැනකටම මම ලියනවා . . . බලමු අනාගතයේදී . . . "

"එක පුතෙක් ඉන්නවා O/L විභාගේ දෙපාරක් කලා ඒත් ෆේල් . . . පස්සේ මෝට මිකැනික් කෝස් එකක් කලා . . .මහත්තයට පුලුවන්නම් අනේ ඒ පුතාට පොඩි ජොබ් එකක් හොයල දෙන්න . . "

ඇගේ වචන තාමත් මගේ දෙසවනේ දෝංකාර දෙනවා . . . . !


අපි මුල් දවසේ එතනට ගියේ පුංචි එවුන්ට දෙන්න ටොෆී ටිකකුත් අරගෙන . . . බෙදන අතරේ වැටිලා තිබුනු එකක් පුංචි එකෙක් ආපසු මගේ බිරිඳට දුන්නලු . . .

"නැන්දේ මේ එකක් වැටිලා . . "

“කමක් නෑ පුතා ඔයා තියා ගන්න" . . .

"නෑ මට එකක් ලැබුනා "

පුංචි එකාගේ විනීත කම . . . අවංකකම ගැන ඈ මට කීවේ දෙනෙතේ කඳුලු පුරෝගෙන . . . මගේ දෙනෙතුත් තෙත් වෙන්න ගතවුනේ සුලු මොහොතයි . . . !

පාර්ටියක් දාන්නේ නෑ කිව්වට මගේ ආදරණීය නංගීගේ බලවත් පෙරැත්තයට අපිට පාර්ටියක් දාන්නම සිදුවුනා . . . අවසන දානයට වියදම් කලා හා සමාන හෝ ඊට වඩා වැඩි මුදලක් පාර්ටිය වෙනුවෙනුත් වියදම් වුනා . . . ඒ අසරන දරුවන් වෙනුවෙන් උඹට මීට වඩා දෙයක් කලහැකිව තිබුනා . . කියා මගේ සිත නිතර නිතර කරන කංකෙඳිරිගෑම හෙවත් . . . මම මා සිතා සිටි තරම් දනට ලැදියෙක් නොවේ කියන හදවතේ ඇනුනු කටුව ගැලවී කුඩා හෝ සහනයක් මට දැනුනේ . . .

"මම ඒ ළමා නිවාසය ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියන්නම් . . . එය බලන තව එක් අයෙක් හෝ එම ස්ථානයට දනක් නොදී සිටීවිද . . . "

"එය බලන තව එක් හෝ සරසවි සිසුවෙක් . . . සිසුවියක් . . ස්වේච්චාවෙන් ඒ අසරන දරුවන්ට අකුරු උගැන්වීමට නොගොස් සිටීවිද . . "

"එය බලන කිසියම් සිසුපිරිසක් ඔවුන්ගේ පාසැල් / විශ්වවිද්‍යාල ව්‍යාපෘතියක් ලෙස ඔවුනට දනක් නොබෙදාවිද . . "

"නැත . . මේ බ්ලොග් අවකාශයේ ඇත්තේ . . යමෙකුගේ ප්‍රේමය පවා බිඳවැටුනායැයි ඇසූ විටෙකත් නෙතට කඳුලක් නඟින සංවේදී සොයුරු සොයුරින්මය . . . "

"මිනිසාගේ සොඳුරු ගුණ සහ නුගුණ ඇත යන පාඨය අසා ඇති . . . නුගුන අමතක කොට සොඳුරු ගුණ වලට ආදරයෙන් ආදරය කරන සොඳුරු හදවත් ඇත්තෝමය . . . "

"ඔවුන් මට කල නොහැකි වූ එම අසරන දරුවන් වෙනුවෙන් කලයුතු මෙහෙය . . . මා වෙනුවෙන් කරනු ඇතැයි "

යන උපකල්පනය පමනි . . . මා හදවතේ තුවාලයට පවන් සලන්නාක් මෙන් වූයේ . . .

අප කුඩා වුන් සමඟ කතාබහකර ළමා නිවාසය මැදින් ආපසු එන ගමනේදී . . . මා දුටු යමක් මගේ සිත සසළ කලා . . .

වයස 20ක හෝ 22ක පමන ඇති. . . නිල්පාට ඩෙනිම් කලිසමකිනුත් එයටම ගැලපුනු ලා නිල්පාට කමිසයකිනුත් සැරසුනු . . . පැහැපත් . . . සුරූපී යුවතියක් . . . කුඩා දරුවන්ට යමක් උගන්වමින් සිටියා . . . !

අප තිදෙනාගේම දෙනෙත් අදහා ගනු නොහැකි ලෙසම ඈ වෙතම යොමුව ඇති බව දුටු පාලක වරිය . . .

"ඔය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් . . . ස්වේච්ඡාවෙන්ම ඇවිත් මෙතන දරුවන්ට උගන්වනවා . ."
ඈ පැවසුවේ අපේ සිතැඟි වටහා ගත් ලෙසින් . . .

ඇයට සිනාවකින් සංග්‍රහ කිරීම පමනයි අපට ඒ මොහොතේදී හැකිවූයේ . . .

අපේ සිනාවට පොදු සිනාවකින් ඈ පිලිතුරු දුන් මොහොතේදීයි මා දුටුවේ . . . ඇගේ දෙනෙතේ වූ අසරන කුඩා දරුවන් වෙනුවෙන් උපන් ඇගේ උතුරා ගලන කරුනාව . . . "ලෝකයටම සෙවන සදන මහා වෘක්ශයක් වීමට ඔබට නොහැකිනම් . . . එක් අයෙකුගේ හෝ හෝ පා සනහාලිය හැකි තණපතක් වන්න" යැයි මා අසා තිබූ වැකියක නියම අරුත ඈ මට ඒ මොහොතේදීම පසක් කලා යැයි මට සිතුනා . .

ළමා නිවාසෙට පාරෙන් ඉදිරිපස ඇති සැවෝයි සිනමා ශාලාවේ හෝ වෙන කිසියම් සිනමා ශාලාවක . . . අදුරේ තම පෙම්වතා සමඟ ප්‍රේමයෙන් වෙලී තුරුලුවී ගතකල හැකි සොඳුරු සැඳෑවක් නොවේද ඈ මේ කුඩා දරුවන් අතරේ ගෙවනේ කියා සිතූ මට . . . පරාර්තයට සේවයට වඩා ස්වාර්ථය සතපවා ගැනීම කෙරෙහි සිත යොමුකරන මගේ කුනු ආත්මය ගැන දැනුනේ පිළිකුලක් . . . ඒ අතරෙම පරාර්ථය කෙරෙහි ඇලුනු ඒ කරුනාබර දෙණෙත්තිය කෙරෙහි උපන් පහන් හැඟීමක් ඒ පිළිකුල මරා ඉපදෙනු දැනුනු මා . . . ඇගේ සුවඳ හමන ආත්මය ඉදිරියේ මනසින් දන නමස්කාර කලා . . . !

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails